අයුතු යෝජනාවට අකැමැති වූ 21 හැවිරිදි දෙදරු මව සහ ඇයගේ කුඩා දරු දෙදෙනා ගෙල සිරකර ඝාතනය කර පුළුස්සා වළ දැමීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා පසුගිය 23 වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය.
2000 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී වීරඟුල හෙට්ටිඟුල ප්රදේශයේදී 21 හැවිරිදි හොරතල්පේඬිගේ චමිලා පද්මිණී, ඇයගේ 07 හැවිරිදි විඡේසිංහ පේඬිගේ සමිත් මධුමාල් සහ මාස 08 ක් වයසැති විඡේසිංහ පේඬිගේ මධුෂානි යන තිදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 54 ක් වූ (දැන්) ලියනගේ නිමල් ජයතිලක හෙවත් පොඩි මහත්තයා නමැත්තාට මෙසේ මරණ දඬුවම නියම කෙරුණා.
2000 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිටි තිදෙනා සම්බන්ධයෙන් වීරඟුල පොලිස් ස්ථානයේ 2006 වර්ෂයේ සිට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සනත් මගලේගොඩ මහතාට ලද නිර්නාමික ලිපියක් මත කළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී වාර්තා වුණා.
