මෙඩලින් යනු කොළොම්බියාවේ දෙවැනි විශාලතම නගරයයි.
අද එය සංචාරක ආකර්ෂණය දිනූ නේක විද පුෂ්පයන්ගෙන් පිරි යහපත් කාලගුණයක් සහිත නගරයකි. සුප්‍රසිද්ධ ටයිම් සඟරාව මින් වසර 25කට පමණ පෙර මෙඩලින්, ‘ලොව වඩාත්ම භයානක නගරය’ ලෙසින් නම් කළේය.
කට වචනයෙන් පැවසෙනුයේ මේ නගරය තනා ඇත්තේ සොහොන් පිටියක් මතින් බවයි.
එසේ වීමට හේතුවූයේ එක්තරා කාල සීමාවකදී මේ නගරයේ විසූ පුද්ගලයෙකි. එකල නගරයේ තාප්ප හා බිත්ති පුරාද සාප්පුද සැරසී තිබුණේ ඔහුගේ සේයාරූවලිනි.
මුළු නගරය පමණක් නොව රටම භීතියට පත්කරමින් කොළොම්බියාව යුධ කලාපයක් කර මෙඩලින් යන නාමය මුළු මහත් ලෝකය පුරා පැතිරවීමට ඔහු සමත් විය. පැබ්ලෝ එස්කොබා නම් වූ ඔහු ලෝක ඉතිහාසයේ දරුණුම හා වඩාත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුය.
‘කොකේන් රජු’ ලෙසින් කුප්‍රකට නමක් දිනා සිටි ඔහු අසූව හා අනූව දශකයේ මුළු මහත් ලෝකයේ කොකේන් බෙදා හැරීමේ ප්‍රධාන මොළකරු වූයේය. ඉන් සියයට අසූවක් පමණ ප්‍රමාණයක මත්ද්‍රව්‍ය නතර වූයේ ඇමෙරිකාවේය. මෙනිසාම එස්කොබා කලක් තිස්සේ ඇමෙරිකාවට මහත්ම හිසරදයක් ව සිටියේය.
අදද ඔහු අවතාරයක් මෙන් වරින් වර කොළොම්බියාව පුරා භීෂණය, මුදලට ගිජුබව, දූෂණය, යුද්ධය හා භයානකකම ගැන මතක අවුස්සන්නේය.
මේ කාලය පැබ්ලෝ එස්කොබා ගැන ලිවීමට වඩාත් සුදුසු යැයි හැඟුණේ අප රටේද මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන නිතර කෙරෙන කතාබහ නිසාය.
කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මහත් ධනස්කන්ධයක් උපයමින් ඇමෙරිකාව, ආර්ජන්ටිනාව හා කොළොම්බියාව යන රටවල බලය පතුරුවා ගෙන සිටි එස්කෝබාට අත්වූ ඉරණම හා ඔහු අයුතු ලෙසින් හරිහම්බ කළ මහා ධනස්කන්ධයට කුමක් වීද යන්න වත්මන් කූඨ ජාවාරමුන්ට පාඩමක් වනු නොඅනුමානය.
ලෝක ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙසින් තවමත් නම්දරා සිටින එස්කොබා උපතින් එදාවේල කන්න නොමැති දිළිඳු පවුලක දරුවෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔහුගේ ආරම්භය දුෂ්කර විය.
ඔහු පළමුවෙන්ම කළේ හොර රහසේ ඇමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමය. ක්‍රමයෙන් ධනය හා බලය එක්වෙද්දී කුණු ගොඩකට කුණු එකතු වන්නා සේ සහචරයෝ ඔහු වටා එක්රොක් වන්නට වූහ.
එස්කොබාගේ මේ සහචර කණ්ඩායම එකල හැඳින්වූයේ ‘මෙඩලින් සන්ධානය’ලෙසිනි.
