ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප්රමුඛ මෙරට සමාජ මාධ්‍යවල, වැඩිපුරම කතාබහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත.
පසුගියදා ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ජනාධිපතිවරයා ප්රමුඛ මෙරට කණ්ඩායම ආර්ථික උපදේශිකාවක ලෙස ගිහානිවද රජයේ වියදමින් රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය පුරා පසුගිය දිනවල ප්‍රචාරය විය. එම ප්‍රචාරයන් මුල් කර ගනිමින් නොයෙකුත් බරපතළ ආකාරයේ අපහාස උපහාසද සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ල විය.
මේ සම්බන්ධව විවිධ ප්‍රචාරයන් කෙතරම් ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වූවාද කිවහොත් අවසානයේ එම ප්‍රචාරයන් අසත්‍ය බව සඳහන් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවටද මැදිහත්වීමට සිදුවිය.
කෙසේවෙතත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිවාක් මෙන්, සමාජ මාධ්‍ය හරහා මෙසේ ප්‍රචාරය වූ කරුණු පිටුපස කිසියම් හෝ සත්‍යයක් ඇතිද? නැතහොත් මේවා සම්පූර්ණයෙන්ම මඩ ප්රචාරයන්ද? අප ඒ ගැන ගිහානි වීරසිංහගෙන්ම අසා දැනගැනීමට කටයුතු කළෙමු.
මොනවද මේ දවස්වල ඔබ ගැන සමාජ මාධ්‍ය පුරා පැතිරිලා තියෙන මේ ප්‍රචාර ?
ඒවා ඔක්කොම නිකම්ම නිකම් මඩ විතරයි. ඒවාවල කිසිම ඇත්තක් නැහැ. ඇත්තටම පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ මං තරම් අපහාස උපහාසයන්ට ලක් වූ කාන්තා චරිතයක් නැතුව ඇති. මම පෞද්ගලිකවම හඳුනන්න පුද්ගලයින් පවා මගෙන් කිසිවක් අහන්නෙවත් නැතිව මා වෙත එල්ල කළ චෝදනා දැකල මම පුදුමයට පත්වුණා.
ඒ කියන්නෙ ඔබ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගිවෙන්න ලන්ඩනයට ගියේ නැහැ?
ගියා. එ්ත් මම ගියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවටයි. එයට මා ගියේ මාගේ සැමියා සමගයි. ඔහු ශ්‍රී ලංකා යුරෝපා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා. මෙරට මුදල් අන් රටකට ගෙනයෑමේ අරමුණෙන් නොව විදේශයක සිට මෙරටට ආයෝජනයක් හෝ ගෙන ඒමේ අරමුණෙන් තමයි මගේ සැමියා එහි ගියේ. ඒ වගේම, ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලත් ව්‍යාපාරික සංගමයක් ලෙස තමයි අප පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ගියේ. අපට පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සමුළුවට නිල ආරාධනාවක්ද ලැබී තිබුණා. සැමියා සභාපතිත්වය දරන එම ශ්‍රී ලංකා යුරෝපා ව්‍යාපාරික කවුන්සිලයේ නියෝජ්‍ය සභාපතිනියද මමයි. ඒ අනුව එම සමුළුවට එක්වෙන්න සෑම අතින්ම සුදුසුකමක් හා අයිතියක් මට තිබුණා.
එතකොට ඔබ ලන්ඩනයට ගියේ රජයේ වියදමින් නොවෙයි?
නැහැ, කොහෙත්ම නැහැ. ඒ වෙනුවෙන් සියලුම මුදල් අපි අපගේ පෞද්ගලික මුදලින් තමයි වියදම් කළේ. රජයෙන් කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අපට ලබා දුන්නේ නැහැ.
ඔබ ජනාධිපතිවරයාගේ හෝ රජයේ ආර්ථික උපදේශිකාවක් වන බවද ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රචාරය කර තිබුණා.
එයත් සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක්. එවැනි කිසිදු තනතුරක් මා දරන්නේ නැහැ. මා ලන්ඩනයේ ව්‍යාපාරික සමුළුවට සහභාගිවීමට භාවිත කළ හැඳුනුම් පතත් මම මුහුණු පොතේ පළකළා. එයද විකෘති කරල මට මඩ ගැසීමට ඇතැමුන් උත්සාහ කර තිබුණා.
නමුත් ලන්ඩනයේදී ඔබ හා ජනාධිපතිවරයා එක්ව ගත් ජායාරූපයක් අප මුහුණු පොතෙන් දැක්කා ?
ව්‍යාපාරික සමුළුවට එක් වූ සියලුම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් නියෝජිතයින් මෙන්ම එරට ශ්‍රි ලංකික ව්‍යාපාරිකයින් හා ජනපතිවරයා අතර හමුවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සැසියට සමගාමීව පැවැත්වුණා. එහිදී ජනපතිවරයා දේශනයක්ද පැවැත්වූවා. ඊට එක්ව සිටි ශ්‍රී ලංකික ව්‍යාපාරිකයින් සියලුදෙනාම පාහේ ජනපතිවරයා සමග ඡායාරූප ගත්තා. මම එතුමා සමග ඡායාරූපයට එක්වූයේ සැමියාද සමගයි.
