අධික ලෙස බීමත්ව පොලිසියට පැමිණ අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරීන්ට බැන වැදී කොල්ලුපිටිය පොලිස් මැදිරියේ වීදුරුවකට පහරදී බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ රූමත් තරුණියකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම සැකකාරිය ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (31 දා) පස්වරුවේ නියෝග කළා.
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි එක්තරා පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියක ලෙස සේවය කරන එම තරුණිය සිය මිතුරු මිතුරියන් පිරිසක් සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට පැමිණ මත්පැන් පානය කර නටා ගයා ප්‍රීති වී ඇති බවත් අධික බීමත්කම නිසා අශෝභන ලෙස හැසුරුන එම තරුණියව එහි ආරක්ෂක නිලධාරීන් විසින් රාත්‍රි සමාජ ශාලාවෙන් පිටතට ඇද දමා ඇති බවත් පැමිණිල්ලෙන් කියවුණා.
එම නඩුව ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ පොලිස් නිලධාරියා කරුණු දක්වමින්, ස්වාමීනි මෙම සැකකාරිය පොලිසියට ඇවිත් එම රාත්‍රි සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් තමන්ට පහරදුන් බවට පැමිණිල්ලක් කළා. අපි ඒ අනුව එම ආරක්ෂක නිලධාරියාව පොලිසියට රැගෙන ආවා.
අධිකරණය – එතකොට මේ සිද්ධිය වුණේ කොහොමද?
පොලිසිය – එම ආරක්ෂක නිලධාරියාව කූඩුවට නොදමා එළියේ තියාගෙන ඉන්නවා කියලා සැකකාරිය මහ හයියෙන් ඉතාමත් අසභ්‍ය වචනයෙන් අපට විතරක් නෙමෙයි ස්ථානාධිපතිතුමාටත් බැන්නා. ඇගේ හඬට පොලිසියට අල්ලපු නිවසේ ඉන්න අය පවා විපරම් කළා. පොලිසියේ දොරට ගහලා වීදුරුව බින්දා.
විත්තියේ නීතිඥ – කිංස්ලි හෙට්ටිආරච්චි මහතා – මත්පැන් පානය කළාම ගොඩදෙනෙක් එහෙම තමයි ස්වාමීනි. අපි අලාභය ගෙවන්න සුදානම් බීමත්ව හැසුරුනු චෝදනාවට වරදත් පිළිගන්න සූදානම්.
අධිකරණය – සැකකාරිය තරුණ කාන්තාවක් නේද? නීතිය ආරක්ෂා කරන ස්ථානයකට ගියාම හැසිරෙන විදිය කාන්තාවක් ලෙස ඇය දැනගන්න ඕනනේ. එහෙම හැසිරෙන්නේ නැත්නම් ඒක යුක්තිය ඉටු කිරීමට අන්‍යාකාරයෙන් බාධා කිරීමක් කාන්තාවක් ලෙස එහෙම ආවේගශීලීව නොහැසිරෙන්න ඇය දැනගත යුතුයි.