එස්කොබා කෙතරම් සූර බුද්ධියකින් යුක්තද යත් මුල් අවදියේදී ගුවන් යානාවල රෝදවල ඉතා සූක්ෂම ලෙස සඟවා කොකේන් යැවීමට සමත් විය.
ඇඳුම් දියරමය කොකේන්වල පොඟවා පසුව ඒවා මිරිකා කොකේන් ලබා ගැනීමද ඔහුගේ තවත් උපක්රමයකි.
ඔහු මෙලෙස හොර රහසේ කොකේන් සඟවා ගෙන ඇමෙරිකාවට යෑම නිතර සිදු කළේය.
පසුව ඔහු මියාමි වෙරළාසන්න නැව්වලට පැටවීම සඳහා කොකේන් යැවීමට දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කෙරෙන සබ්මැරීන් දෙකක් මිලට ගත්තේය. එම සබ්මැරීනයේ බහා වරකට යැවූ කොකේන් ප්‍රමාණය කිලෝ 2000කි. කොකේන් ප්‍රවාහනය සඳහා ඔහු හෙලිකොප්ටර්, ට්‍රක් රථ හා බෝට්ටු ද යොදා ගත්තේය.
ඇමෙරිකාවට හොර රහසේ කොකේන් ප්‍රවාහනය කිරීමෙන් ඉතා ධනවත් වූ එස්කොබා ඔහුගේ සාර්ථකම අවදියේ මසකට කොකේන් ටොන් 70ක් ඇමෙරිකාවට ප්‍රවාහනය කිරීමට සමත් වූයේය.
ඔහු හොර රහසේ කොකේන් ප්‍රවාහනය කළේ මෙක්සිකෝව හා කැරිබියානු රටවල් හරහාය. ‘කොකේන් රජු’ ලෙස වැජඹෙන අවදියේ ලොව කොකේන් සැපයුමෙන් සියයට අසූවක්ම එස්කොබාගේ අතේ විය.
මෙඩලින් නගරය මූලස්ථානය කරගෙන ඔහුගේ කණ්ඩායම දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව පුරා කොකේන් වවමින් කොකා කොළ ප්රතිසැකසුම් කිරීම සිදු කළේය.
ඉතාම ධනවත් අපරාධකරු ලෙසින් ඉතිහාසයට එක්වෙමින් එස්කොබා මෙඩලින් සන්ධානය මෙහෙයවමින් එක්රැස් කළ ධනය 1989 වසරේදී ඩොලර් බිලියන 25 ඉක්මවීය.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සතියකට ඔහු ඉපයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 420කි.
දිනපතා ඇමෙරිකාවේ සිට ඩොලර් මිලියන 60ක මුදලක් විවිධ කූඨ ක්‍රමවලින් ඔහු අතට ලැබිණ. ඔහු උපයන මුදල් ප්‍රමාණය සැඟවීමට ව්‍යාජ හා රහස් ක්‍රම යොදාගත් අතර වැඩි මුදලක් තැන්පත් කෙරුණේ ඇමෙරිකානු මූල්‍ය ආයතනවලය. එසේම ඇමෙරිකාවේ ඔහු වෙනුවෙන් මිලදී ගත් ඉතා අගනා වත්කම් ද විය.
එස්කොබා නිතරම සිය සහචරයන් ලවා මුදල් හුවමාරු කරවූයේ පැනමාවේ හා බහමාස් දූපත්වල ඇති වංචනික බැංකු මගිනි. නිත්‍යනුකූල ලෙස කොළොම්බියාවට ගෙනා මුදලින් ඔහු ඉතා අගනා දේපළ මිලදී ගත් අතරම විවිධ ආයෝජන සඳහාද යෙදවීය. ඔහු සතුව කොළොම්බියාවේ පැනමාවේ හා ඇමෙරිකාවේ මන්දිර රැසක් විය. එක් මන්දිරයක් ඔහු මිලදී ගෙන තිබුණේ මව සඳහාය.
