Gossip

ෆේස්බුක් ලොක්කෝ එක්ක රජයේ නිළධාරීන් කතා කළේ මොනවාද?

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ජාතීන් අතර විරසකයක් ඇති කරන වෛරී සහගත ප්‍රකාශ වැලැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සමාගමේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණියා.

ඔවුන් ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම සාකච්ඡාව සඳහා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ වෛරීසහගත ප්‍රකාශ පැතිරවීම හෝ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සඳහා ෆේස්බුක් යොදා ගැනීමට ඉඩ නොතබන බවට එම සමාගමේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වී ඇති බවයි.

ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලය වෙත ප්‍රවේශ වීම සඳහා තාවකාලිකව පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

සාකච්ඡාවට ලක්වූ කරණු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ වර්ගවාදී ආගම්වාදී වෛරී ප්‍රකාශන පැතිර යාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යූහයන් ස්ථාපනය කිරීම සඳහා ෆේස්බුක් බලධාරීන් එකඟ වූ බවයි.

එහිදී රජය, සිවිල් වැසියන් හෝ අපරාධ පරීක්ෂණ ආයතනයන් විසින් කෙරෙන කරුණු දැක්වීම් කෙරෙහි කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හා ක්‍රියාකිරීමට ඔවුන් එකඟතාව පල කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම එකඟතාවන් පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් නියමිත කාල නියමයන් තුල දෙපාර්ශවය අතර සිදු කිරීමටත් ඒ අනුව වඩා කාර්යක්ෂම සහ සඵලදායී පියවර සැලසුම් සහගතව අනාගතයේදී ක්‍රියාත්මක කිරීමටත් දෙපාර්ශවය එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!