Gallery

“වෙඩි උණ්ඩ 08ක් තියලා.. එකක් පෙට‍්‍රල් ටැංකියට..පෙම්වතිය බේරිලා.” – එස්. එෆ්. ලොක්කා ඝාතනය කළ වෙඩික්කාර ලොක්කා කවුද?

අංගොඩ ලොක්කා නමැති පාතාල මැරයාගේ හදිසි මරණය පිළිබඳ ප‍්‍රවෘත්තිය අසා නීතිගරුක පුරවැසියන් මරණය පිළිබඳ සැනසුම් සුසුම් හෙළුහ. පාතාල ලෝකයේ මැරකම් කළ එක ලොක්කකු ගේ මරණය පිළිබඳ ප‍්‍රවෘත්තියේ උණුසුම වියැකී යෑමටත් පෙර පාතාලයේ තවත් ලොක්කකු වූ එස් එෆ් ලොක්කාගේ මරණය පිළිබඳ සැනසිලිදායක ප‍්‍රවෘත්තියක් මෙරට නීතිගරුක පුරවැසියන්ට අසන්නට ලැබුණේය.
මිනිසකු තබා තිරිසනකුගේ හෝ මරණයක් ගැන අසා සතුටුවීමට තරම් පහත් මානසිකත්වයක් අපට නැත. එහෙත් රටේ අහිංසක තරුණයන්ට කුඩු පොවා උන් විනාශ කර දමන මුදල් කොන්ත‍්‍රාත් මත අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දමන සිත් පිත් නැති අපරාධ කරන තිරිසනුන්ටත් අන්ත කාලකන්නින් සමාජයෙන් තුරන් වී යෑමේ ප‍්‍රවෘත්තිය ඇසීමෙන් පෘථග්ජන මිනිසුන්ගේ සිතට සතුටක් ඇතිවීම එක් පැත්තකින් සාධාරණය. පසුගිය 05 වැනිදා අනුරාධපුර නගරය උණුසුම් වෙමින් තිබුණේය. ඒ මහ මැතිවරණයට අදාළව ඡන්දය ප‍්‍රකාශ කිරීමේ දිනය නිසාය. මැතිවරණ උණුසුම හරහා අනුරාධපුර නගරයම භීතියෙන් උණුසුම් වන්නේ දහයියාගම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමගය.
අනුරාධපුර දහයියාගම ප‍්‍රදේශයේ සිට නගරය දෙසට වේගයෙන් ධාවනය වන සුදු පැහැති හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයකි. මෝටර් රථය පදවාගෙන යන්නේ ඉරෝන් රණසිංහය. මේ පුද්ගලයාට ඉරෝන් රණසිංහ කීවාට කිසිවකු ඒ කවුදැයි හඳුනන්නේ නැත. එහෙත් එස් එෆ් ලොක්කා යැයි කිව්වාම ඒ නම මුළු රටම හඳුනන්නේය.
ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා දිනපතාම උදෑසන ශරීර අභ්‍යාස ව්‍යායාම් සඳහා දහයියාගම හන්දියේ පිහිටි ජිම් එකට යෑමට පුරුදුව සිටියේය. එදිනද උදෑසන දහයියාගම හන්දියේ පිහිටි ජිම් එකට පැමිණ ව්‍යායාම් කටයුතුවල නිරත වූ එස් එෆ් ලොක්කා සිය පෙම්වතියද සමග නිවසට යෑමට පිටත් වූයේය.
දහයියාගම හන්දියේ පිහිටි එළවළු වෙළෙඳසලෙන් එළවළු මිලදී ගත් එස් එෆ් ලොක්කා සහ ඔහුගේ පෙම්වතිය පිටත් වූවේ අනුරාධපුර කාර්මික නගරයේ පිහිටි නිවස වෙත යෑමේ බලාපොරොත්තු ඇතිවය.
