Gossip

“ළමයෙක් එක්ක ගැහැණියෙක් ගේනවට මොන අම්මද කැමති ?”

ප්‍රශ්න කරදර කියන්නේ ජීවිතේ හිතන්නේ නැතිවෙලාවක අපිව හොයාගෙන එන දේවල්.
ඒ විදිහට ආපු කරදරයක් නිසා ජීවිතයම වෙනස් වුණු සංවේදී කතාවකි මේ.

වෙලාව මධ්‍යම රාත්‍රිය ද පසුවී තිබිණි. නින්ද ඒ වනතුරුත් මා අසලටවත් පැමිණ නොතිබිණි. කොට්ටිය මත මුහුණ හොවාගෙන
නිදි දෙව්දුව වැළඳ ගන්නට දැඩි උත්සාහයක් ගත්තද නින්ද මා වැළඳ ගන්නේ නැත. දෙනෙත් වේදනාවෙන් පිරී ඇත. මගේ සිත ඈතට දිව යයි. ඒ අතරින් මට පෙනේනේ ඇගේ රුවයි.
එය මට කිසිදා අමතක කළ නොහැක්කකි.
මිතුරකුගේ ඇරයුමෙන් කොළඹින් සැතපුම් ගණනාවක් දුරින් පැවති පි‍්‍රයසාදයක් අවසානයේ අපිට නවාතැන් ගන්නට ලැබුණෙත් ඇගේ නිවෙස තුළය. ඇය විවාහක එක්දරු මවකි. ඇය සැමියා හා එක්ව මටත් මිතුරාටත් ආගන්තුක සත්කාරයේ යෙදුණු අන්දම මගේ සිතින් කිසිදා පහව නොයයි. කල්යාමේදී දැන හඳුනාගත් අප පෙම්වතුන් වුයේ මා මිතුරාට මෙන්ම ඇගේ සැමියාට ද හොර රහසිනි.
එක් දරු මවක වුවද ඇය ඇත්තෙන්ම රූමතියකි. අහිංසක එකියකි. ඇය විවාහක එකියක් බවත් මා මෙන්ම ඇය කරන්නේ ලොකු වැරැද්දක් බව දැන දැනත් අපි අපේම ලෝකයක තනිවුයෙමු. ඒ සොඳුරු මතකය මගේ සිත යළි අවදි කරයි.
“එයා ගාව ආදරේ නැහැ මට ඕන ආදරේ ඔයා ගාව තියෙනවා …..” ඇය නිතරම කීවේ එවන් කතාවකි.
ආදරය අපේ හදවත් ළං කළ ද අප ජීවත් වුයේ සැතපුම් ගණනක් ඈතිනි. ඒ නිසා ඇය නිතර දෙවේලේ මට මුණ නොගැසිණි. ඒත් අපි කෙසේ හෝ සබඳකම් ඇතිකර ගත්තෙමු.
කාලය මෙසේ ගෙවී යද්දී මවුපියන් මා හට විවාහ යෝජනාවක් ගෙන ඒම නිසා ඇගේ ආදරයට නැවතීමේ තිත තබන්නට මට සිදුවිය.
“හැමදාමත් ඔහොම ඉඳලා බැහැනේ පුතේ … නංගිවත් මොනවා හරි පිළිවෙළක් කරන්න ඕනනේ…. මෙන්න මේකටවත් කැමති වෙයන්.”
“මට හදිස්සි නැහැ අම්මේ…. නංගිව ඉස්සෙල්ලා බන්දලා දෙන්න. එහෙමනෙ සාමාන්‍යයෙන් මඟුල් කෙරෙන්නේ …. මම පස්සේ…”
“ඇයි උඹට කොහේ හරි ගැනියෙක් වත් ඉන්නවද?
ඔව්” කියා මුව පුරා කීමට තරම් ශක්තියක් මට නොතිබිණි. ඒත් ඇය මට කෙතරම් වටිනා වුවද ඇය විවාහක කතක් නිසා අම්මා ඊට තදින්ම විරෝධය දක්වන බවද මම දනිමි. ඒ නිසා මම ඇය ගැන අම්මාට නොකීවෙමි.
“ඉන්නව නම් කියපන්….”
“එහෙම කෙනෙක් නෑ අම්මේ…”
“ඇයි ඔෆිස් එකේවත්…”
“අම්මට පිස්සුද”
කුමක් හෝ කියා අම්මගේ කතාව වෙනතකට හැරෙව්වද අම්මා ගෙනා විවාහ යෝජනාවෙන් බේරී සිටීමට මට නොහැකි විණි. අවසානයේ ඊට කැමැත්ත පළකරන්නට කලියෙන් මම ඇය සොයා ගියෙමි. ඇයට ඇත්තම කතාවද කීවෙමි.