දැන් ඒ ඇතැම් මන්දිර කඩා බිඳ දමා ඇති අතර සමහරක් රජය සතු නිවාඩු නිකේතන බවට පත්කර ඇත. ඔහු ගැන මතක සටහන් ඇත්තෝ එම නිවහනක මුදල් ගෙවා රැයක් ගෙවීමට තවමත් කැමැත්ත දක්වති.
මෙඩලින් සන්ධානය ලෙස හැඳින්වූ සහචරයෝ එස්කොබා ගේ කළු සල්ලි යොදවා වාර්ෂිකව අයි ෆෝන් සහ ලෝකයේ මිල අධික පාපන්දු ක්‍රීඩා සමාජ නවයක් මිලදී ගැනීම සිදු කළහ.
වාහන එකතු කිරීම ඔහුගේ විනෝදාංශයක් වෙද්දී විවිධ මාදිලියේ මෝටර් රථ, ජීප් හා ට්රක්රථ සිය ගණනක් ඒ එකතුවේ විය.
ඔහු සතු මුදල් පොදි බැඳුණේ කුඩා නෝට්ටු මිටි ආකාරයෙනි. එලෙස නෝට්ටු මිටි බැඳීමට සතියකට ඩොලර් 2800ක රබර් පටි මිලදී ගැනීම අවශ්‍ය විය.
කොකේන් ජාවාරමෙන් එස්කොබා ඉපයූ ධනය කෙතෙක් ද යත් ලොව ධනවතුන් ගැන සොයා බලන ‘ෆෝබ්ස්’ සඟරාව වරක් ඔහු ජීවතුන් අතර සිටින ධනවත්ම පුද්ගලයන් අතරින් අයකු ලෙස නම් කළේය. දිනපතා ඔහු වෙත ඇදී එන මුදල් කන්දරාව ප්‍රවාහනය කර ගැනීමද ඔහුට ප්‍රශ්නයක් විය.
ඒ සඳහා ඔහු යෙදූ උපක්‍රමය වූයේ මිලියන 100ක මුදල් තබා ගත හැකි ලියර් ජේට් යානයක් මිලදී ගැනීමය. එස්කොබා මුදල් හංගන්නට හැකි හැම තැනකම මුදල් සැඟවීය.
ඔහු වියදම් කළ නොහැකි මුදල් ඈත ගම්බද මන්දිරවල බිත්ති ගුල්වල, පෙළොව යට හා මල් පෝච්චිවල මෙන්ම ට්‍රක් ලෝඩ් පිටින් විශාල බැරල්වල බහා කොළොම්බියානු ගම්බද පළාත්වල අගල්වල සැඟවීය.
මේ මුදල් කොහේ ඇත්දැයි තවමත් කිසිවෙක් නොදනිති. ඔහු සතු මුදල් නෝට්ටු බැංකුගත කළ නොහැකි වූයෙන් සෑම වසරකම ලාභයෙන් බිලියන 2.1ක් ඔහුට අහිමි විය. ඒ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් මීයන් හා වේයන්ට ගොදුරු වීමෙන් හා දියබත්වි විනාශ වීම නිසාය.
කොකේන් ජාවාරමේ තමාට හරහට සිටින්නේ කවුද ඔහු මරා දැමීම එස්කොබාට සුළු දෙයක් විය. ඒ සඳහා ඔහු සතුව මිනීමරුවෝ 3000ක් සිටියහ.
1982 වසරේදී ඔහු සිය බලය තවත් තහවුරු කර ගැනීමට කොළොම්බියානු කොංග්‍රසයට තරග කර ජය ගත්තේය. එහෙත් දෙවසරකට පසු ඔහුගේ ධනය පිළිබඳ තොරතුර එළියට ඒමත් සමඟ ඉල්ලා අස්වන මෙන් ඔහුට බල කෙරිණ.