මාරයා තමා ලූහුබැඳ එන බව ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කාට සිතුණේ නැත. ඒ වනවිටත් ඔත්තුකරුවන් කීප දෙනෙකු එස් එෆ් ලොක්කා පිළිබඳව ඇස ගසාගෙන සිටියහ. එළවළු වෙළෙඳසල ඉදිරිපිට මාර්ගයේ සිටි නාඳුනන පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් කිසියම් පුද්ගලයකුට ඇමතුමක් ගත්තේය. මේ කිසිවක් එස් එෆ් ලොක්කා නිරීක්‍ෂණය කළේ නැත. මෝටර් රථය ඉදිරිපස අනෙක් පැත්තේ සිටියේ ඉරෝන් රණසිංහගේ පෙම්වතිය බව කියන තරුණියකි. අනුරාධපුරයේදී තමන්ට කිසිවකුගෙන් තර්ජනයක් නොමැති බව හොඳාකාරවම දැන සිටි එස් එෆ් ලොක්කා නිදහසේ සිය රථය පදවාගෙන ආවේය.
මෙවර මහ මැතිවරණයේදී අනුරාධපුර ප‍්‍රදේශයේ එක්තරා දේශපාලනඥයකු ජයග‍්‍රහණය කරවීමේ සටනට සක‍්‍රීයව එක්න සිටි එස් එෆ් ලොක්කා ප‍්‍රදේශයේ දේශපාලන හයිය ද තමන් සතු කරගෙන සිටියේය.
දේශපාලන හයියත් චණ්ඩි බලයත් නොවඩුව තමන් සතුකරගෙන සිටි නිසා එස් එෆ් ලොක්කා කාලය ගත කළේ බොහෝ සැහැල්ලූවෙනි. ඔහු තම පෙම්වතිය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් නිදහසේ රිය පදවාගෙන ආවේය.
දයියාගම මන්සන්ධියේ ඇති දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයේ වේගය අඩාල කළ එස් එෆ් ලොක්කා දෙපස නිරීක්‍ෂණය කළේය.
එහෙත් ඔහුට කිසිවක් සිතා ගැනීමට ඉඩ ලැබුණේ නැත. මෝටර් රථය ලූහුබැඳ යතුරු පැදියක් එස්. එෆ් ලොක්කා රිය පදවමින් සිටි පැත්තට කිට්ටු කළේය.
යතුරුපැදියේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයා අත තිබූ ටී. 56 සැණෙකින් ක‍්‍රියාත්මක වුණේය. මුළු දහයියාගම හන්දිය ප‍්‍රදේශයම දෙවනත් කරමින් පිටවූ ටී. 56 ගිනි අවි උණ්ඩ එස් එෆ් ලොක්කාගේ හිස සහ ගෙල ප‍්‍රදේශය විනිවිද ගමන් කළේය.
ටී 56 උණ්ඩ එකක් දෙකක් නොව හත අටක්ම එස් එෆ් ලොක්කාගේ සිරුර පසාරු කරගෙන ගියේ ඔහු රථය තුළ අවසන් ගමන් යවමින්ය.
සිය ඉලක්කය නිවැරදිව ලබාගත් ඝාතකයන් කිසිදු කලබලයකින් තොරව අනුරාධපුර නගරය දෙසට යතුරුපැදිය ධාවනය කරගෙන නොපෙනී ගියේය.
ප‍්‍රහාරයෙන් පසු දහයියාගම හන්දියේ රැස්වී සිටි ජනතාව දැඩි ලෙස කලබලයට පත්වූහ. රථය පදවාගෙන ආවේ කවුදැයි කියා හෝ වෙඩි වැදී සිටි පුද්ගලයා කවුදැයි යන්න සොයා බැලීම පසෙක තැබූ නගරවාසීන් තුවාලකරු වහා වහා රෝහල්ගත කිරීමට කටයුතු කළහ.
එහෙත් ඒ වනවිටත් එස් එෆ් ලොක්කා අවසන් ගමන් ගොස් සිටියේ මුළු අනුරාධපුරයටම සටන් විරාමයක් ලබා දෙමින්ය.
ප‍්‍රහාර එල්ලවී නොබෝ වේලාවකින් එස් එෆ් ලොක්කා පැමිණි මෝටර් රථයද ගිනි ගෙන ඇවිලී යන්නේ ඔහු අනුරාධපුරයට ගෙනැවිත් තරුණයන් අතර බෙදා දුන් හෙරොයින් තොගය අළුවී ගිය ආකාරයටය.