“එතකොට මගේ පුතා.”
ඇගේ කතාව ඇත්තකි. ඇය සිය සැමියා දමා මා සමඟ පැමිණීමට කැමැත්තෙන් සිටී. ඒත් ඇයට ඇගේ හත් හැවිරිදි පුතා දමා එන්නට නොහැකි බව ඇය පුන පුනා කියන්නීය.
“මට පුතා නැතිව ඉන්න බැහැ. මම යන තැනකට පුතාත් අරගෙනයි යන්නේ”
ඒ ප්‍රශ්නෙදි මම නිරුත්තර වුණෙමි.
“ළමයෙක් එක්ක ගැහැනියෙක් ගේනවට මොන අම්ම කෙනෙක්ද ළමයෝ කැමති.”
මම ඇයට පහදා දුනිමි.
“ඒක මම දන්නේ නැහැ. ඔයා හිතට එකඟව තීරණයක් අරගන්න. මට කියන්න තියෙන්නේ එච්චරයි. මම ඔයාට ආදරෙයි.”
ඇය කියන්නේ සැබෑවකි. එහෙත් දරුවකුත් සමඟ ගැහැනියක් ගෙනෙන බව පුතකු අම්මා කෙනෙකුට කියන්නේ කෙලෙසදැයි මට නොතේරෙයි. ඒ නිසා ඇය මගේ ජීවිතයෙන් අමතක කරන්නට මට සිදුවිය. අම්මාගේ පෙරැත්ත මත ඇය ගෙනා යෝජනාවට මම අවසානයේ කැමති වුණෙමි.
අපේ විවාහය සිදු වී වසර දෙක තුනක් යනතුරු මා ඇයත් අතර කිසිදු සබඳකමක් නොතිබිණි. ඇය අමතන්නට කිිහිප වතාවක් උත්සාහ ගත්තද ඇගේ දුරකථනය පවා ක්‍රියා විරහිත කර තිබිණි.
වැඩිකල් නොගොස් මගේ බිරියට මා ගැන දැනුණේ සැකයකි. ඒ නිසා අප අතර නිතර නිතර ආරවුල් ඇතිවිණි.
“ඔයාට තව ගෑනියෙක් ඉන්නවනේ… ඇයි මට බොරු කරන්නේ. ඕක මුලින්ම කිව්වනම් මමත් වෙන මිනිහෙක් හොයා ගන්නවනේ.”
“ඔයාට පිස්සුද… කොහේ ඉන්න ගෑනියෙක් ගැනද ඔයා කතා කරන්නේ.”
“මට බොරු කරන්න හදන්න එපා. මම ඔයාගෙ ඩයරියක් දැක්කා. ඒකෙ ලියපුවා සේරම ඇත්ත.”
මට හීන් දාඩිය දැම්මේ එවිටය. ඒත් ඇය මේ කියන්නේ මා විසින් අමතක කළ කතාවකි.
“ආ… ඒ ..පරණ…”
මම නොයෙකුත් දේ කියමින් ඇඟ බේරා ගන්නට උත්සාහ කළෙමි. ඒත් ඒ කිසිවක් සාර්ථක නොවිණි.
“හරි දැන් මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.”
“මට බොරු කරපු එක.”
“මොකක්ද බොරුව.”
“තව ගෑනියෙක් ඉන්දැද්දී මාව කසාද බැඳපු එක. පරණ දෙයක් ඇදගෙන ඇය කරන්නට යන්නේ කුමක්දැයි මට නොතේරුණි. කොතරම් දේ කීවද ඒ කියන කිසි දෙයක් ඇය විශ්වාස නොකළාය.
“දැන් එහෙම දෙයක් නැහැ.. ඒක තිබුණේ ඔයා කසාද බඳින්න කලින්…”
“අනේ මේ බොරු කියන්න එපා. මම මේ වගක් දන්නවනම් කවදාවත් ඔයාව කසාද බඳින්නේ නැහැ.”
මාත් ඇයත් අතර ආරවුල් ඇතිවෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. කොතරම් තේරුම් කර දෙන්නට හැදුවද ඇය ඒ කිසිවක් තේරුම් නොගත්තාය.
“හරි … මෙහෙම පවුල් කන්න බැහැ. තමුසෙට ඕනනම් මගෙන් අයින් වෙනවා….”
අවසානයේ මම ඇයට තරයේ කීවෙමි.
