Gossip

නම්බුව වෙනුවෙන් සොහොයුරිය මැරූ සොහොයුරා

ක්වැන්ඩිල් බැලොක් නමින් ලොව හමුවේ තම නාරිලාලිත්‍යය විදහාලු ඇය 2016 දී ඝාතනයට ලක් වුණා. ඒ පිටස්තරයෙකු අතින් නොවෙයි. ඇගේ ම සොහොයුරා වන මොහොමඩ් වසීම් අතින්. ඔහු කීවේ තමන් සොයුරිය මරණයට පත්කළේ පවුලේ නම්බුව රැගැනීමට බවයි. ඇය සිදු කළ වරද සමාජ මාධ්‍ය සහ රූපවාහිනී නාලිකා ඔස්සේ කාන්තාවකට නොගැළපෙන ලෙස හැසිරීමලු. බැලොක්ගේ මරණය මුලින් ප්‍රකාශ වුණේ වෙඩි තැබීමකින් බවයි. නමුත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි සඳහන් වී ඇත්තේ නින්දේදී සිදු කළ හුස්ම සිර කිරීමකින් ඇය මිය ගොස් ඇති බවයි.

ක්වැන්ඩිල් බැලොක් ඇගේ සැබෑ නම නොවෙයි. ඇගේ නම ෆවුසියා අසීම්. පාකිස්තානු ජාතික යුවතියක්. පාකිස්තානයේ මුල් බැසගෙන ඇති සම්ප්‍රදායික මතවාද නොසලකමින් මුහුණු පොතේ තම ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් කිරීම ඇයට අකාලයේ දිවියෙන් සමු දීමට සිදු වූ ‘බරපතළ’ වරදයි. විටින් විට මරණ තර්ජනවලට මුහුණ දුන් ඇය අන්තිමේදී තම සොයුරා අතින්ම මරණයට පත් වුණා. පසුගියදා පාකිස්තානයේ මුල්ටාන් නුවර අධිකරණය විසින් මොහොමඩ් වසීම් ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ක්වැන්ඩිල් බැලොක් හෙවත් ෆවුසියා අසීම් උපත ලැබුවේ 1990 මාර්තු 01 දා. පන්ජාබ් ප්‍රාන්තයේදී. බැලොක්ගේ මුල්ම රැකියාව වුණේ බස් රථයක සේවිකාවක ලෙස කටයුතු කිරීමයි. නිරූපණ කලාවට එක්වූ පසුව බැලොක් ගේ ස්වරූපය මුළුමනින්ම වෙනස් වුණා. ඇය පෙනී සිටි ඡායාරූප සහ වීඩියෝ දර්ශන දුටු කිසිවෙකුටවත් මේ සිටින්නේ දැඩි මතධාරී සමාජයක් සහිත පාකිස්තානයේ යුවතියක් යැයි සිතාගන්නට හැකි වුණේ නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය ඇයව හැඳින්වූයේ හොලිවුඩය කලඹාලන නිරූපිකාවක් ‍වන කිම් කාර්ඩේෂියන් වැනි අයකු හැටියටයි. නමුත් පාකිස්තාන මාධ්‍ය ඇයව දුටුවේ අනංග දියණියක හැටියටයි. බැලොක් විවාහ වූයේ 2008 දී. ඒ වන විට ඇගේ වයස අවුරුදු 18 යි. සැමියා, ආශික් හුසේන්. එම විවාහයෙන් ඇයට පුතෙකු ලැබුණා. විවාහයෙන් වසරක් ගතවෙද්දී බැලොක් සහ ආශික් වෙන් වුණා. විවාහ ජීවිතයේදී තම සැමියාගෙන් විඳින්නට සිදුවූ ශාරීරික පීඩා මේ රූමතිය හෙළිකළේ ප්‍රසිද්ධියේ කඳුළු සලමින්.

උපුටාගැණිම – සිළුමිණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!