ඉරෝන් රණසිංහ උපත ලැබුවේ අනුරාධපුර දහයියාගම ප‍්‍රදේශයේය. ඒ මීට වසර 32 කට උඩදීය. හරි හමන් අධ්‍යාපනයක් නොලබා දහයියාගම රස්තියාදුකාරයන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා සිටි ඉරෝන් රණසිංහ යුද හමුදාවට එක්වන්නේ රට ජාතිය ගැන ඇතිවූ කැක්කුමක් නිසා නොව රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය මතුවූ නිසාය.
යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ වසර දෙක තුනක් රාජකාරී කළ ඉරෝන් රණසිංහ හමුදාවෙන් පලා එන්නේ තවදුරටත් එය කිරීමේ අපහසුතාව නිසාය.
ෆේස් බුක්, යූ. ටියුබ් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි නිතර පරිශීලනය කිරීමට ඇබ්බැහිවී සිටි ඉරෝන් රණසිංහ ඒ හරහා කිසියම් ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගන්නට උත්සාහ කළේය.
තමන් රට, ජාතිය වෙනුවෙන් කැපවී යුද්ධ කළ රණවිරුවකු බවත් යුද හමුදා විශේෂ බළකායේ (එස් එෆ්) සේවය කළ බවත් ෆේස් බුක් හරහා ප‍්‍රචාරය කළ ඉරෝන් රණසිංහ ජනප‍්‍රිය චරිතයක් වන්නට සෑම උත්සාහයක්ම ගත්තේය. හමුදාවෙන් පලා යෑමෙන් පසු නැවතත් ඉරෝන් රණසිංහ දහයියාගම රස්තියාදුකාරයන්ගේ සංගමයට බැඳුණේය. ඒ වනවිට මේ සංගමයේ නායකත්වය ලැබී තිබුණේ ඉරෝන් රණසිංහටය.
ෆේස් බුක් හරහා ගෙන යමින් තිබූ ප‍්‍රචාරයත් ගමේ තරුණයන් අතර වීරයකු විමට කළ ක‍්‍රියාවන් නිසාත් ඉරෝන් රණසිංහට රස්තියාදුකාරයින්ගේ සංගමයේ සභාපතිකම ලැබී තිබුණේය.
ඉරෝන් රණසිංහ යුද හමුදා විශේෂ බළකායේ සේවය කළ බව දිගින් දිගටම ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට එස් එෆ් යන නම පටබැඳුණේය. ගෙදරට ‘ලොකූ’ කියා ආමන්ත‍්‍රණය කළ නිසා ඔහු එස් එෆ් ලොකූ වුණේය.
පසු කලෙක මේ චණ්ඩියා එස් එෆ් ලොක්කා ලෙස අනුරාධපුරයේ කුප‍්‍රකට චරිතයක් වන්නේය. ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා මුළු රටම දැනගත් චරිතයක් බවට පත්වන්නේ කරාතේ ශූර වසන්ත සොයිසා සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය.
ගිනස් වාර්තා දොළහකට හිමිකම් කියමින් මුළු රටේම ප‍්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටියද වසන්ත සොයිසා අනුරාධපුර නගරයේ කරගෙන ගියේ අන්ත දහදුරා වැඩය.
අනුරාධපුර පූජා භූමියේ පවත්වාගෙන ගිය ‘පැනොරාමා’ රාත‍්‍රි සමාජ ශාලාව අන්ත දූෂිත ක‍්‍රියාවන් සිදුවූ ස්ථානයකි. අනුරාධපුරයේ දුප්පත් තරුණියන් රවටාගෙන මේ සමාජ ශාලාවේ සේවය සඳහා යෙදවූ වසන්ත සොයිසා ලක්ෂ ගණනින් මුදල් ඉපැයුවේය.
පැනොරාමා සමාජ ශාලාවේ පහස විඳීමට එහි එන පුද්ගලයන්ගෙන් සිතූ සිතූ ගණනින් මුදල් අය කළේය. ඒවායේ නිවැරදිභාවය සොයා බැලීමට උත්සාහ කර ගනුදෙනුකරුවන්ට පහරදී පන්නා දැමීමට වසන්ත සොයියා කටයුතු කළේ තම චණ්ඩිකම් ප‍්‍රදර්ශනය කරමිනි.
මුළු රටේම ප‍්‍රසිද්ධ චරිතයක් වීම නිසාත් අනුරාධපුරයේ ප‍්‍රබලම දේශපාලනඥයන් කීප දෙනෙකු සමීපව ඇසුරු කළ නිසාත් වසන්ත සොයිසාගේ රාත‍්‍රී සමාජ ශාලාවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වුණේ නැත.
