Gossip

“සහරාන් මට මුණගැහෙන්නේ කුරුණෑගල නාරම්මල කැකුණගොල්ල ඉස්කෝලෙදී” – අපායේ දොර ළඟට ගොස් ආපසු පැමිණි ම්ලේච්ඡයාගේ බිරිය

පාස්කු ඉරිදා සිදු කළ නින්දිත අපරාධයේ ප්‍රධානම මිනීමරුවා ලෙස හඳුනාගෙන ඇත්තේ හෂිම් සහරාන්ය.
සහරාන් ඇතුළු බෝම්බ කරුවන් කළ ම්ලේච්ඡ ඝාතන මාලාවෙන් පසුව සැලසුම් වන දෙවන මරාගෙන මැරෙන ප්‍රහාරයක සැලසුම රාජ්‍ය බුද්ධි අංශයට සැල විය.
එහි ප්‍රතිඵලයක් ලෙස අම්පාර සයින්දමරුදු වොලිවොරියන් ප්‍රද්ශයේ නිවසක් වට කළ ආරක්ෂක අංශ එම නිවසේ සිටි ප්‍රහාර එල්ල කර ත්‍රස්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියදී පිපිරීම් තුනක් සිදු විය.
පසුගිය 26 රාත්‍රියේ 7ට පමණ පළමු පිපිරිම සිදු විය. ඉන් පැයක් ඇතුළත තවත් පිපිරීම් දෙකක් සිදු විය.
පසු දින අලුයම මේ ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන් දුටුවේ බෝම්බ පිපිරීමෙන් හා වෙඩි වැදීමෙන් මිය ගිය 17 දෙනෙකුගේ සිරුරුය.
ඒ අතර තුවාල ලැබූ කාන්තාවක් සහ කුඩා දැරියක් ජීවිතය බේරාගෙන සිටියහ. ආරක්ෂක අංශ විසින් ඔවුහු වහා රෝහල් ගත කරන ලදහ.
පසුව බුද්ධි අංශ විසින් කරන ලද පරික්ෂණවලින් හෙළි වූයේ ඒ ගැහැනිය හා දරුවා ලෝකයම මළගෙයක් කළ ම්ලේච්ඡ ප්‍රහාරය දියත් කරනු ලැබූ ප්‍රධානම පුද්ගලයා වූ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක හෂිම් සහරාන්ගේ බිරිය හා දරුවා බවය.
ඒ හෂිම් සහරාන්ගේ බිරිය වන අබ්දුල් කාදර් පාතිමා කාදියා සහ සිවු හැවිරිදි දියණිය වන මොහමඩ් රුබෙයියා ය.
ආරක්ෂක අංශවල රැකවරණය හමුවේ පාතිමා කාදියා දියණිය මේ වන විට අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පාතිමා කාදියාගේ ගම කුරුණෑගලය. මොහමඩ් හුසේන් අබ්දුල් කාදර් සහ යාසින් සිද්ධි සහිලා ඇයගේ මවුපියෝය. පාතිමාට සහෝදරියෝ දෙදෙනෙක් සහ සහෝදරයෝ සිවු දෙනෙක් සිටිති.
“මං ඉගෙන ගත්තේ 09 වන ශ්‍රේණිය දක්වා පමණයි. සහරාන් මට මුණගැහෙන්නෙ කුරුණෑගල නාරම්මල කැකුණගොල්ල ඉස්කෝලෙදී.
එයා ආවා අපට කුරානය උගන්වන්න. මුලදි තාත්තා ඔහු ගෙනාපු යෝජනාවට කැමති වුණේ නෑ.” පාතිමා එසේ කියා තිබිණි.
කුඩා කල සිටම අන්තවාදි අදහස් දැරූ සහරාන් ඔහු උපන් කාත්තන්කුඩියේ මුස්ලිම් සමාජයෙන් ප්‍රතික්ෂේප වී සිටියේය.
ඒ නිසා ඔහු ගමෙන් පිට වී සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ නුවරඑළියේය. සහරාන් කුරුණෑගල නාරම්මල කැකුණගොල්ල පාසලේ කුරානය උගන්වන්නට යන්නේ ඉන් පසු කාලයකය.
තමන්ගෙන් ඉගෙන ගන්නට පැමිණි සිසුවිය පිළිබඳ උපන් සිත් ඇති සහරාන් ඇය පිළිබඳ විවාහ යෝජනාව ඇයගේ මවුපියන්ට යොමු කරන්නේ දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන අපරාධ සහායයෙකු වන නවුෆ්ර් මව්ලවි හරහාය.
“තවම දුවට වයස මදි… වයස හරි ගියාම බලමු…” පියා යෝජනාව ප්‍රතික්ෂේප කර තිබුණේ ඒ අයුරිනි.