ඉල්ලා අස්වීමෙන් පසු ඔහු තමා පිළිබඳ තොරතුරු හෙළි කළ අධිකරණ ඇමැතිවරයා ඝාතනය කළේය.
වරක් ඔහු කොළොම්බියානු ජනාධිපති අපේක්ෂකයකු ඝාතනය කිරීමට ගුවන් යානයක සිටි මගීන් 107 දෙනාම ඝාතනය කළේය. ඔහුගේ සන්ධානය පුද්ගලයන් පැහැර ගැනීමටත් පගාව දීමටත් ඝාතනයටත් කිසිවිටෙකත් පසුබට නොවීය. එලෙස එස්කොබාගේ කල්ලිය අතින් ඝාතනය වූවන් අතර ඇමැතිවරු, විනිසකරුවෝ, නීතිවේදීහු, පොලිස් නිලධාරීහු හා පුවත් කලාවේදිහු ද වූහ.
ඔහු මෙවැනි ඝාතන 5000කට වැඩි සංඛ්‍යාවක් සඳහා වගකිය යුතු පුද්ගලයා බවට ඉතිහාසගතව ඇත්තේය. වරක් එස්කොබා වාමාංශික ගරිල්ලා සංවිධානයකට සහාය දක්වමින් කොළොම්බියාවේ අධිකරණ මන්දිරය වට කරමින් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසකරුවන් ප්‍රාණ ඇපකරුෙවා් ලෙස ගනු ලැබූහ. පසුව විනිසකරුවන් 11 දෙනකු හා ප්‍රාණ ඇපකරුවන්ගෙන් වැඩි දෙනෙකු ඝාතනය කළේය.
මොහු කෙතරම් ඝාතන සිදු කළද කොළොම්බියාවේ දුප්පතුන්ට ඔහු ‘රොබින් හුඩ්’ කෙනෙකි.
ඔහු දුප්පතුන්ට නිවාස සාදා දුන්නේය. පාපන්දු පිටි හා රෝහල් ඉදි කළේය. නොමසුරුව මුදල් ආධාර කළේය. මෙනිසා වත්මනෙහිද ඇතැම්හු ඔහු සිහිපත් කරනුයේ ආදරයෙනි.
එස්කොබාගේ පෞද්ගලික සත්ව උද්‍යානය හා පවුලේ විනෝද උයන සඳහා මිලදී ගත් ඉඩම වර්ග කිලෝ මීටර් 20ක් පුරා පැතිර තිබිණ. ඔහු එහි තැනූ සත්ව උද්‍යානය කොළොම්බියාවේ නොමැති සත්ව වර්ගවලින් පිරවීය. අලි, හිපපොටේමස් සත්තු, ජිරාෆ්, ඔටුවන්, පැස්බරුන් හා අශ්වයෝ ඒ අතර වූහ.
මේ සතුන් ඉතා ශක්තිමත්ව වැඩී සිටි අතර එස්කොබා විනෝදයට රයිනෝ සතුන් පිට නැග යෑම කළේය.
මත් ද්‍රව්‍ය ජාවාරමෙන් ලොව විනාශ කරන මේ කුඩු රජුන් මත් ද්‍රව්‍ය පානය නොකිරීම විශේෂයකි. එස්කොබා ද එවැන්නෙකි. ඔහුගේ ළඟම සහචරයකු මතට ඇබ්බැහි වීම වරක් ඔහු දැඩි කම්පාවට පත් කර තිබිණ.
ලොවට විනාශය කටින පුද්ගලයකු වුවද අයථා සබඳතා තිබුණද මොහුගේ බිරිය මාරියා ඔහු හැර නොගියාය.