පැනොරාමා සමාජ ශාලාවේ සිදුවන දූෂණ අපචාර අසාධාරණ ක‍්‍රියාවන්වලට එරෙහිව අනුරාධපුර පොලිසිය වෙත පැමිණිලි පිට පැමිණිලි ලැබුණ ද පොලිසිය ඇස්කන් පියාගෙන සිටියේ වසන්ත සොයිසා තුළ පැවැති අසහාය කාය ශක්තියට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබූ දේශපාලන ශක්තිය නිසාය. එස් එෆ් ලොක්කාට සහ දහයියාගම රස්තියාදුකාරයන්ට හරි හමන් ආදායමක් තිබුණේ නැත. ඒ වන විට එස් එෆ් ලොක්කා මත්පැන් පානයට ඇබ්බැහිවී සිටියේය.
එස් එෆ් ලොක්කා ඇතුළු දහයියාගම රස්තියාදුකාරයන් වසන්ත සොයිසාගේ ‘පැනොරාමා’ රාත‍්‍රී සමාජ ශාලාවට එන්නට පුරුදුව සිටියහ. සතියකට දවස් කිහිපයක් රාත‍්‍රී කාලයේ මේ සමාජ ශාලාවට වැදී මත්පැන් පානය කරමින් විනෝද වීම එස් එෆ් ලොක්කාගේ පුරුද්දක් බවට පත්ව තිබුණේය.
හරි හමන් ආදායමක් නොතිබූ නිසා එස් එෆ් ලොක්කා ඇතුළු රස්තියාදුකාරයන් රැළ පැනොරාම සමාජ ශාලාවට නිතර පොළු තියන්න පටන් ගත්හ. ඒ මදිවාට එහි සේවකයන්ට පාර්ට් දැමීමට පටන් ගත්තේය.
පැනොරාමා සමාජ ශාලාවේ කළමනාකරුවන් එස් එෆ් ලොක්කා ගේ චණ්ඩිකම් ගැන වසන්ත සොයිසාට පැමිණිලි කළහ.දිනක් වසන්ත සොයිසා පැනොරාමා සමාජ ශාලාවෙන් මත්පැන් බී චණ්ඩිකම් දමා පලා යන්නට උත්සාහ කළ එස්එෆ් ලොක්කාට සහ උගේ සහචරයන්ට බඩ කට පුරා පහර දුන්නේ අමතක නොවන පාඩමක් උගන්වමින්.
එස් එෆ් ලොක්කා වසන්ත සොයිසා කෙරෙහි වෛරයෙන් බැඳෙන්නේ මේ සිදුවීමෙන් පසුවය.
ඊට දින කීපයකට පසුව ද එස් එෆ් ලොක්කා වසන්ත සොයිසාගේ රාති‍්‍ර සමාජ ශාලාවට ඇතුළු වන්නට උත්සාහ කළ අවස්ථාවේ ඔහු පන්නා දමා තිබිණි.
කොටින්ම අවසානයේදී එස්එෆ් ලොක්කා ඇතුළු සහචරයන්ට ‘පැනොරාමා’ රාති‍්‍ර සමාජ ශාලාව තහනම් කලාපයක් බවට පත්ව තිබුණේය.
පිනට බොන්නට නොලැබුණු වෛරය පිරිමසා ගන්නට එස් එෆ් ලොක්කා පැනොරාමා සමාජ ශාලාවටත් එහි හිමිකරු වසන්ත සොයිසාටත් එරෙහිව ෆේස්බුක් හරහා විශාල ප‍්‍රචාරයක් ගෙන ගියේය.
එස් එෆ් ලොක්කා සිය ෆේස්බුක් වෙබ් අඩවිය හරහා පැනොරාමා සමාජ ශාලාවට දිගින් දිගටම පහර දුන්නේය. අනුරාධපුර පූජා නගරයේ පිරිත් දේශනා පරයා ඞී. ජේ. සංගීතය දෝංකාර දීමට සන්ත සොයිසා කටයුතු කරන බවට එස්එෆ් ලොක්කා චෝදනා කළේය.
