Gossip

“හැමෝටම වෙනස්වීම් කියන දේ උරුමයි. එයාගේ ජීවිතේ අවස්ථා ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ එයාටමයි”

රංගනයෙන් වගේම නිවේදනයෙන් රසික හදවත් දිනාගත්තු ඇය නමින් තිලකා රණසිංහ.
ඇයගේ ආදරණීය පුතනුවන් තමයි සාරංග දිසාසේකර කියන්නේ.
ඉතිං මේ අම්මයි පුතයි ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියලා තිබුණා.

ඇයි අම්මටයි පුතාටයි බිස්නස් පැත්තට යොමුවෙන්න හිතුණේ?
ඒක අහඹු සිදුවීමක්. මේ විෂය ගැන ලොකු දැනුමක් නම් අපිට තිබුණේ නැහැ. නමුත් කරගෙන යනකොට හිතුණෙ ව්‍යාපාරයක් කියන්නෙත් ඒ තරම්ම අපහසු දෙයක් ‍නෙවෙයි කියන කාරණය. මුලින්ම අපි පිරිසක් එක්ක එකතුවෙලයි ව්‍යාපාරය කරගෙන ආවේ. දැන් මමයි පුතයි එකතුවෙලා ඉදිරියට එය කරගෙන යනවා.

ගුවන්විදුලිය තුළ ඔබේ කාර්යභාරය ගැනත් කතා කරමු?
ගුවන්විදුලිය සහ රූපවාහිනිය තුළ මම දිගටම වැඩසටහන්හි නියැළුණා. පටිගත කරන ලද සේවාදායක වැඩසටහන් තමයි ඉදිරිපත් කෙරෙන්නේ. සතිපතා වැඩසටහන් ඉදිරිපත් කිරීමක් මගෙන් සිද්ධ වෙනවා.

සාරංග දිසාසේකර කියන නළුවා ඔබේ පුතා වීම ගැන මොකද හිතෙන්නේ?
පුතා ‍පොඩි කාලෙමයි කලාවට දක්ෂතා පෙන්නුම් කළේ. දැන් ඒ හැකියාව තවත් ඔප මට්ටම් වෙලා. රටේ හැමෝම ආදරය කරන ජනප්‍රියම සහ හොඳම නළුවෙක් වීම තුළ මගේ පුතා ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරකමක්. ඔහු ගැන අහනකොට, ඔහුගේ හැකියාව දකිනකොට අම්මා හැටියට මම තමයි ලොකුම සතුටක් ලබන්නේ.

* රංගනයෙන් ඔහු සාර්ථක වෙනකොට පුද්ගලික ජීවිතේදී ඔහු පසුබෑමකට ලක්වෙනවා?
හැමෝගෙම ජීවිතවලට ‍පොදු කාරණාවක්නේ ඒක. හැමෝටම වෙනස්වීම් කියන දේ උරුමයි. මම හිතනවා පුතාටත් වුණේ ඒ විදිහට ජීවිතේ තවත් එක අවස්ථාවකට මුහුණ දීමටයි. ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගැනීම තමයි වැදගත් සහ විය යුතුම දේ හැටියට මම දකින්නේ.

මේ හැම තීරණයකම අවසාන තීරකයා වන්නේ මව විදිහට ඔබද?
හැම දේකදීම ඔහු සහ මම කතාබහ කරනවා. ඒක පෞද්ගලික ජීවිතේට විතරක් ‍නෙවෙයි වෘත්තීය ජීවිතේටත් ‍පොදුයි. අපි දෙන්නා විතරක් ‍නෙවෙයි ඇතැම් තීරණවලදි අපි අපේ පවු‍ලේ අනෙකුත් උදවිය සමගත් කතාබහ කරලා උපදෙස් ගන්න දෙපාරක් හිතන්නේ නැහැ.