ඇය ඔහු හා විවාහ වෙද්දී වයස අවුරුදු 15කි. එස්කොබාට 25 කි. ඔහු දෙදරු පියෙකි. පුතු සෙබස්තියන් හා දියණිය මැනුවෙලා වෙනුවෙන් ඔහු නොකළ දෙයක් නැති තරම්ය. දරුවන්ට දිය හැකි සැම දෙයක්ම
දුන් එස්කොබා ඔවුන්ගේ උපන් දින සාදවලදී පැණි රස කෑමට අමතරව පිඟන් පිරවූයේ මුදල් නෝට්ටුවලිනි.
අසූව හා අනූව දශකයේදී එස්කොබා කොකේන්වලින් ඇමෙරිකාව වනසද්දී ඇමෙරිකාවට ඔහු මහත්ම හිසරදයක් විය. මෙනිසා ඇමෙරිකාව ඉතිහාසයේ පුද්ගලයකු අල්ලා ගැනීම සඳහා සිදු කළ විශාලම මෙහෙයුම දියත් කරමින් කොළොම්බියානු රජය හා ගිවිසුමක් අත්සන් කළේය.
ඇමෙරිකානු සීඅයිඒ සංවිධානය මෙඩලින් නගරය පැමිණ කොළොම්බියානු විශේෂ කාර්ය බළකාය හා එක්ව මෙහෙයුම් දියත් කරද්දී එස්කොබා සිය සහචරයන්ද සමඟින් මඟී ප්‍රවාහන බස් රියක නැඟි ගම්බදට පලා ගියේය.
මල් අපනයනය කරන ව්‍යාපාරිකයකු බව අඟවමින් වෙස්වලා සිටි ඔහුගේ ලොකුම බිය වූයේ තමන් ඇතුළු සහචරයන්ට ඇමෙරිකානු සිරගෙවල ලැගීමට සිදුවනු ඇතැයි යන්නය.
“ ඇමෙරිකානු සිරගෙදරක අවසන් වෙනවාට වඩා කොළොම්බියාවේ සොහොනක වැළලෙන එක මට සැපක්” යන්න එස්කොබා නිතර ප්‍රකාශ කළ දෙයකි.
ඒ වෙනුවෙන් හුවමාරුවට ඔහු බොහෝ දේ යෝජනා කළේය. වරක් බලධාරීන් වෙත බාරවීමට යෝජනා කළ එස්කොබා ස්වයං පිටුවහලක් යෝජනා කරමින් තමාට රැඳී සිටීමට ‘ද කැතඩ්‍රල්’ නමින් සුපිරි බංකරයක් තනා ගත්තේය.
දියණියට දැඩි ආදරයක් දැක්වූ ඔහු පලායන සෑම අවස්ථාවකදීම ඇය රැගෙන ගියේය. වරක් මෙලෙස කොළොම්බියානු කඳුකරයක සැඟවී සිටියදී මැනුවෙලා රෝගීවී සීතලෙන් වෙව්ලන්නට විය. ඇයට ගිනි තැපීම සඳහා එස්කොබා ඩොලර් නෝට්ටු මිලියන දෙකක් පුලුස්සා දැමීය.
තවත් වරක් එස්කොබා තමාගේ නිදහස පතා කොළොම්බියානු ජාතික ණය මුදලින් ඩොලර් බිලියන 15ක් ගෙවා දැමීමට ඉදිරිපත් වුවත් එය ප්‍රතික්ෂේප කෙරිණි. තැනින් තැන කෙතරම් සැඟව සිටියත් එස්කොබා වඩාත් ප්‍රිය කළේ මෙඩලින් නගරයටය. මෙනිසා ඔහුගේ අවසානය සිදු වූයේද ඔහු ප්‍රිය කළ නගරයේදීය.
ඇමෙරිකානු හා කොළොම්බියානු හමුදා ඔහුගේ සුපිරි බංකරය වටලද්දී ඔහු නගරයේ නිවෙස්වල වහල මතින් දිව ගියේය. අවසානයේ කොළොම්බියානු හමුදා වෙඩි පහරකින් ඔහු මහමඟ දී ඝාතනය විය. කෙසේවුවත්, ඔහු අදහන්නන් පවසන්නේ එස්කොබා ඝාතනය වූවා නොව සිය දිවි නසා ගත් බවයි.