මෙම සමුළු හා රැස්වීම්වලදී අපට පොදුරාජ්‍ය මණ්ඩල සැසිය වෙනුවෙන් ලන්ඩනයට පැමිණ සිටි සෙසු අමාත්‍යවරුන්ද හමුවුණා. රටේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සංවිධානයක සභාපතිවරයකු වන මගේ සැමියා එම මැති ඇමැතිවරුන්ව හොඳින් හඳුනනවා. ඒ අනුව සුහද කතා බහ අතර, සැමියා හා මා ඔවුන් සමගද ඡායාරූප ගත්තා. නමුත් ඒ සෑම ඡායාරූපයක්ම මුහුණු පොතට එක්කර තිබුණේ සැමියාගේ රුව ඉවත් කරලයි.
එතකොට ඔබට ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි යන හිටපු අමාත්‍යවරුන් හමුවුණේ කොහේදිද?
වෙනත් අවශ්යතාවකටයි ඔවුන් ලන්ඩනයට පැමිණ තිබුණේ. අප එහි සිටින බව දැනගත් ඔවුන් අපටද ඔවුන්ගේ කුඩා සාදයකට ආරාධනා කළා. දේශපාලනිකව කුමන මතයක් දැරුවත් මගේ සැමියා මෙන්ම මාද ඔවුන්ව හොඳින් හඳුනනවා කැනාරිවොල්ෆ් යන ප්‍රදේශයේ පිහිටි තානායමක පැවැත්වූ එම සාදය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ උපන් දිනය වෙනුවෙන්, එහිදී මා හා මගේ සැමියා ඔවුන් සමග ගත් ඡායාරූප තමයි මුහුණු පොතේ ඔබ දැක ඇත්තේ.
ඔබ කියන පරිදි ඔබ ගැන පළවන මේ සියලු තොරතුරු අසත්‍ය මඩ ප්‍රචාර නම් කවුද ඒවා ප්‍රචාරය කරන්නේ,? කුමන හේතුවක් උඩද එලෙස ප්‍රචාරය කරන්නේ?
විවිධ දේශපාලන වාසි ලබාගැනීමට විවිධ පිරිස් මෙහිදී මාව ඉත්තෙකු කරගෙන ඇති බව පෙනෙනවා. මෙවැනි දේ මේ වන විට සමාජ මාධ්‍ය පුරා බහුලව සිදුවෙනවා. කාන්තාවන්ට අපහාස කරමින් සතුටක් ලබන මානසික අසහනකාරයින්ද මෙවැනි ප්‍රචාරයන් ව්‍යාප්ත කිරීමට සහාය වෙනවා. මා පසුගිය 20 වනදා සිට අද වන තෙක් සයිබර් බුලින් තත්ත්වයට පත්වෙලා. සයිබර් බුලින් සිංහලෙන් අර්ථ ගැන්විය යුත්තේ ‘සයිබර් අවකාශයේ ආත්ම කෙලෙසීම ලෙසයි.පෞද්ගලික මුදලින් ඔවුන්ගේ ආරාධනාව මත ව්‍යාපාරික සමුළුවකට. ව්‍යාපාරික සංගමයක මහජන සම්බන්ධතා උප සභාපතිනිය ලෙස සහභාගීවීම වරදක් වන බව හෝ ස්වාමියා සමගින් සංචාරයක නිරතවීම වරදක් වන බව මා මීට පෙර කිසිදා විශ්වාස කළේ නැහැ. ඒත් ඊර්ෂ්‍යාවෙන්, විවිධ දේශපාලන උවමනාවන් මත හා අසහනයෙන් පෙළෙන පිරිසක් සමාජ මාධ්‍ය තුළ මාව ගණිකාවකගේ තත්ත්වයට ඇද දමලා. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක්.
සමාජ මාධ්‍ය හරහා කිසිදු වගකීමකින් තොරව මෙවැනි අසත්‍ය මඩ ප්‍රචාර කාන්තාවන්ට එරෙහිව ප්‍රචාරය වීම වැළැක්වීමට රජය හා මානව හිමිකම් සංවිධාන පෙරට පැමිණිය යුතුයි. කාන්තා සංවිධානද, කාන්තාවන්ගේ චරිතය ඝාතනය කරන මෙවැනි කුරිරු සමාජ මාධ්‍ය මෙහෙයුම් පාලනය කරන්න ඉදිරිපත් විය යුතුයි. නැතිනම් අද මට සිදුවූ මෙම අසාධාරණය හෙට මේ රටේ තවත් කාන්තාවකටද අත්විඳීමට සිදුවේවි.
උපුටා ගැනීමකි.