ඔහු, රටේ ජනප්‍රිය නිළියක් හා සම්බන්ධ කරමින් පැතිරෙන කතාවල සත්‍යයක් තියෙනවාද?
ඒක ඒ තරම්ම සුවිශේෂී විදිහට සිතිය යුතු නැහැ. මොකද මීට පෙරත් පුතා යම් නිළියක් එක්ක රඟපානවා නම් ඔහු සහ ඇය සම්බන්ධ කරලා කතා පැතිරෙන එක සාමාන්‍ය දෙයක් වුණා. මම හිතන්නේ සමහර විට ඔවුන්ගේ රඟපෑම තුළ තියෙන තාත්වික බව ඒකට හේතුවක් වෙන්න ඇති. කොහොමත් අපි කලා පවුල් එක්ක හරි කිට්ටුයි. ඉතින් මේ වගේ කතා හරි සාමාන්‍යයයි. අපි නම් ඒ කතා ගැන විශේෂයෙන් හිතන්න යන්නේ නැහැ.

පුතාගේ ජීවිතේට දැන්වත් ගැළපෙනම සහකාරිය තෝරලා දෙන්න අම්මා සූදානම්ද?
කවදාවත් මම මගේ වුවමනාවට පුතාගේ ජීවිතේට බලපෑම් කරලා නැහැ. ඉදිරියටත් ඒක එහෙමමයි. එයාගේ ජීවිතේ අවස්ථා ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නේ එයාටමයි. පුතාට සුදුසු තීරණ ගන්න මම උපදෙසක් දුන්නොත් මිස මම මැදිහත්වෙලා බලපෑමක් වෙන්න යන්නේ නෑ. ගත යුතු සුදුසුම තීරණය ඔහු ගනියි කියන විශ්වාසය මට තියෙනවා.

පුතෙක්ගේ ආදරය හා රැකවරණය අම්මා කෙනෙක්ට කොච්චර වැදගත්ද?
ඒ ආදරය ගොඩක් වැදගත් හැම අම්මා කෙනෙක්ටම. පුතෙක්ගෙන් මවකටත් මවකගෙන් පුතෙකුටත් ලැබිය යුතු සහ දිය යුතු ආදරය හා සෙනෙහස හරි විශේෂයි. මගේ පුතාට නම් අම්මා වගේම තාත්තා වුණෙත් මම නිසා අපේ බැඳීම තවත් ශක්තිමත්.

ජීවිතෙන් මගහැරුණු අය නැවත මුණගැහෙනකොට මොකද හිතෙන්නේ?
අපේ ජීවිතවල මුල් අවධියේ සිට මේ දක්වා මගහැරුණු සහ අතහැරපු අය ඉන්නවා. මම නම් ඔවුන් දිහා තරහින් හෝ වෛරයෙන් බලන්න පුරුදුවෙලා නැහැ. ඇතැම් අය නැවත නැවත කතාබහ කරන්න යොමු වෙනවා. ඔවුන් ගැන වුණත් තරහක් හෝ වෛරයක් නම් කිසිසේත්ම ඇතිවෙන්නේ නැහැ. කුමක් හෝ දෙයක් නිසා එහෙම මගහැරීම් සහ අත්හැරීම් වෙන්න ඇති කියලා හිතන්නයි අපි පුරුදුවෙලා ඉන්නේ. එහෙම නැතුව එකම දේ හෝද හෝද මඩේ දාන්න නම් යන්නේ නෑ කිසිසේත්ම.

ආපස්සට හැරිලා බැලුවොත් මේ ආපු දුර ගැන අනිවාර්යයෙන් යමක් කියන්න ඇති?
සොම්නස, දොම්නස, සතුට, ශෝකය එක්ක මිශ්‍ර වෙච්ච දෙයක්නේ ජීවිතේ. ඒක දිගටම නැතුව වෙනස්වීම් එක්ක ගලාගෙන යනකොට තමයි ජීවිතෙත් හරි ලස්සන. මම හිතනවා යමක් වෙනවා සහ වුණා නම් ඒ සියල්ල වුණේ යහපතට. ඒක මම වගකීමෙන් සහ අත්දැකීමෙන් කියන්නේ. පසුතැවිලි වෙන දේවල් ‍නෙවෙයි, ජීවිතේ තවත් යහපත් ආකාරයට ඉස්සරහට අරන් ගියපු දේවල් තමයි ජීවිතේ සිද්ධවෙලා තියෙන්නේ.

