Gossip News

සබන් කෑල්ලක් හදලා ජාත්‍යන්තර සම්මානයක් ලංකාවට ගෙනාපු 10 වසරේ පුංචි කෙල්ල ..

මොන අපසහුතා මැද්දේ උනත් ලෝකේ දිනන්න පුළුවන් කියලා අපේ පොඩ්ඩෙක් අපිට කියලා දුන්නා මේ කියන්න යන්නේ සබන් කෑල්ලක් හදලා ජාත්‍යන්තර සම්මානයක් ලංකාවට ගෙනාපු පුංචි කෙල්ලෙක් ගැන කරන්දෙණිය ගා/ මඩකුඹුර මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ටී.එච්. ශෂිකලා මධුවන්ති කුමාරසිරි සිසුවිය කුරුඳු තෙල් මුසු කොට නව ඖෂධීය සබන් වර්ගයක් නිපදවා මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති 26 වැනි අන්තර්ජාතික තරුණ විද්‍යඥයින්ගේ සමුළුව නියෝජනය කරමින් ජූරියේ විශේෂ සම්මානයක් සහිතව නව වාර්තාවක් තබා තිබෙනවා. 2018 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද පර්යේෂණ තරගාවලිය සඳහා මෙම සිසුවිය ඖෂධීය සබන් වර්ගයක් ඇය විසින් සොයාගත් විශේෂ වට්ටෝරුවක් යටතේ නිපදවා තිබෙනවා. ඒ සඳහා ඇයගේ නිවුන් සෙහොයුරියක වන ශානිකා මධුවන්ති කුමාරසිරි හා ඇයගේ පන්තියේ මිතුරියක වන එම්. ඒ. ජයනි ලක්මාලි යන සිසුවියන් දෙදෙනාද සහාය වූ බවද ඇය පවසනවා. ශෂිකලා මධුවන්ති විසින් නිෂ්පාදනය කර ඇති නව සබන් වර්ගය සමේ රෝග සඳහා, ආයුර්වේද තෙරපි සඳහා, විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනීමට සුදුසු බවත් මැස්සන් පළවාහැරීමට ද යොදා ගැනීමට සුදුසු බවත් මෙම සබන් භාවිතා කිරීමෙන් පසු ශරීරයට සිසිලසක් දැනෙන බවත් පරික්ෂණ මඟින් තහවුරුකර ඇතැයිද විද්‍යාව ගුරු උපදේශක සිසිර ගොඩකන්ද මහතා පැවසනවා.

ශෂිකලා මධුවන්ති නිපදවූ ඖෂධීය සබන් වර්ගය කිසිවෙකු හෝ විසින් මින් පෙර නිපදවා නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුව මඩකුඹුර මහ විදුහලේ සහකාර විදුහල්පති හා විද්‍යාව විෂය බාර ගුරුතුමිය වන රමණි ප‍්‍රියංකා සිරිවර්ධන මෙනෙවිය විදුහල්පති ධර්මදාස රාජපක්ෂ මහතා දැනුම්වත් කර ඇල්පිටිය කලාප තරගය සඳහා ඇය ඉදරිපත් කර තිබෙනවා. ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අසේනි ඞී. පරණවිතාන මහත්මියගේ හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යාව* බුද්ධිකා ගයනි ද සිල්වා මහත්මියගේ උපදෙස් පරිදි හා කරන්දෙණිය කොට්ඨාසය බාර විද්‍යා ගුරු උපදේශක සිසිර ගොඩකන්ද මහතාගේ අධීක්ෂණය යටතේ දකුණු පළාත් තරගයට ඉදිරිපත් කළ මෙම නව සබන් නිෂ්පාදයට පළාත් තරගයෙන් ප‍්‍රථම ස්ථානය හා සමස්ත ලංකා වටයෙන්ද පළමු වන ස්ථානය හිමිවි තිබෙනවා. ශෂිකලා මධුවන්තිගේ නව සබන් වර්ගයේ තත්ත්ව සහතික වාර්තාව ලබාදීම කරන්දෙණිය විදාතා මධ්‍යස්ථානය මැදිහත්වී ලබාදී තිබිණ. දේශීය වෙළෙඳ පොළේ පවතින පරිදි ඇසට ප‍්‍රියවන පරිදි විවිධ වර්ණක යොදා සබන් නිපදවීම කළද මැලේසියාවේ පැවැත්වෙන තරගයේදී ජාත්‍යන්තර මට්ටමින් එහි මෘදු බව හා වර්ණ ඉවත්කර නිපදවීමට නැනෝ තාක්ෂණ ආයතනයේ උපදෙස් ශෂිකලාට ලැබිණ. 2019 අපේ‍්‍රල් මස 19 දින සිට 25 දින දක්වා මැලේසියාවේ පැවති තරුණ විද්‍යාඥයින්ගේ සමුළුව සඳහා ශී‍්‍ර ලංකාවෙන් සිසුන් හතර දෙනෙකු තෝරාගෙන තිබූ අතර ශෂිකලා හැරුණු විට අනෙකුත් සිසුන් මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන්ගේ දරුවන් වන අතර ශෂිකලා මධුවන්ති කුරුඳු කර්මාන්තයේ නිරත කම්කරුවන් වීම විශේෂත්වයක්.