“වයස අවුරුදු 15ක් පිරුණාම ආයෙත් සහරාන් පාතිමා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් කළා.
ඒ වේලාවෙ අපි ඒ යෝජනාවට එකඟ වුණා. හේතුව සහරාන් දරුවා ගැන මේ තරම් උනන්දු වුණ එකයි. විවාහය සිද්ධ වුණේ 2009 වසරේදී .
විවාහයට පස්සේ ඒ අය මුලින්ම නැවතිලා හිටියෙ කුලියාපිටියේ ගෙදරක. ටික දවසක් එහෙ ඉඳලා පස්සෙ කාත්තන්කුඩියට ගියා. ගිහින් කුලී ගෙදරක පදිංචි වුණා.” පාතිමාගේ පියා කියා තිබුණේ ඒ අයුරිනි.
කල්යත්ම එම පවුලට දුවෙක් සහ පුතෙක් එකතු වූහ. එහෙත් සහරාන් මේ පවුල ඇසුරෙහි තෘප්තිමත් පියෙකු වුණේ නැත.
ඔහු පෙළමින් සිටියේ ආගම්වාදය පිළිබඳ උමතුවකිනි.
“ මම ඒ බව දැනගත්තෙ පස්සෙ. ඔහු එක්ක පාතිමාට ජීවිතය හරිම අමාරු වුණා.
ඔහු එක්ක ගමනක් යන විට ඇයට වටපිට බලන්නට තහනම් කරලා තිබුණා. බිම බලගගෙනයි යන්න කියන්නෙ.
මේ අතරෙ ඔහු අන්තවාදී ආගම් උමතුව වැඩි වෙන වග පෙනුණා. ඔහු රට පුරා ගිහින් දේශන තිබ්බා කියලා ආරංචි වුණා. අනුගාමිකයන් එකතු කළා. ඒ වැඩේට පවුල රකිනවට වඩා වෙහෙසුණා. ටික කාලෙකට කලින් ඔහු කාත්තන්කුඩි මුස්ලිම් කට්ටියත් එක්ක ගැටුමක් ඇති කරගත්තා.”
පාතිමාගේ මවුපියන් කියන මේ ගැටුම 2017 දී සහරාන් විසින් ඇති කරගන්නේ සුන්නතුල් වල් ජමාත් සංවිධානය සමඟය. ඔහු සහ ඔහුගේ සොයුරෝ එම ගැටුමේදී කීපදෙනෙකුම කපා කොටා දමති. ඒ සිද්ධියත් සමඟම පොලිසිය සහරාන් පසුපස හඹා එන්නට විය.
“මේ සිද්ධියෙන් පස්සේ ඔහු හිටියෙ පොලිසියට කට්ටි පනිමින්. ඔවුන්ට කාත්තන්කුඩියෙ ඉන්න බැරිව ගියා.
ඒ නිසා පාතිමා දරුවො දෙන්නත් එක්ක කුරුණෑගල අපි ඉන්න නිවසට ඇරලුවා. එදා ඉඳලා ඔහු පාතිමා හා දරුවන් බලන්න ආවේ මාසෙකට සැරයයි. පාතිමායි දරුවොයි මෙහෙ හිටියා. ”
“ඔවුන්ගේ වැඩිමහල් පුතා කැකුණගොල්ල ප්‍රාථමික විද්‍යාලයටම ඇතුළු කළා.
එයා ඉගෙන ගත්තෙ 03 ශ්‍රේණියේ. මේ කාලයේ පාතිමාගෙයි දරුවන්ගෙයි හැම අඩුවක්ම බැලුවේ අපි.
ඔහු දේශනා තියමින් ඇවිද්ද එකයි කළේ. මේ වැඩේට අපි මොන තරම් අකමැති වුණත් ඔහු අපව මුළුමනින්ම නොතකා හැරියා.
මාස ගණන් එළියට ගිහින් මොනවද කරන්නෙ කියලා පාතිමා විමසුවාම ඔහු කළේ බැණ වැදීමයි. ඔහු පාතිමා පාලනය කළේ ඉතාම දරදඬු විදිහට. වෙන කරන්න දෙයක් නෑ. හැමෝටම නිශ්ශබ්දව ඔහුට යටත් වෙන්න සිද්ධ වුණා.”
“එක දවසක් ඔහු ආවා කුරුණෑගලට. ඔහුට අවශ්‍ය වුණා කුරුණෑගලින් පාතිමායි දරු දෙන්නයි ගෙනියන්න.
ඔහු කිව්වෙ ඔවුන් කොළඹ ගෙනියනවා කියලා. අපි ඇහුවා ඇයි ඔවුන් කොළඹ යන්නෙ කියලා. ඔහු කිසිම උත්තරයක් දුන්නෙ නෑ.