අම්මයි, පුතයි එකට තිරයේ දකින්න අපිට අවස්ථාවක් ලැබෙයිද?
තවම නම් එහෙම අවස්ථා ලැබිලා නෑ. නමුත් මම පුතාගේ වයසේ දරුවෝ එක්ක රඟපාලා තියෙනවා. එතකොට ඔවුන් ගැන මට දැනෙන්නෙත් මට මගේ පුතා ගැන දැනෙන හැඟීමමයි. මමත් ආසයි මගේ පුතත් එක්ක නිර්මාණයක එකම තිරයේ රඟපාන්න.

දෙදෙනාගේම නිර්මාණාත්මක හැකියාව එකතු කරලා අධ්‍යක්ෂණයට එහෙම යොමු වෙන්න අදහසක් නැද්ද?
ඒ අදහස මුල් කාලෙත් තිබුණා. දැනටත් තියෙනවා. මම ‘පාට පාට බැලුම් බෝල’ නමින් 1998දී කෙටිකතාවක් පළ කළා. එය පාදක කරගෙන නාට්‍යයක් නිර්මාණය කිරීමේ අදහස තිබුණා. එය කෙසේ හෝ මගහැරිලා ගියා. තවම නිර්මාණයක් කිරීමේ අදහස අපි ළඟ තියෙනවා. බලමු ඉතින් හොඳ පිටපතක් ලැබුණම හොඳ නිර්මාණයකුත් දවසක එළියට එයි.

ඔබ කෙතරම් දුරට ශක්තිමත් ගැහැනියක්ද?
මම හිතනවා මම ශක්තිමත්. ඕනම තැනකදී තීරණ ගන්න අපිට අනිවාර්යයෙන්ම පණ ඇති කොන්දක් අවශ්‍යයි. ඒ වගේම හිත ශක්තිමත් වෙන්න ඕන. මේ සේරම එක්ක ප්‍රශ්නවලට මුහුණ දීමේ විචාර බුද්ධියක් තියෙන්න ඕන. වැරදීම් හා පසුබෑම් හැමෝටම තියෙනවා. නමුත් ඒ වරද නිවැරදි කර ගැනීමේ ශක්තිය අපිට තියෙන්න ඕන. ඕනම ප්‍රශ්නයක දෙපැත්තක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම හිතලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. ඒ වගේම මම අසාධාරණයටත් විරුද්ධ ගැහැනියක්. කෙලින් වැඩ කරන මනුස්සයෙක්, හරි දේට හරි විදිහට මුහුණ දුන්නොත් ඒ දේ අනිවාර්යයෙන්ම හොඳ විදිහට විසඳෙනවා. ඒක තමයි මගේ මතය.

ඔබේ ජීවිතේ හැමදේම පුතා. ඉතින් ඔහු එක්ක දකින අනාගත බලා‍පොරොත්තුත් ගොඩක් ඇති?
මගේ කාලය ‍නෙවෙයි දැන් තියෙන්නේ. මේ පුතාගේ කාලය හැටියටයි මම දකින්නේ. මගෙන් උරුම වුණු නිවේදනය, තාත්තගෙන් උරුම වුණු ගායනය, මාමාගෙන් උරුම වුණු රංගනය එක්ක උනන්දුවෙන් සහ කැපවීමෙන් පුතා අද සෑහෙන ඉදිරි ගමනක් ඇවිත් ඉන්නවා. ඔහුගේ සාර්ථකත්වය තමයි මගේ එකම සතුට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!