Gossip

“දිනකට එක් පුද්ගලයෙකු කෝපි කෝප්ප දෙකක් තුනක් පානය කරනවා.” – කැන්ගරුවන්ට කෝපි කොන්ක්‍රීට් හදන ශ්‍රී ලාංකික ඉංජිනේරුවා – Photos

මිනිසා දිනෙන් දින නව නිපැයුම් ලෝකයට දායාද කරයි. ලෝකයේ කොහේ සිටියද විවිධ අත්හදා බැලීම් කරමින් අලුත් අලුත් දේ ලෝකයට ඉදිරිපත් කරන්නට උපන්හපන්කම් පාන්නෝ බොහෝය. පසුගිය දා එවැනි ලංකා පුත්‍රයකු ගැන අපට අසන්නට ලැබිණි.
මෙය ඇසූ විට ඔබ එක්වරම මවිතයට පත් වන්නට ද බැරි නැත. එනම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ක්‍රීට් අමුද්‍රව්‍ය සඳහා වැලි වෙනුවට ඉවත දමන කෝපි කුඩු භාවිත කිරීමේ ව්‍යාපෘතියකි.
මෙහි අරුමය නම් අත්හදා බැලීම සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වීමය. ඔහු සෙනුර කොහොඹගේය. කොල්ලුපිටිය මහානාම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සෙනුර දැන් උසස් අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රේලියාවේය.
“මම හය වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ කොල්ලුපිටිය මහානාම විදුහලේ. මට අවුරුදු එකොළහේදී අම්මයි තාත්තයි මාවත් රැගෙන ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඉන් පසුව මගේ අධ්‍යාපන කටයුතු කෙරුණේ ඔස්ට්‍රේලියාවේදී. දැනට මම මෙල්බන් නුවර ‘රෝයල් මෙල්බන් ඉන්ස්ටිට්යුට් ඔෆ් ටෙක්නොලොජි ’ ආයතනයේ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරනවා. ඉගෙන ගන්නා අතර තමයි මම මගේ මිත්‍රයකු සමඟ මේ නව අත්හදා බැලීම කෙරුවේ.”
සෙනුර පවසන්නේ තමන්ගේ නව අත්හදා බැලීම ගැනය.
කොන්ක්‍රීට් නැතිව ඉදිකිරීම් ක්ෂේත්‍රයක් ගැන කතා කළ නොහැකිය. උද්‍යාන ආදියේදී භාවිතට ගැනෙන ආසනවලට කොන්ක්‍රිට් භාවිතා කරයි. කොන්ක්‍රීට් සඳහා යොද ගන්නේ වැලි හා සිමෙන්ති වුවද අප දන්නා දෙයට වඩා සෙනුරලාගේ සොයාගැනීම මීට හාත්පසින්ම වෙනස්ය.
“අප මේ ව්‍යාපෘතියේ දී වැලි වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් ලෙස ඉවත ලන කෝපි කුඩු භාවිත කරනවා. වැලි කියන්නෙ පාරිසරික සම්පතක්. ඒත් වර්තමානය වන විට වැලි අවමයි. මහා පරිමාණ ඉදිකිරීම්වලට විශාල වශයෙන් වැලි භාවිතා කරනවා. එම නිසා පරිසරයේ තිබෙන වටිනාකම අවම වෙනවා .
ඊට පිළියමක් විදිහට තමා අපි මේ පරිසර හිතකාමී ව්‍යාපෘතිය අත්හදා බැලුවේ.
දවසකට ඔස්ට්‍රේලියාවේ දිනකට කෝපිහල්වලින් කෝපි කෝප්ප මිලියන 1.3 ක් පමණ අලෙවි වෙනවා. ඒ වගේම එක් පුද්ගලයකු වසරකට දළ වශයෙන් කෝපි කිලෝ ග්‍රෑම් 2ක් පමණ භාවිතා කරනවා. මේ අනුව බලන විට ඉවතලන කෝපි ප්‍රමාණය විශාලයි. මේ ව්‍යාපෘතියට කෝපි අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගන්න හිතුවේ ඒ නිසයි. පාරිසරික බලපෑම අවම කරන ගමන් මෙය ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදාගන්න පුළුවන් කියන විශ්වාසය අපට තිබුණා.
අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශ්‍රීකාන්තන් කාටේෂන් අපට නිවැරදි මඟපෙන්වීමක් සිදු කරනවා. ඒ වගේම මා මිත්‍ර ඇන්තනී අර්බේඩ් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා ඉන්නවා.
අපට තිබෙන ලොකුම ගැටලුව ඉවතලන කෝපි කුඩු එකතු කරගැනීම. ඒ වගේම කොන්ක්‍රීට්වලට සමාන ශක්තියක් ඇති කරන්න ඕනේ. එයට විද්‍යාත්මක ක්‍රම සොයාගැනීමත්, එයින් ඇති වන ඵලදායිතාව පිළිබඳත් අප මෙහිදි අවධානය යොමු කරනවා. මේක නව අදහසක් වන නිසා දැනට මේ සම්බන්ධයෙන් දැනුම අවබෝධ ලබාගැනීමට, කියවීමට පත පොත හෝ මුලාශ්‍ර නැති තරම්. මේ නව ව්‍යාපෘතිය අධ්‍යයනය කිරිමේදී, ඒ ගැන අත්හදා බැලීමේදී අපට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. කෝපි කොන්ක්‍රීට් නිසා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ලාබ ලබන්නට පුළුවන්. ඒ වගේම පරිසර හානියත් අවම කර ගන්නට පුළුවන්.”
සෙනුර බොහෝ අවධානයෙන් පවසන්නේ තමන් විසින් කාලයක් තිස්සේ කරන ලද අත්හදාබැලීම ගැනය. ඔස්ට්‍රේලියාවේදී ඔවුන් විසින් හඳුන්වා දෙන ලද කෝපි කොන්ක්‍රීට් අපේ රටට ද හඳුන්වා දෙන්නට පුළුවන් ද එයින් අප රටට යම් වාසියක් ලබාගැනීමට හැකිදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.
“ඇත්තම කිව්වොත් මම දන්න විදිහට ලංකාවේ කෝපි බොන සංස්කෘතියක් නෑ. නමුත් ඔස්ට්‍රේලියාව වගේ වැඩි වශයෙන් කෝපි පානය කරන රටකට මේ නව අත්හදාබැලීම යොදාගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මේ ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියාවේදී සාර්ථක කර ගන්න පුළුවන් කියලා. දිනකට එක් පුද්ගලයෙකු කෝපි කෝප්ප දෙකක් තුනක් පානය කරනවා. කෝපි හලක දිනකට ලීටර් 60ක් පමණ අලෙවි වෙනවා. විශාල ලෙස පහසුවෙන් ඒ ඉවතලන කෝපි කුඩු සොයාගත හැකියි. අද අප කළ යුත්තේ වැලි කියන සම්පත රැකගැනීමයි. ඉවතලන කෝපි කොන්ක්‍රීට් සෑදීමට යොදාගැනීම නිසා වැලි ගොඩදැමීම් අවම වෙනවා. පරිසර දූෂණය අවම වෙනවා. පරිසර හිතකාමී විදිහට ප්‍රයෝජනවත් යමක් සිදු කිරීමයි අපට ඕනෑ වුණේ.
අද උදා වෙලා තියෙන්නේ පරිසරය සුරැකීම සදහා කවුරු කවුරුත් මූලිකත්වය ගත යුතු කාලයක්. අපි අපේ ව්‍යාපෘතිය ගැන දිගින් දිගටම පර්යේෂණය කරනවා. ඉදිරි පරම්පරාවටත් මේ දැනුම බෙදා දෙන්නට අප සූදානම්. අපි ඉගෙන ගන්නා විශ්වවිද්‍යාලයට අපේ ව්‍යාපෘතිය ඉදිරිපත් කර තිබෙනවා. ඒ හඳුන්වා දීමේදී අපට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම තවමත් මෙය පර්යේෂණ මට්ටමේ. අපට තියෙන ලොකුම වගකීම මේ මිශ්‍රණයේ සවිශක්තිය තහවුරු කිරීමයි.”
සෙනුර පවසන්නේ තමන් කරගෙන යන කටයුත්ත ගැන බොහෝ විශ්වාසයෙනි.
සෙනුර අත්හදා බලන මේ කෝපි කොන්ක්‍රීට් ක්‍රමය සාර්ථක වුවහොත් දිනෙක අපට ද ආඩම්බර විය හැකිය. මන්දයත් ඔහු ලෝකයේ කොහේ සිටියද, ලංකා පුත්‍රයෙක් බැවිනි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!