මේ වගේ ව්‍යාපාරිකයන් පන්නා දමා අනුරාධපුර පූජා නගරය බේරා ගැනීමේ සටනට එක්වන ලෙස එස්එෆ් ලොක්කා අනුරාධපුරයේ තරුණයන්ට ෆේස්බුක් හරහා ආරාධනා කළේය. එහෙත් එස් එෆ් ලොක්කාගේ මේ වෛරයට හේතුව පිනට බොන්නට නොදීම බව බොහෝ දෙනකු දැන සිටියේ නැත.
බොහෝ අය සිතා සිටියේ උතුවන්්කන්දේ සූර සරදියල් අනුරාධපුරයේ නැවත උත්පත්තිය ලබා ඇති බවය. සිංහල බෞද්ධ ලේබලය අලවා ගත් එස් එෆ් ලොක්කා වසන්ත සොයිසාට පාඩමක් ඉගැන්වීමට සැලසුම් කළේය.
එස් එෆ් ලොක්කා සමග ඇති කර ගත් ආරවුල තම ජීවිතයට නැවතීමේ තිත තැබීමට හේතුවනු ඇතැයි වසන්ත සොයිසා සිහිනයකින් හෝ සිතුවේ නැත. එහෙත් සිදු වූයේ ඒ නොසිතූ දෙයමය.
2015 වර්ෂයේ ඔක්තෝබර් මස 24 වැනිදා සුපුරුදු පරිදි රාති‍්‍රය උදා වුණේය. එස් එෆ් ලොක්කා දහයියාගම රස්තියාදු කාරයන්ගෙන් සැදුම්ලත් බලඇණියට නායකත්වය දුන්නේය.
කඩු පොලූ මුගුරුවලින් සන්නද්ධ වූ එස් එෆ් ලොක්කා ඇතුළු මැරයන් 28 දෙනෙක් වසන්ත සොයිසාගේ පැනොරාමා සමාජ ශාලාව වෙත කඩා වැදුණහ. ඔවුන් සිතා සිටියේ වසන්ත සොයිසා එදින සමාජ ශාලාව තුළ නොසිටින බවය.
එස් එෆ් ලොක්කාට අවශ්‍යව තිබුණේ පැනොරාමා සමාජ ශාලාවේ දේපළවලට පහරදී විනාශ කර වසන්ත සොයිසාට අමතක නොවන පාඩමක් ඉගැන්වීමටය.
එහෙත් පැනොරාමා සමාජ ශාලාවට ප‍්‍රහාර එල්ල කරමින් ඊට කඩා වදිද්දී වසන්ත සොයිසා එහි සිටියේය. පැනොරාමා සමාජ ශාලාවේ උඩුමහලේ කාමරයක සිටි වසන්ත සොයිසා එක්වරම පිටතට ආවේ තම දේපළ විනාශ කරන මැරයන් ඔසවා පොළොවේ ගැසීමට තරම් වූ කේන්තියෙන්ය.
වසන්ත සොයිසාට මුලින්ම මුහුණට මුහුණ මුණගැසුණේ මාළු චූටිය. ගිනස් වාර්තා දොළහකට හිමිකම් කියන අසීමිත කාය ශක්තියක් ඇති වසන්ත සොයිසාට හසුවුවොත් තමා පොළොවේ ගසනු ස්ථිර බව සිතූ මාළු චූටි ඉස්සර වුණේය.
වසන්ත සොයිසා පහර දීමට ප‍්‍රථම මාළු චූටි තමා අත තිබූ පොරොවෙන් වසන්ත සොයිසාගේ හිසට පහර පිට පහර දුන්නේ ඔහු ඉස්සර වුවොත් අත්විඳීමට සිදුවන ඉරණම තේරුම් ගත් නිසාය.
වසන්ත සොයිසාගේ අසහාය කාය ශක්තිය මාළු චූටියාගේ පහරදීම ඉදිරියේ කඩාවැටුණේය. හිසට එල්ල වූ පොරෝ පහරින් අඩපණ වූ වසන්ත සොයිසා කපා හෙළු කෙසෙල් කඳක් මෙන් ඇද වැටුණේය.
පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ පැනොරාමා සමාජ ශාලාවට ප‍්‍රහාර එල්ල කරමින් එය විනාශ කර දැමූ එස් එෆ් ලොක්කා ඇතුළු මැරයන් පලා ගියේ වසන්ත සොයිසාට අමතක නොවන පාඩමක් උගන්වමින්ය.
