සමහර විට ඔබ සංගීතයට බෙෙහවින් ප්‍රිය කරන අයෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට එසේ නොවන්න පුළුවන්. එකිනෙකාගේ සිතැඟි එකිනෙකාට වෙනස් බව හැමෝම දන්න කාරණයක්. කොහොම වුණත් මේ කියන්න යන්නේ සංගීතයට බෙහෙවින් ප්‍රිය කරන නිර්මාණාත්මක සහ හැකියාවන්ගෙන් පිරුණු මිනිසුන් පිරිසක් නිර්මාණය කළ අපූරු සංගීත භාණ්ඩයක් ගැනයි.
සංගීත භාණ්ඩයක් කිවුවාම දැන් තියෙන සංගීත භාණ්ඩවලට අමතරව නිර්මාණය කරලා තියෙන අලුත්ම සංගීත භාණ්ඩය මොකක්ද කියලා ඔයාලා ඕනෑකමෙන් බලයි ඒ මොකක්ද කියලා.
ඇතැම් විට ඔබට මේක හිතාගන්න බැරිවෙයි. ඒත් ඒක තමයි ඇත්ත. මේක සැමදා ජීවමාන සංගීත භාණ්ඩයක්ද කියන්න හදිස්සි වෙන්න ඕන නෑ. නමුත් මේ නිර්මාණය ගැන දැනුවත්ව සිටීම සාමාන්‍ය දැනුමටත් හොඳයි.
මේ අලුත්ම සංගීත භාණ්ඩය ගැන කියනවා නම් මේක තියෙන්නේ ක්‍රොඒෂියාව කියන රටේ සදාර් නගරයට ඔබ්බෙන්. ඒ කියන්නේ හරියටම සදාර් මුහුදු වෙරළේ. සදාර් මුහුදු වෙරළ කියන්නේ හිරු බැස යන දර්ශනය නැරඹීමට හැකි ලෝකයේ ඇති සුන්දර වෙරළ තීරයන් අතර ඉහළින්ම වැජඹෙන ස්ථානයක්.
මෙම වෙරළ තීරයේ එක් ස්ථානයක පඩිපෙළක් වැනි නිර්මාණයක් දක්නට ලැබෙනවා. එම පඩිපෙළ ගොඩ බිමේ සිට මුහුද දෙසට මීටර් 17ක් පමණ දුරයි. එය පඩිපෙළ 7ක් ලෙස දක්නට තිබෙනවා.
විවිධ ප්‍රමාණයෙන් හා හැඩයෙන් නිර්මාණය කරන ලද දෙපළු කළ ප්ලාස්ටික් බට මෙම පඩිපෙළ තුළ ඉතා සූක්ෂම ලෙස රඳවා ඇති අතර රළ පහර වදින විට අමුතුම තාලයක් මේ ඔස්සේ නිර්මාණය වෙනවා. ඉතින් මේ ආකාරයට රළ පහර දිගින් දිගටම වදිද්දි සදාර් වෙරළේ මෙම ඕගනය ජීවමාන ලෙස නාද දෙමින් තියෙනවා. මෙය නිර්මාණයට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ නිකොලා බේසික් නැමැති අයෙක්. තවත් ප්‍රවීණයින් කිහිප දෙනෙකුත් ඊට සහය වී තිබෙනවා.
කොහොම කොහොම හරි මේ සංගීත භාණ්ඩය අමුතුම මිහිරක් සංචාරකයින්ට ගෙනත් දී තිබෙනවා. බොහෝමයක් සංචාරකයින්ද මෙම වෙරළ තීරයේ සුන්දරත්වය විඳ ගැනීමට පැමිණෙනවා. එසේ පැමිණෙන බොහෝ දෙනාට මෙම අපූරු සංගීත භාණ්ඩයේ මිහිර විඳගනිමින් සැඳෑව ඉතා චමත්කාර ලෙස ගත කරන්න හැකියාව ලැබිලා.
පහත වීඩියෝව බැලුවාම මේ සංගීත භාණ්ඩය මොකක්ද කියලා ඔබට අදහසක් ගන්න පුළුවන් වෙයි.
