මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් පසුව මියගිය දාහතර දෙනකුගේ අවමංගල්‍ය උත්සවයට ප්‍රමිතියෙන් තොර බාල මිනී පෙට්ටි ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා තිබෙනවා.
මෘත දේහ තැන්පත් කිරීම සඳහා ගෙනගිය මිනී පෙට්ටි කැඩී ඇති බවත් එම මිනී පෙට්ටිවල ලී ගැලවී තිබූ බවත් එම අවස්ථාවේ මාධ්‍යට පෙන්වීමට මහජනතාව කටයුතු කර තිබුණා.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරී මණ්ඩලයක් පත් කර කෙළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයට ඊයේ (18දා) පිටත් කළ බවද අනුර ප්‍රියර්දර්ශන යාපා මහතා සඳහන් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ සිද්ධියෙන් මියගිය පිරිසගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් ඉතා උසස් මට්ටමෙන් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී තිබියදී ඒ සඳහා ප්‍රමිතියෙන් තොර මිනී පෙට්ටි මිලදී ගෙන ඇති බවට තමාට තොරතුරු ලද සැණින් මේ විශේෂ පරීක්ෂණය ආරම්භ කළ බවද අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අදහස් දක්වමින් පවසා තිබුණා.
එමෙන්ම තමන්ගේ මියගිය සමීපතමයින්ගේ දේහයන් තැම්පත් කිරීමට අදාළ මිනී පෙට්ටි, නිවැසියන්ටම තෝරා ගැනීමටද අවස්ථාව දෙන ලෙසට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත්කර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