එස් එෆ් ලොක්කා ෆේස්බුක් හරහා වහසිබස්් දොඩවා තිබුණේ අනුරාධපුරය විනාශ කරන වසන්ත සොයිසා පරලොව යවා තමන් පොලිසියට භාර වෙනවා කියාය.
එහෙත් වසන්ත සොයිසා ඝාතනය කර පැනොරාමා සමාජ ශාලාව විනාශ කර දැමූ එස් එෆ් ලොක්කා අනුරාධපුර හතර මායිමේ නොසිට හලාවත ප‍්‍රදේශයට පලා ගියේය. එස් එෆ් ලොක්කා සමග මේ ප‍්‍රහාරයට පැමිණි දහයියාගම රස්තියාදුකාර චණ්ඩින් ද ආරක්ෂිත ස්ථාන කරා ගොස් පොලිසියෙන් බේරීමට උත්සාහ ගත්තාහ.
එහෙත් ප‍්‍රහාරය එල්ල වී දින හතරක් ගතවන්නට පෙර ඊට නායකත්වය දුන් එස් එෆ් ලොක්කා ඇතුළු මැරයන් 28 දෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ඒ වනවිට එස් එෆ් ලොක්කා නමැති මැරයාගේ නම මුළු රටේම ප‍්‍රචලිත වන්නට පටන් ගෙන තිබිණි. යුද හමුදා, විශේෂ බළකාය හතර මායිමට නොගිය ඉරෝන් රණසිංහ තමන් විසින්ම නිර්මාණය කර ගත් එස් එෆ් ලොක්කා යන නම ප‍්‍රසිද්ධියට පත් කර ගත්තේය.
අවසානයේදී එස් එෆ් ලොක්කා ඇතුළු මැරයන්ට අනුරාධපුර බන්ධනාගාරයේ ලගින්නට සිදු වූහ. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ අනුරාධපුර බන්ධනාගාරයේදී අපරාධ විද්‍යාව පිළිබඳව පාඨමාලාවක් හැදෑරූ එස් එෆ් ලොක්කා 2017 වර්ෂයේදී අපරාධ උපාධිය ද ලබාගෙන බන්ධනාගාරයෙන් පිට වන්නේ සුපිරි ගණයේ අපරාධකාරයකු වීමේ පෙර නිමිති පහළ කරමින්ය.
අනුරාධපුර බන්ධනාගාරයේදී මිනීමරුවන්, මංකොල්ලකාරයන්, ස්තී‍්‍ර දූෂකයන්, හෙරොයින් ජාවාරම්කාරයන්, වංචාකාරයන් ළඟින් ඇසුරු කළ එස් එෆ් ලොක්කා උන්ගේ දැනුම් සම්භාරය ලබා ගත්තේය.
බන්ධනාගාර ජීවිතයට ආයුබෝවන් කියූ එස් එෆ් ලොක්කා නැවත දහයියාගමට ආවේය. එතැන් පටන් සුපුරුදු මැර කි‍්‍රයාවන්් යළිත් ආරම්භ කළ එස් එෆ් ලොක්කා මහා පරිමාණ ජාවාරම්වලට අත ගසන්නට පටන් ගත්තේය.
අනුරාධපුර බන්ධනාගාරයේදී දැන හඳුනා ගත් රටේ නමගිය අපරාධකාරයන් කීප දෙනකු සමගම සමීප සබඳතා ගොඩනඟාගෙන සිටි එස් එෆ් ලොක්කා සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය.
වරක් ලීසිං නොගෙවූ සුඛෝපභෝගී ජීප් රථයක් අදාළ ලීසිං සමාගමේ නිලධාරීන් විසින් රැගෙන යද්දී අනුරාධපුර නගරයේදී එම නිලධාරීන්ට පහරදී එම ජීප් රථය පැහැර ගත් එස් එෆ් ලොක්කා එය රැගෙන ගියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත්වූ එස් එෆ් ලොක්කා මාස කීපයක් තිස්සේ බන්ධනාගාරයේ ලැග සිටියේය.
අනුරාධපුරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගත් එස් එෆ් ලොක්කා ඒ මුදල්වලින් ආහාර පාන මිලදී ගෙන දුප්පත් මිනිසුන්ට බෙදා දුන්නේය. එස් එෆ් ලොක්කාට කප්පම් දුන් ව්‍යාපාරිකයන් ඒ ගැන පොලිසියට පැමිණිලි කළේ නැත. ඒ ලොක්කාට ඇති බිය නිසාය.
අහිංසකයන්ට බඩු බාහිරාදිය බෙදා දෙන ඡායාරූප තොග පිටින් සිය ෆේස්බුක් ගිණුම හරහා ප‍්‍රසිද්ධ කර වීමට කටයුතු කළ එස් එෆ් ලොක්කා නූතන සරදියල් කෙනෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ ගත්තේය.
පාතාල අපරාධකාරයන්ගේ ප‍්‍රධානම ආදායම් මාර්ගය වන්නේ හෙරොයින් ජාවාරමය. ඉතා කෙටි කාලයකින් ප‍්‍රකෝටිපතියකු වීමේ වාසනාව හිමි වන්නේ හෙරොයින් ව්‍යාපාරය හරහා බව තේරුම් ගත් එස් එෆ් ලොක්කා දෙවරක් නොසිතාම එම ව්‍යාපාරයට සම්බන්ධ වුණේය.
ආරංචි මාර්ග පවසන අන්දමට එස් එෆ් ලොක්කා හෙරොයින් ගනුදෙනු කළේ ඉතාලියේ සැඟවී සිටින කොළඹ පාතාලයේ කෙරුම්කාරයකු යැයි කියා ගන්නා ගොනාකෝවිලේ අංජු සමගය.
ගොනාකෝවිලේ අංජු හරහා ලැබෙන හෙරොයින් තොග පිටින් අලෙවි කිරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගිය එස් එෆ් ලොක්කා ඉතාම කෙටි කාලයක් තුළ මහා ධනවතකු බවට පත් වුණේය. එස් එෆ් ලොක්කාගේ ගෝල බාලයන් මේ ව්‍යාපාරය ඉතාම සූක්ෂ්මව කරගෙන ගියහ. දිනකට එස් එෆ් ලොක්කා හෙරොයින් කිලෝවක් අලෙවි කළේය. හෙරොයින් අලෙවියෙන් දෛනිකව රුපියල් කෝටි දෙකක පමණ ආදායමක් ඔහුට ලැබුණේය. අනුරාධපුර පොලිසිය හෙරොයින් ජාවාරම මැඬපැවැත්වීමට දැඩි වෙහෙසක් ගත්හ.
කුරුණෑගල සිට අනුරාධපුරය, දඹුල්ල, ති‍්‍රකුණාමලය, වවුනියාව දක්වා ප‍්‍රදේශ ගණනාවක හෙරොයින් බෙදා හැරීමේ ප‍්‍රධානියා වූයේ එස් එෆ් ලොක්කාය. එහෙත් කිසිම අවස්ථාවක එස් එෆ් ලොක්කා පොලිසියට කොටු වුණේ නැත. ඔහු සිය ගෝල බාලයන් යොදවා මේ ව්‍යාපාරය ඉතාම රහසිගත ආකාරයට කරගෙන ගියේය.
මේ ප‍්‍රදේශවල කිසිවකුටත් එස් එෆ් ලොක්කාට පිටින් හෙරොයින් ජාවාරමේ යෙදෙන්නට අවස්ථාව ලැබුණේ නැත. කිසියම් ජාවාරම්කරුවකු හෙරොයින් ව්‍යාපාරයට අතගැසුවේ නම් ඔහුට අත්වන්නේ එස් එෆ් ලොක්කාගෙන් බඩ කටපුරා ගුටි කෑමටය. එහෙමත් නැත්තම් ජීවිතයට සමු දීමටය.
එස් එෆ් ලොක්කාගේ තරම දැන සිටි කිසිවකුත් මේ ප‍්‍රදේශවල හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ වුණේ නැත.
වෙන්නප්පුව ප‍්‍රදේශයේ අලූතින් බිහි වූ මැරයකු වූ ‘ ඕලූමරා’ එස් එෆ් ලොක්කාගේ සමීපතම මිතුරෙකි. එස් එෆ් ලොක්කා ඕලූමරා එකිනෙකා හමුවන්නේ බන්ධනාගාරයේදීය. ඒ දැන හඳුනා ගැනීම බන්ධනාගාරයෙන් පිටතත් ඒ අයුරින්ම පවත්වාගෙන ගියහ.