“මම මොකටද අයින් වෙන්නේ…. ඔයාටනේ මාව ඕන නැත්තේ… ඔයා අයින් වෙන්න.”
“දැන් මම කිව්වද ඔයාව එපා කියලා. ඔයානේ ඔහොම කියන්නේ… “
ඒ වගක් වත් තේරුම් ගැනීමට ඇයට ශක්තියක් නොතිබිණ.
“මොකද.. අදත් අරකි බලලද ආවේ…”
රෑ බෝවී ගෙට ගොඩ වෙන මට නිතරම අසන්නට ලැබුණේ ඇගේ සැරපරුෂ වදන් පමණි. ඇය මගේ ඇගේ එල්ලෙමින් නොයෙකුත් දෑ කියමින් මා සමඟ පැටලිණි. අවසානයේ ඇය මගේ නිවෙසින් සමුගත්තේ වැඩි දිනක් යන්නට පෙර දික්කසාද වීමේ තීරණයද ගන්නා බව කියමිනි.
එතැන් පටන් මම තනිවුයෙමි. අම්මාගෙන් ද මට ලැබුණේ දෝෂාරෝපණ පමණි.
“උඹට ඔච්චර හොඳ ගෑනියෙක් එක්ක ඉන්න බැරි වුණානේ.”
මා අම්මාට ඇය ගැන තේරුම් කර දෙන්නට උත්සාහ ගත්තද අම්මාට ද මා කියන දේ තේරුම් ගැනීමේ ශක්තියක් නොවිණි.
“දැන් ඉතින් මොනවා කරන්නද? අම්මවත් මාව තේරුම් ගන්නේ නැහැනේ. මොන කරුමයක් ද මන්දා.” වේදනාවෙන් පිරුණු මගේ සිතට අවශ්‍ය වුයේ සහනයක් පමණි. දහසකුත් සිතිවිලි අතර තනි වූ මම ඊළඟට ගත යුතු පියවර ගැන සිතමින් දස අතේ කල්පනා කරන්නට වුයෙමි.
“මම එයා හොයාගෙන යනවා.”
ස්ථිරවම ගත් තීරණයක් මත දිනෙක මම සැතපුම් ගණනාවක් ඈතින් සිටි ඇය සොයා ගියෙමි.
“කාලෙකට පස්සේ …. කොහොමද මහත්තයා.”
මා පිළිගත්තේ ඇගේ සැමියා විසිනි. ඒත් මට අවශ්‍ය වුණේ ඇය දැක බලා ගැනීම පමණි.
“දැන් කොහොමද මහත්තයා. කසාදත් බැඳලලු නේද? බබාල එහෙම ඉන්නවද?”
ඔහුට පිළිතුරු දීමට තරම් ආත්ම ශක්තියක් මට නොතිබිණි. මගේ දෙනෙත් ඒ මේ අත දිවයයි. ඒ ඇය දක්නා අටියෙනි.
“මහත්තයාට කෑම ටිකක්වත් හදලා දෙන්න ගෙදර කවුරුවත් නැහැ මහත්තයො.”
“ඇයි කෝ ඔයාගේ නෝනා.”
මගේ කතාවෙන් ඔහුගේ දෙනෙත එකවරම කඳුළින් පිරිණි. එතැනම තිබු බංකුවක ඔහු හිඳගත්තේ දිග සුසුමක් ද පිට කරමිනි.
“ඒකි මාව දාල ගියා මහත්තයා…”
“ඒ කිව්වේ..”
“ඒකි දරුවත් අරන් යන්නම ගියා. “
“කාත් එක්කද?”
“එහෙම දෙයක් දන්නේ නැහැ. දැන් ගිහින් අවුරුද්දකටත් වැඩියි. ඉන්න තැනක්වත් දන්නේ නැහැ. දැන් ඉතින් මම තනියම.”
මට ඔහු ගැන ඇති වුයේ දුකකි. අනුකම්පාවකි. ඇය ගැන ඇතිවුණේ තරහකි.
ඇය කොහේ ගිහින් ඇත්ද?
මම නොයෙකුත් සිතුවිලි අතරේ පැටළුණෙමි. ඔහුගෙන් සමුගත් මම යළි නිවෙසට පැමිණියෙමි. ඇය සොයා යන්නට මගේ සිත වද දේ. එහෙත් කොහේ කියා යන්නද? එයද මගේ කරුමයක් වන්නට ඇත. ඇය තවත් ආදරයක් සොයා යන්නට ඇතැයි සිතූ මා විඩාබර දෙනෙත් තදින් පියා ගත්තේ ඇගේ රුව සිහිනෙන් හෝ දකින අදිටනෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!