පාතාල නායක මාකඳුරේ මදූෂ් ඉදිරි දෙසතිය ඇතුළතදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගෙන ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ (09) දින කැඳවූ අවස්ථාවේදීයි.
එකී ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය ඉතා සංකීර්ණ විමර්ශනයක් බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඝාතන කුමන්ත්‍රණයට පාර්ශ්ව රැසක සබඳතා පවතින බවත් සඳහන් කර තිබෙනවා. මින් එක් පාර්ශ්වයක් ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් නමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙතෙක් සැඟවී ඇති බොහෝ තොරතුරු අනාවරණය විය හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.