මෙම ජාත්‍යන්තර තරගය සඳහා රුසියාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දුනීසියාව, බ‍්‍රසීලය, ප‍්‍රංශය හා ඉන්දියාව ඇතුලූ රටවල් 32 ක් සහභාගි වූ අතර ලංකාව නියෝජනය කළ තරග කළ සිසුන් හතර දෙනාම එහිදී සම්මානයට පාත‍්‍ර විය. ශෂිකලා මධුවන්තිගේ නව සබන් වර්ගය ඉකුත්දා පැවති සහසක් නිපැයුම් නව නිර්මාණ තරගයට ද ඉදිරිපත් කළ අතර එහිදී ඇයට සමස්ත ලංකා රිදී පදක්කමක් හිමිව ඇත. එහි ප‍්‍රතිඵල පදනම් කරගනිමින් ශෂිකලා මධුවන්තිට නව සබන් වර්ගය සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද ඇල්පිටිය කලාප අධ්‍යපන කාර්යාලය පවසයි. ශෂිකලා මධුවන්ති මැලේසියාවේ ජාත්‍යන්තර සමුළුවේදී නිෂ්පාදන ක‍්‍රියාවලිය හදුන්වාදීමේ වැඩසටහන ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට ඇය පුහුණු කරවීම සඳහා මඩකුඹුර විද්‍යාලයේ සියලූ ගුරු මණ්ඩලය සති කිහිපයක් වෙහෙසී කටයුතු කළහ. ඇයට මැලේසියා සංචාරයේදී ශී‍්‍ර ලංකාව නියොජනය කළ සෙසු තරගකරුවන් හා කණ්ඩායම බාරව කටයුතු කළ හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ විද්‍යාව විෂය අධ්‍යක්ෂ සන්දර්ශිකා බණ්ඩාර මහත්මිය ද විශාල සහායක් ලබාදුන් බව ඇය කෘතවේදීව සිහිපත් කළාය. ශෂිකලා මධුවන්තිට මෙම නව නිපැයුම සාර්ථක කර ගැනීම සඳහා සිය සොහොයුරිය ශානිකා මධුවන්ති හා ජයනි ලක්මාලි දෙදෙනා මෙන්ම විද්‍යාව ආචාර්ය ආර්.පී. සිරිවර්ධන මෙනෙවිය ඇතුලූ ආචාර්ය මණ්ඩලය හා විදුහල්පති ධර්මදාස රාජපක්ෂ මහතා, විද්‍යාව ගුරු උපදේශක සිසිර ගොඩකන්ද, විද්‍යාව විෂය අධයක්ෂ බුද්ධිකා ගයනි ද සිල්වා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අසේනි ඞී. පරණවිතාන යන මහත්ම මහත්මීන් මඟ පෙන්වූ බවත් ටී.එච්. නිමල් කුමාරසිරි පියා හා එච්.එච්. ධම්මිකා මවද කරන්දෙණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුලූ මණ්තී‍්‍රවරුන් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුල් බොහෝ පිරිසක් සිටින බවද ඇය සිහිපත් කර තිබෙනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!