Gossip

“වෙන කෙනෙක් ඉනන් එක ප්‍රශ්නයක් නෙවෙයි.. මම හිතන්නේ වෙනස කියන දේ සමහරුන්ට දරාගන්න අමාරුයි”

නතාෂා පෙරේරාව කාලයක් දකින්න ලැබුණේ නෑ. ඒකට හේතුව තමයි ඇය විදෙස් ගතවෙලා සිටීම.
දැන් ඇය නැවතත් ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ අලුත් වැඩ කිහිපයකට. ඒ ගැන ඇය මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

නාතාෂා කාලෙකට පස්සේ ගීතයක් කළා නේද.? කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
මම හිතන්නේ ප්‍රතිචාර ඉතාම හොඳයි. ගොඩක් කාලයකට පස්සේ තමයි මගේ තනි නිර්මාණයක් එළියට එන්නේ.
මොකද මම වෙනත් කලාකරුවන් සමග ගීත ගායනා කරලා තියෙනවා. ඉතිං මම හිතන්නේ මේ වෙනකොට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

අවුරුදු හතරකට පහකට විතර පස්සේ තමයි නේද ඔබේම නිර්මාණයක් එළියට එන්නේ..?
ඇත්තටම මට කාලයක් කියන්න බැරි මගේ කියලා නිර්මාණ නොකළත් මම වෙනත් කලාකරුවන් සමග ගීත කරලා තියෙනවා. ඉතිං ඒක හින්දා මම කාලෙන් කාලෙට ගීත ගායනා කළා. ඒ වගේම නිවේදනයෙන් පවා රසිකයන් අතරට ආවා.

ඇත්තටම පසුගිය කාලේ මොනවද කළේ..?
පසුගිය කාලේ මම ලංකාවේ හිටියේ නෑ.. මම හිටියේ ඔස්ට්‍රේලියාවේ.. ඒක හින්දා තමයි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා හිතුවේ. ඒත් ලොකු සැලසුමක් තිබුණේ නෑ. හැබැයි අන්තිමේ හැමදෙයක්ම හොද විදිහට සිද්ධ වුණා.

නතාෂා ලංකාවේ වෘත්තීය නීතීඥවරියක් විදිහට කටයුතු කරනවද..?
මගේ අධ්‍යාපන සුදුසුකම් මත මම නීතිඥවරියක් තමයි. හැබැයි ලංකාවේ සේවය කරන්නේ නැහැ. මගේ සුදුසුකම් අනුව ඔස්ට්‍රේලියාවේ තමයි සේවය කරන්නේ.

ලංකාවට ඇවිත් කාලෙකට පස්සේ කරපු ආරාධනාව කාගේ අදහසක්ද?
අවුරුදු දෙකකට කලින් තමයි ගීතය කළෙ. මේ ගීතයේ සංගීත අධ්‍යක්‍ෂවරයාගෙන් ලැබුණ ආරාධනාවකට තමයි ගීතය ගායනා කළේ. අචල සොලමන්ස් තමයි මේ ගීතයේ පද රචකයා. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණා මගේම කියලා නිර්මාණයක් කරන්න ඕනෑ කියලා.
ඒ අදහසත් එක්ක තමයි මේ ගීතය මගේම කරගත්තොත් හොදයි කියලා හිතුවේ. එහෙම තමයි ගීතය නිර්මාණය වුණේ..

ආරාධනා ගීතයේ මියුසික් වීඩියෝවත් ටිකක් වෙනස් විදිහට තමයි සිදුකරලා තියෙන්නේ ?
මේ වීඩියෝ එක කළේ කලින් වතාවේ ඔස්ට්‍රේලියාවේ ඉදන් ලංකාවට ආපු වෙලාවේ.
මේකේ වීඩියෝ ඩිරෙක්ටර් වාසල. සංකල්පය අපි කිව්වාට පසුව තමයි ඔහු රූප මාධ්‍යයට අරගෙන තියෙන්නේ.