කට්ටිය වෑන් එකක නග්ගවා ගත්තා. දරුවොත් පාතිමාත් සද්ද නැතිව වෑන් එකට නැග්ගා. ”පාතිමාගේ මවුපියන් එසේ පවසා තිබිණි.
කොළඹ පැමිණි ඔවුන් ජීවත් වෙමින් සිටියේ තැනින් තැනට මාරුවෙමිනි.
මේ වන විට සිය සැමියා කරන්නට උත්සාහ කරන අපරාධය සම්බන්ධව ඇයට ඉවවැටී තිබිණි.
පසුගිය අප්‍රේල් 19 දා සහරාන් බිරිය හා දරුවන් සමඟ එක්තරා නිවසකට ගියේය. එම නිවස පිහිටියේ පාණදුරේය.
මීගමුව කටුවපිටිය පල්ලිය පිපිරවූ බෝම්බ ප්‍රහාරකයා වන කස්තුන් සහ ඔහුගේ බිරිය වන පුලස්තිනි මහෙන්ද්‍රන් හෙවත් සාරා ද, මඩකලපුව සියොන් දෙවස්ථානයේ බෝම්බකරු වූ මොහමඩ් නසාර් සහ ඔහුගේ බිරිය වන අබ්දුල් රහිම් පිරෝසා ද එම නිවසේ සිටියහ.
පාණදුර නිවසේ සිට ඔවුහු සිය අඹු දරුවන් සමඟ අවසන් භෝජනය ගැනීමට සූදානම් වූහ.
ආහාරයෙන් පසුව ඔවුහු එකිනෙකා සමුගත්හ. 19 වන දා රාත්‍රීයේ සහරාන්ගේ සොයුරු රිල්වාන් සමඟින් සහරාන්ගේ බිරිය කාදියා, සාරා සහ පිරෝෂා අම්පාරට පැමිණීමට පිටත් වූහ.
ඒ එන අතර වාරයේ එම පිරිස ගිරිඋල්ල රෙදිපිළි අලෙවි සලකින් කාන්තා සුදු ඇඳුම් යුගල 09ක් ඇතුළු රුපියල් 29000ක පමණ වටිනා රෙදි පිළි මිලදී ගත්හ. ඔවුන් ගියේ නින්දවූර් පිහිටි කුලී නිවසකටය.
ඒ වන විට සහරාන්ගේ මව සහ පියා ඇතුළු පිරිසක් නින්දවුර් නිවෙසට පැමිණ සිටියහ.
අම්පාරේ කුලියට ගත් නිවාස අතරින් සයිනි සහ පවුලේ උදවිය අඩ්ඩාල්චේන නිවාසය තෝරාගන්නා අතර ඉතිරි අය නින්දවුර තියටර් මාවතේ නිවසක් තෝරාගෙන තිබිණි.
මිලදී ගත් සුදු ඇඳුම් එම කාන්තාවන් ඇඳ තිබිණි. පන්සල් ඉලක්ක කරගෙන එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාර සැලසුමක් ගැන කියැවේ.
සහරාන් සිය බිරිය වන අබ්දුල් කාදර් මොහමඩ් පාතිමා කාදියාද මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස යොදාගැනීමට සැලසුම් කර තිබූ අයුරු හෙළිවෙමින් ඇත. එහෙත් ඒ සැලසුම් බිඳී ගොස්ය.
අවසානයේ මේ ත්‍රස්තවාදීන් පිරිස සිය නොදරුවන්ද මරාගෙන සියදිවි හානි කරගෙනය. මැරෙන්නට පෙර අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝවේ සඳහන් වන්නේ ඒ වන විට තමන් සමඟ සිටිනා පිරිස අතර “ස්වර්ගයට ගිය තිදෙනෙකුගේ” බිරින්දෑවරුන් සිටින බවය.
එහෙත් ඉන් එක් කාන්තාවකගේ ජීවිතය බේරී ඇත. ඇය වෙඩි හුවමාරුව දෑසින් දුටුවාය. සියලු දෙනා මරණයට සූදානම් කරන අයුරු දුටුවාය. පළමු බෝම්බය පිපිරීගොස් තමන් සමඟ සිටින පිරිස කුඩු පට්ටම් වී යන අයුරු දුටුවාය. ඇය සිටියේ අනෙක් පිරිස සමග යාච්ඤා කරමිනි. මරණයේ අපේක්ෂාවෙනි. එහෙත් ඇය ජීවත් වෙමින් සිටී. ඇයගේ දියණිය ජීවත් වෙමින් සිටී.
“කෝ මගේ පුතා…” දියණිය නිරුපද්‍රිත බව දැනගත් ඇය සිය පිරිමි දරුවා ගැන විමසන්නීය. ඒ නොදරුවා කැබලි කර මරා දමා ඇති බවත් ඒ සැලසුමේ ඇයද සිටි බවත් ඇය දැන් අමතක කළ සේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!