එස්කොබා මිය යෑමත් සමඟ ඔහුගේ බිරියටත් දරු දෙදෙනාටත් කිසිම රැකවරණයක් නොවූයෙන් ඔවුහුද හොර රහසේ වෙනත් රටවලට පලා ගියහ. කොළොම්බියානු රජය එස්කොබාගේ සියලු ධනය තහනම් කරමින් රාජ්‍ය සන්තක කළ අතර බිරිය හා දරුවෝ සිය නම් වෙනස් කරමින් වෙනත් රටවල රැකවරණ පැතූහ. එහෙත් කිසිම රටක් ඔවුන්ට රැකවරණ දීමට ඉදිරිපත් නොවීය. පසුව ඔවුහු ආර්ජන්ටිනාවේ තට්ටු නිවාසයක පදිංචි වූහ. පියා මිය යද්දී දරු දෙදෙනා පිළිවෙළින් 14වැනි හා 9 වැනි වියේ පසුවූහ.
එස්කොබාගේ වැරැදිවලට දරු පවුල වැරැදිකරුවන් නොවුයෙන් ඔවුන්ට ආර්ජන්ටිනාවේම ජීවත් වීමට ඉඩ හැරියේය.
එස්කොබාගේ ඝාතනයත් සමඟ රජයේ හමුදා ඔහුගේ මන්දිර කඩා බිඳ දමමින් ඇතැම් ඒවා නිවාඩු නිකේතන ලෙස සංරක්ෂණය කළේය.
ඔහුගේ ඉඩම් බුල්ඩෝසර් යොදවා හාරන්නට වූයේ බැරල්වල සැඟවූ මුදල් සොයාය. ඇමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කළ ඔහු සතුවූ ගුවන් යානයක් තවමත් බහමාස් අවට නොගැඹුරු මුහුදේ ගිල්වා දමා ඇත්තේය.
නඩු විභාගයන්හිදී වරදකරුවන් වූ ඔහුගේ හෙංචයියන් දීර්ඝකාලීන සිර දඬුවම්වලට ලක් කෙරිණි. එලෙස සිර දඬුවමට ලක් කළ එක් සහචරයකු වසර 23ක් සිරගතව සිට 2017 අප්‍රේල් මස නිදහස්වී පැමිණියේය. ජෝන් හෙවත් පෙපේ නම්වූ ඔහු එස්කොබාගේ කුලී ඝාතකයෙකි.
නිදහස්ව පැමිණි පෙපේ මෙඩලින් නගරවාසීන් විසින් පිළිගනු ලැබුවේ අත්පොළසන් නඟමින් ගී ගයමිනි. බොහෝ දෙනා ඔහු හා සෙල්ෆි ගැසීමට පොරකෑහ. තමා ඝාතන 250ක් පමණ කළ බවත් සංවිධානය 50000 දහසකට වැඩි සංඛ්‍යාවක් මැරූ බවත් ඔහු හිරේ සිට පැමිණ පැවසීය.
“සංවිධානයට මට හෝ එස්කොබාට හානි කරනවානම් මං මගේ පියා වුණත් මරණවා. මං සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කළේවත් මැරුවේවත් නැහැ. එස්කොබාට මිනීමරුවන් 3000ක් විතර හිටියා. ඒත් පණ පිටින් ආපසු එන්න ලැබුණේ මට විතරයි. මං වාසනාවන්තයි.
මට වෙනස් වෙන්න හැකිවූ නිසා මිනිසුන් දැන් මට ආදරෙයි.” හිරෙන් නිදහස්ව පැමිණි පෙපේ පවසා තිබිණ. ඔහු සිරගෙදර සිටියදී එස්කොබා සමඟ ගෙවූ ජීවිතය ගැන ග්රන්ථ දෙකක් රචනා කළේය.