ප්‍රිහාන්ගෙන් මේ ගීතයට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ප්‍රිහාන්ගෙන් මේ ගීතයට ලොකු සහයෝගයක් ලැබුණා. වීඩියෝ එකට විතරක් නෙමෙයි ගීතය නිර්මාණය කිරීමේ සිට මේ දක්වා ඔ හුගෙන් තමයි මට සහයෝගය ලැබුණේ.
මේ නිර්මාණය කළාට පස්සේ තව සති කිහිපයකින් ප්‍රිහාන්ගේ අලූත්ම ගීතයත් එළිදැක්වෙනවා.

ඇයි මේ ගීතයට ප්‍රිහාන්ව සම්බන්ධ කරගත්තේ නැත්තේ ?
ඇත්තටම ප්‍රිහාන් හැමදාමත් කිව්වෙත් නිර්මාණ කටයුතු වෙන් වෙන් වශයෙන් කරන්න ඕනෑ කියලා.
ඉතිං මම ඒකට එකගවුණා. අපි දෙන්නාම එකට කලා නිර්මාණ කරන්න ඕනෑ නැහැ කියන තැන තමයි ඉන්නේ.
ඇත්තම කිව්වොත් ප්‍රිහාන්ගේ ගීතයේ මියුසික් වීඩියෝවට ඉන්නේ වෙනත් තරුණියක්. මම ඒකේ නැහැ. ඒ වුණාට එයාගේ ගීතය එළිදක්වන්න මම උපරිම දායකත්වයක් ලබාදුන්නා. එයාගේ නිර්මාණ වෙනයි. මගේ නිර්මාණ වෙනයි.

ප්‍රිහාන් කැමැති වුණාද ඔබ වෙනත් තරුණයෙක් සමග චියුසික් වීඩියෝවේ ඉන්නවාට ?
මම ඉස්සරවෙලා කිව්වා වගේ එයා කියපු දෙයක් තියෙනවා.
අපි වෙන් වෙන් වශයෙන් නිර්මාණ කරන්න ඕනෑ කියලා. මට එයා ගේ වීඩියෝ එකේ වෙන කෙනෙක් ඉන්න එකවත් එයාගේ වීඩියෝ එකක වෙන කෙනෙක් ඉන්න එකවත් ප්‍රශ්නයක් නෙමෙයි.

මේ සැරේ ලංකාවට ආවාට පස්සේ නිවේදනයට රංගනයට ආරාධනා ලැබුණේ නැතිද?
දැනට ගොඩක් වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා විවිධ ආරාධනා ලැබුණා.
ගොඩක් දෙනෙක් මම ලංකාවට ආවා කියලා දන්නේ නැහැ. දැනගත්ත ගොඩක් දෙනෙක් මට කතා කළා.
මේ සින්දුවත් එක්කයි ගොඩක් දෙනෙක් දැනගත්තේ මම දැන් ඉන්නේ ලංකාවේ කියලා.
මට දැනටත් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත නිර්මාණ කිහිපයකට ආරාධනා කරලයි තියෙන්නේ. බලමු ඔස්ට්‍රේලියාවේ ගත කරන කාලයත් එක්ක සියල්ල වෙනස් වේවි.

නතාෂා ආපහු ලංකාවෙන් යන්න සූදානම් වෙලාද ඉන්නේ ?
තව සති කිහිපයකින් යන්න තමයි තීරණය කරලා තියෙන්නේ.
ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්.

මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ වැඩිපුර ආරාධනා ලැබුණේ ගීත ගායනයටද? නැනිතම් රංගනයටද?
ඇත්තටම රගපෑමට තමයි ආරාධනා ලැබුණේ. ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණේ.
තවම ඒ ගැන මම හිතනවා. මට එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. දැනට මගේ ආරාධනා ගීතයට තමයි මූලිකත්වය ලබාදීලා තියෙන්නේ.

ආරාධනා ගීතයේ මියුසික් වීඩියෝව හරහා නතාෂා පෙනුම වෙනස් කරලා තියෙනවානේද?
මම හිතන්නේ වෙනස කියන දේ සමහරුන්ට දරාගන්න අමාරුයි. සමහරු තවමත් මම පුංචි කාලේ දැකපු විදිහ නෙමෙයි වෙනස් කියලා කියනවා.
මම හිතන්නේ ඒක හොද දෙයක්. මම අවුරුදු පහළොවකට කලින් ක්ෂේත්‍රයට එන්නේ. ඉතිං අවුරුදු පහළොවකට කලින් හිටපු කෙනා දැන් ඉන්නේ නැහැනේ. ඉතිං මට නම් දැනෙන විදිහට ඒ වෙනස ඉතාම සාර්ථකව භාරගෙන තියෙනවා.

