Gossip

සමාජය ගිලගන්නා TikTok – වීඩියෝවක් නිසා ඝාතනය වූ ලතීෆ්

මානව සම්බන්ධතා වර්ධනය කිරීම හා දැනුම සොයායෑමේ මාධ්‍යක් ලෙස අප අතට පැමිණි ජංගම දුරකථනය වර්තමානය වන විට දැඩි වශයෙන් සමාජයීය ගැටලු මතුකරමින් තිබෙනවා.

එහි තවත් එක් අඳුරු පැතිකඩක් කියාපානා TIK TOK සමාජ මාධ්‍ය මෙවලමේ පළකළ පෝස්ටුවක් හේතුවෙන් තරුණ ජීවිතයක් බිළිවීමේ පුවතක් පසුගියදා (03) මාදම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ළමා හා තරුණ පරපුර මානසික වියවුල් කරා ද, එතැන් සිට මරණය දක්වා ද ගෙන යන්නා වු ප්‍රමුඛයෙකු බවට
වර්තමානයේ ටික් ටොක් පත්ව තිබෙනවා.

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් දිවි අහිමි වූයේ 17 හැවිරිදි මොහොමඩ් අබ්දුල් ලතිෆ් නම් යෞවනයෙකුටයි.

එම විඩියෝවේ හිමිකරුවා වූ ලතිෆ් තමා පදිංචි සේදවත්තේ සිට පෙරේදා දහවල් සිය සොහොයුරා සේවය කරන ස්ථානයට යන්නේ, ඔහුට දිවා ආහාරය ලබාදීම සඳහායි.

ඔහුගේ මිතුරන් කිහිපදෙනකු ද එම ගමනට එක්වනවා.

සහෝදරයාට දහවල් ආහාර දී යළි නිවසට එන අතරේදී ඔහු ටික් ටොක් වීඩියෝවක් පටිගත කර ඇති බව සඳහන්.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් හා ඇතිවූ බහින්බස් වීමකදී අබ්දූල්ට පිහි ප්‍රහාරයක් එල්ල කරනවා.

පොලිසිය පැවසුවේ එම පිහි ඇනුමටද හේතුවී ඇත්තේ TIK TOK වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකර ගත් ආරවුලක් බවයි.

මියගිය අබ්දුල් ලතීෆ්ගේ මව පවසන්නේ,
“මට කිව්වා මෙහෙම ලව් එකක් අම්මෙ මට තියෙනවා කියලා. මම ඒත් බැන්නා. මට එයා විහිලු කෙරුවා. එක පාරට ඔළුවට ගහලා ළමයා වැටුනලු, ත්‍රිවීල් එකකින් ඇවිත් ඇන්නා කියලා තමයි කින්නේ. එතකොට යාලුවෝ ඔක්කෝම දුවලා,” යනුවෙන්.

පොලිසිය පවසන්නේ, සැකකරු මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

එහෙත් පාසල් ළමුන් කිහිපදෙනෙක් ඇතුළු 6 දෙනෙක් ව පොලීසිය විසින් අත්අඩංගුවට අරන්.

දරුවන්ගේ ජංගම දුරකථන භාවිතය වැඩිවන්නේ, කොවිඩ් වසංගතයත් සමග ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමුවීම හේතුවෙන්.

ජංගම දුරකථන දරුවන් අතට පත්වීමත් සමග ඇති වූ ඇතැම් සිද්ධීන් මරණයෙන් කෙළවර වුණා.

එහි ආසන්නතම සිද්ධිය පසුගිය මස 30 වනදා කරුවලගස්වැව, සියඹලෑව ගම්මානයෙන් වාර්තා වූ අතර 15 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සිය දිවි නසාගත්තා.

ඒ, ජංගම දුරකථනය හරහා ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමින්.

එමෙන්ම පසුගිය වසරේ අගෝස්තු මස මාතර පදංචි ළමයෙකු සියදිවි හානි කරගන්නේ, ක්‍රීඩාවේ යෙදීම සඳහා මව ජංගම දුරකථනය ලබානොදීම හේතුවෙන්.

මේ අතර වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැති වූ විට විවිධ ඇප් භාවිත කරන යෞවනයන් ආවේගශීලී විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා,

“වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැතිව වුණාම නව යෞවනයන්ට මෙවැනි ආකර්ශනිය ඇප් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් නැතිවෙන්නට පුළුවන්. යහළු යෙහෙළියන් සමග තිබෙන ගැටුම් නිසා එසේ නොමැතිනම් ආදර සම්බන්ධතාවල ඇති ප්‍රශ්න නිසා, මේ අය ආවේගශීලී වෙන්නට පුළුවන්. ජීවිත නැතිකරන්න පවා, එසේත් නැතිනම් තමන්ට හිංසා කර ගැනීමට පවා උත්සහකරන අවස්ථා ඇති වෙන එක ස්වාභාවික දෙයක්.”

අමෙරිකාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් දැනටමත් ඇතැම් ජංගම දුරකතන ක්‍රීඩා මෙන්ම TIK TOK වැනි මෙවලම් භාවිතය තහනම් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!