එස් එෆ් ලොක්කා විනෝද වීමට නිතර ඕලූමරාගේ බල ප‍්‍රදේශය වූ වෙන්නප්පුවට ආවේය. ඉඩකඩ ලැබුණු හැම විටකම ඕලූමරා ද අනුරාධපුර දහයියාගම ප‍්‍රදේශයට ගොස් තම කල්‍යාණ මිතුරා වූ එස් එෆ් ලොක්කා මුණගැසී මත්පැන් සාද පැවැත්වූවේය.
පාතාලයට අත් පොත් තබද්දී එස් එෆ් ලොක්කා කෙසඟ සිරුරක් ඇති තරුණයකු විය. බන්ධනාගාරයේදී කායවර්ධන ව්‍යායාම් කරන මැරයන් කීප දෙනකු දැන හඳුනා ගැනීමෙන් පසු එස් එෆ් ලොක්කා ද ඒ සඳහා යොමු වුණේය.
බන්ධනාගාරයෙන් පිටතට ආ දා පටන් දවසේ වැඩි කාලයක් ‘ජීම්’ එකේ ගත කිරීමට කටයුතු කළ එස් එෆ් ලොක්කා වැඩි කාලයක් යන්නට පෙර ඇඟපත හදා ගත්තේය. දකින ඕනෑම කෙනෙකුට හින්දි තිරයේ කඩවසම් නළුවකුගේ රූපකාය සිහිගන්වන තරම් ආකර්ෂණීය සිරුරක් එස් එෆ් ලොක්කා සතු විය.
වර්තමානයේ පාතාලයන් වැඩි දෙනකු දවසේ වැඩි කාලයක් කායවර්ධන ව්‍යායාම්වල නිරත වීමට පුරුදුව සිටිති. මේ කාලකණ්ණි තොග පිටින් හෙරොයින් අලෙවි කරද්දී ඔවුන්ට ඇඟ වෙහෙස කිරීමට කාර්යයක් නැත. මොවුන් කායවර්ධන ව්‍යායාම්වලට යොමු වන්නේ ඒ නිසාය. ඉතාම පහසුවෙන් ලැබෙන කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් ඔවුහු අති සුඛෝපභෝගී ජීවිත ගත කරති.
පාතාලයේ කෙරුම්කාරයන් වන දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, අංගොඩ ලොක්කා මෙන්ම තවත් අපරාධකාරයන් රැසක් තම ශරීර සෞඛ්‍යය ගැන කල්පනා කරති. එහෙත් මේ කාලකණ්ණින්ගේ ආයු කාලය එහෙත් ඉතාම කෙටි බව ඔවුන් දන්නේ නැත. සාධාරණව යහපත් රැකියාවක් කරමින් කාටත් බරක් නොවී ජීවත් වූයේ නම් එස් එෆ් ලොක්කා අද දිනයේත් ජීවතුන් අතරය.
කෙසේ වෙතත් දැන් දැන් චණ්ඩින්ට පාතාල මැරයන්ට නරක කාලයක් උදා වන්නට පටන් ගෙන ඇත්තේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලසීමාවේදී මේ රටේ පාතාල මැරයන් චණ්ඩින්, කුඩුකාරයන් සිටියේ නැත. ඇතැම් මැරයන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර දිවි ගලවා ගත් මැරයන් රට පැන ගත්හ.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමත් සමගම රටින් පලා ගිය පාතාල මැරයන් එකා දෙන්නා නැවත කරලියට ආහ. මහ දවල් මිනී මරන්නට කප්පම් ගන්නට පටන් ගත්හ.
මිනිසුන්ගේ බෙලි කපා අධිකරණය අසලට ගෙනැවිත් දමන තත්ත්වයට රට පත්ව තිබුණේය. ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ හැටනවලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මේ කාලකණ්ණි පාතාල මැරයන් මට්ටු කිරීම සඳහාය. එසේ නම් රටේ නීතිගරුක පුරවැසියන්ට නිදහසේ සාමකාමීව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් සකස් කර දීම ජනාධිපතිවරයාගේ ද වගකීම වන්නේය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!