නතාෂා ගොඩක් ලස්සන වෙලා කියලා ගොඩක් දෙනෙක් කියනවා ?
ඒක සාපේක්‍ෂක දෙයක්. ඒක කාලෙන් කාලෙට ඒ දේවල් වෙනස් වෙනවා.
මට ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් උපේක්‍ෂාවෙන් භාරගන්නවා.

නතාෂාගේ ඊළග නිර්මාණය මොන විදිහටද කරන්න හිතාගෙන ඉන්නේ ?
ඊළග නිර්මාණය කියන්නේ ප්‍රිහාන්ගේ අලූත් ගීතයත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. දැනට මගේ නිර්මාණයක් එළිදක්වන්න සූදානමක් නැහැ.
මොකද ගීතයක් ආවා විතරයිනේ.

නතාෂයි ප්‍රිහානුයි එකතුවෙලා ගීතයක් කළොත් නරකද?
බලමුනේද?. ඒකටත් දැන්ම උත්තරයක් දෙන්න අමාරුයි.
හැබැයි ගොඩක් දෙනෙක් ප්‍රිහාන්ට ඒ ආරාධනාව කරලා තියෙනවා. අදහසක් අවොත් සලකා බලනවා.

නතාෂා එක්ක ප්‍රිහානුත් ඔස්ට්‍රේලියාවට යනවාද?
ඔව්. මාත් එක්කම ඔස්ට්‍රේලියාවට යනවා. නමුත් ප්‍රිහාන්ගේ ව්‍යාපාර කටයුතු සියල්ල සිද්ධවෙන්නේ ලංකාවේ.
ඒක හින්දා ඔහුට මෙහේ යන්න එන්න සිද්ධවෙනවා.

දිගටම ලංකාවේ හිටියොත් මීට වඩා ජනප්‍රිය වෙයි කියලා හිතෙන්නේ නැතිද?
මම මේක විශේෂයෙන්ම කියන්න ඕනෑ. මට ජනප්‍රියත්වය ලැබුණේ අද ඊයේ නෙමෙයි. මට ජනප්‍රියත්වය ලැබුණේ මීට අවුරුදු පහළොවකට කලින් ඉතාම කුඩා අවධියේදී.
මම ජනප්‍රියත්වය මොකක්ද කියලා දන්නේවත් නැති කාලයක තමයි මිනිස්සු අතරට යන්නේ. ඉතිං මම හිතන්නේ ඒක මට දෙවියෝ දුන්න දෙයක්. මේ පාර මම මේ නිර්මාණය කළාට පස්සේ මට දැනෙනවා තවමත් මිනිස්සුන්ට මාව අමතක වෙලා නැහැ කියලා.
අනික මම දීර්ඝ කාලයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ නැහැ.

නරකද ප්‍රිහානුයි නතාෂයි එකතුවෙලා ප්‍රසංගයක් කළොත් ?
තවත් කිහිපදෙනෙක් ඔය වගේ අදහසක් ඉදිරිපත් කළා. අපි දෙන්නාගේ නිර්මාණ එකතු කරලා වැඩක් කරමු කිව්වා.
බලමු ඒකත් ඉතා හොද අදහසක්. මම හිතනවා ඉදිරියේදී ඒකත් කරන්න පුළුවන් වේවි කියලා.

ආරාධනා ගීතයට ක්‍ෂේත්‍රයේ අයගෙන් මොනවගේ ප්‍රතිචාර ද ලැබුනෙ ?
ඇත්තටම පුදුම සහගත ප්‍රතිචාර තමයි ලැබුණේ. දැන් ගොඩක් දෙනෙක් මම ලංකාවේ හිටපු නැති හින්දා ඒ ගැන දැනගෙන හිටියෙත් නැහැ. එකපාරටම මේ ගීතය එළිදැක්වුණ හින්දා මේක ඇත්තටම සර්ප්‍රයිස් එකක් වුණා. මට ගොඩක් දෙනෙක් කතා කළා.

-දිනේෂ් විතාන-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!