නම් වෙනස් කරමින් ආර්ජන්ටිනාවේ ජීවත් වූ එස්කොබා බිරිය හා දරුවන් කවුදැයි අනාවරණය වීමත් සමඟ ඔවුන්ට විවිධ හිරිහැර එල්ල වන්නට විය.
එස්කොබා නීති විරෝධිව ඉපයූ මුදල් ඔවුන් වියදම් කරන බවට චෝදනා කරමින් එස්කොබා බිරිය හා පුත්‍රයා වසර 2000දී මාස 15ක සිර දඬුවමකට යටත් කරනු ලැබිණ. එහෙත් සාක්කි නොමැතිකම නිසා ඔවුන් නිදහස් කිරීමට බලධාරීන්ට සිදු විය.
එස්කොබාගේ පුත්‍රයාට නම වෙනස් කළ පමණින් පියාගේ පව්වලින් මිදීමට නොහැකිව ඇත්තේ ඔහු පෙනුමෙන් මුළුමනින්ම පියාට සමාන වීම නිසාය.
ඔවුන් කවුරුන්දැයි හෙළිවීමත් සමඟ පුතා සිය සැබෑ නම වෙනුවට පියාගේ නම ම භාවිත කරමින් ජීවත් වීම අරඹා ඇත්තේය.
ඔහු පියාට ආදරය කළද ඔහුගේ ජීවනෝපාය හා මැරකම් අනුමත නොකරයි. දැන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන ඔහු වෙඩි හඬට බියක් නොමැති නිදහස් පරිසරය ප්‍රිය කරයි.
පියා කළ කී දෑ වෙනුවෙන් පසුතැවෙන මේ පුතා 2009 වසරේදී සිය පියා සිදු කළ පාප කර්ම ගැන පොතක් ලියා පළ කළේය. සිය පියාගේ භීෂණයේ වින්දිතයන් දෙදෙනකුගේ හා මවගේ අදහස් ඇසුරෙන් රචනය කෙරුණු එම කෘතියෙන් ඔහු පියාගේ සියලු රහස් හෙළි කර ඇත.
එපමණක් නොව ඔහු එමගින් පියාගේ සියලු වින්දිතයන්ගෙන් ද කොළොම්බියානු ජනතාවගෙන්ද මුළු මහත් ලෝකයෙන්ම සිය පියාගේ ක්‍රියා කලාපය වෙනුවෙන් සමාව අයැද ඇත්තේය. වත්මනෙහි ඔහු යහපත් කල්ක්‍රියාව ගැන දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෙකි.
එස්කොබාගේ ආදරයට වඩාත් ලක්වූයේ ඔහුගේ දියණිය මැනුවෙලාය.
පියා ජීවතුන් අතර සිටින සමයේ වරක් මැනුවෙලා ඔහුගෙන් පැනයක් විමසීය.
“ඩැඩී, ඩොලර් බිලියනයක් කියන්නේ කීයක්ද?”
“ඩොලර් බිලියනයක් කියන්නේ ඔයාගේ ඇස් දෙකේ වටිනාකම මගේ පුංචි කුමාරියේ” ඊට එස්කොබා දුන් පිළිතුර එය ය. වැඩිමල් සොහොයුරා හා මව අනුව නොයමින් මැනුවෙලා මහජන ඇසෙන් සැඟව ජීවත් වන්නීය.
ලෝක නෙට්ෆ්ලික්ස් චැනලය ඔහුගේ ජීවිතය අළලා චිත්‍රපටයක් තැනීමත් සමඟ එස්කොබාගේ ජීවිතය පිළිබඳ මෑතකදී යළිත් ලෝක ප්‍රජාවගේ කතාබහට ලක්විය.
උපුටා ගැනීමකි
