Gossip

“සමහර සිරුරු මුළුමනින් ම පිච්චිලා – ඥාතීන් ඇවිත් වයස හැඩ හුරුකම කීවාම පරිගණකයේ ඡායාරූප පෙන්වනවා” – පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මියගිය අයගේ සිරුරු ගැන කියපු කතාව

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ මළ සිරුරු තැන්පත් කර ඇත්තේ කොළඹ පොලිස් මෝචරියේ ය. ඒ අතර කුඩා දරුවන්ගේ සිරුරු ද ඇත. මෙහිදී මෝචරිය ඇතුළත විදේශිකයන්ගේ සිරුරු තැන්පත් කළ අතර ඉඩ පහසුකම් මදි නිසා මෘත ශරීර රැසක් එළියේ කන්ටේනරයක ශීතාගාරයක තට්ටු ක්‍රමයට තැන්පත් කර තිබේ.

මහ රෝහලේ වෛද්‍ය පීඨයට පිටුපසින් ඇති පොලිස් මෝචරියේ මේ දිනවල එකම කලබලයකි. මෝචරියට ඇතුළුවන පාරේ පොලිස් කුටි 2 ක් ඉදි කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ පිපිරීම්වලින් මිය ගොස් ඇති අයගේ තොරතුරු ඥාතීන්ට ලබාදේ. එම තොරතුරුවලට අනුව මිය ගිය සිරුර හඳුනා ගැනීමට පහසු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මිය ගිය සියලුම අයගේ සිරුරු ඡායාරූපගත කර අංක යොදා එම ඡායාරූප පරිගණකගත කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා හමුවීමට විදේශ මාධ්‍යවේදීන් පවා පැමිණ සිටියත් තමන් ඉතා කාර්යබහුල බැවින් ‍මාධ්‍ය ඇමතීමට වෙලාවක් නැතැයි පැවසීය. වෛද්‍ය කාමරයෙන් මෝචරියට යන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් මිය ගිය අයගේ නම් හා රටවල් ගැන විදේශ මාධ්‍යවේදියා විමසුවේ ය. “අපට එව්වෙ මිනී මිසක් නම් ලැයිස්තුවක් නෙමෙයි. තේරුම්ගන්නකෝ මට කථා කරන්න වෙලාවක් නෑ. තව මිනී 30 ක් විතර තියනවා. හඳුනාගෙන නැති. ඒ අතර විදේශිකයිනුත් ඉන්නවා‍. දරුවොත් ඉන්නවා”

“මිය ගි‍හින් පොලිස් මෝචරියට ගෙනාව සියලුම මළ සිරුරුවල ඡායාරූප අපි අරගෙන තියෙන්නේ. ඥාතීන් ඇවිත් වයස හැඩ හුරුකම කීවාම පරිගණකයේ ඡායාරූප පෙන්වනවා. මුහුණ නැති මළ සිරුරුවල ඇඳුම්වලින්, අත්පාවල පාටින් වෙනත් විශේෂ සලකුණුවලින් මළ සිරුරු හඳුනාගන්නවා. සමහර සිරුරු මුළුමනින් ම පිච්චිලා. අපි පළවැනි දවසෙ රෑ එළිවෙනකම්ම වැඩ කළා. දෙවැනි දවසෙත් වැඩි කාලයක් වැඩ කළා. මළ සිරුරු ඥාතීන්ට ඉක්මනින් දෙන්න ඕනෑ. සිරුරු පරිගණකයෙන් හඳුනාගත්තාම අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා මගින් මළසිරුරු හඳුනා ගන්නවා. මරණ පරීක්ෂණ කටයුතු කරලා මරණ ලියාපදිංචි කරලා ඥාතීන්ට භාර දෙන්නේ ඉන් පසුවයි. සියල්ලන්ගේම කටයුතු එකම තැනකින් කරන්න පහසුවෙන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්, විදේශ සේවා, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ සේවය, පොලිසි, කොළඹ කච්චේරිය ආදියේ නිලධාරීන් මෙතනට ඇවිත් ඉන්නවා. හඳුනාගත නොහැකි මිනී හඳුනාගැනීමට DNA පරීක්ෂණත් ඉක්මනින් සිදු කරනවා. ඒ විතරක් නෙමෙයි අංගොඩ මානසික රෝහලේ වෛද්‍යවරු පවා පැමිණ සිටිනවා. මියගිය ඥාතීන්ගේ සිත් හදන්නට. ඊයේ ඉන්දියානු ජාතිකයන් කීපදෙනෙකුගේ මළ සිරුරු අරන් ගියා. තවත් විදේශිකයන් කිහිප දෙනෙකුගේ මළසිරුරු තියෙනවා. ලංකාවෙ අයගේ හා දරුවන්ගේ මිනීත් තියෙනවා. විදේශීය තානාපති කාර්යාලවලින් ඇවිත් විදේශීය ජාතිකයන්ගේ සිරුරු භාරගත්තා. මිනී 10 -20 අතර ප්‍රමාණයක් හඳුනාගන්න DNA පරීක්ෂණ කරන්න සිදුවුණා.

මිනී 20 ක් පමණ තියනවා ඥාතීන් පැමිණියේ නැති ඒවා. ඩෙන්මාර්ක්, චීන, ස්විඩන්, ඇමෙරිකා, බංග්ලාදේශ්, ඉන්දියාව වගේ රටවලට අයත් විදේශිකයින්ගේ මිනී තිබුණා. සමහර අය මියගිය අයගේ ඡායාරූප ගේනවා. තවත් අය මියගිය අයගේ රෙදි හා වෙනත් දේවල් ගෙනාවා. මළ සිරුරක් හඳුනා ගැනීමෙන් පසුව පැය 3 ක් වගේ කාලයක් තුළ අනිකුත් සියලු කටයුතු කරලා මළ සිරුරු ඥාතීන්ට භාරදීමට අපි කටයුතු කරනවා.”

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!