Gossip

විවාහ වෙනකං මං කැමති වුනේ නෑ එයත් එක්ක සමාජෙට යන්න – ජලනි ප්‍රේමදාස

ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විවාහවී සිටින ජලනි ප්‍රේමදාස ගැන පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ විවිධ ආන්දෝලනාත්මක කතාබස් පළවිය. මේ ඇය ගැනයි.

ඔබේ පුද්ගලික විස්තර මොනවාද..?

මගේ අම්මා හේමාලි කෙහෙල්පන්නල ඇය මහනුවර. ඇය ඉගෙන ගත්තේ ගර්ල්ස් හයි ස්කූල් එකේ.පියා නිමල් ජයවර්ධන.මගේ අම්මයි තාත්තයි දෙන්නම ව්‍යාපාර වලට සම්බන්ධයි. අම්මට තියනවා ඉන්ටීරියර් ඩෙකොර් කම්පනි එකක්. මට වඩා අවුරුදු 6 ක් බාල නංගි කෙනෙක් මට ඉන්නාව.එයා දැන් විවාහ වෙලා. මට ප්‍රාථමික අධ්‍යාපනය ලැබුනේ එංගලන්තයේදී. විදෙස් ගතව ඉගෙන ගත්තට පස්සෙ නැවත ලංකාවට ඇවිත් ඉතිරි ටික සම්පූර්ණ කළේ කොළඹ බිෂොප් විද්‍යාලයේ. උසස් අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියා. මං ඉගෙන ගත්තෙ ගණකාධිකාරිනියක් වෙන්නයි. ඒ සියල්ල නිම කරල ඉන්න කාලෙ තමා සජිත්ව මුණ ගැසුනේ.

සජිත්වයි ඔබයි මුණ ගැහුනෙ කොහොමද..?

ඒක මෙහෙමයි වුනේ මගේ අම්මා යූඑන්පී එකට ගොඩක් වැඩ කරපු කෙනෙක්. ඇය මුල් කරගෙන තමා පක්ෂෙ ප්‍රොෆෙෂනල් ගෘප් එක නිර්මාණය වුනේ. ඒක නිසා සජිත්ගෙ මියගිය තාත්තගේ පින්කමකට මගේ මවටත් ආරාධනා කරනවා.මම එදා අහම්බෙන් ඒකට ගියා.එතනදි තමා සජිත්ව මං අදුනගත්තෙ. පහුවදාම එයා මට කෝල් කරා. එදා ඇරඹුණ කථාබහ තමා පසුව විවාහය දක්වා හේතු වුනේ.

විවාහ යෝජනාව ගෙනාවෙ එයාද ඔයාද..?

එයා ගොඩක් කැමතියි සප්‍රයිස් කරන්න. විවාහ යෝජනාව ගෙනාවෙත් ඒ වගේ සප්‍රයිස් එකකින්. විවාහ වෙනකං අපි ඇසුරු කළේ අප්‍රසිද්ධියේ. විවාහ වෙනකං මං කැමති වුනේ නෑ එයත් එක්ක සමාජෙට යන්න. මං හම්බන්තොට මිනිස්සු හමුවෙන්න සජිත් එක්ක ගියෙත් විවාහෙන් පස්සේ.

ඔබත් සජිත්ගෙ වැඩට හවුල් වුණාද..?

ඔව්. සජිත් එක්ක මුලින්ම හම්බන්තොට ගිය දවසෙ තමා මං තීරණය කළේ එයාගෙ සුබසාධක වැඩ වලට මං දිගටම උදව් කරන්න ඕන බව. ඒ වැඩ මට හරිම තෘප්තියට හේතුවක්. මිනිස්සුන්ට මොනා හරි උදව්වක් කිරීම සජිත්ගෙ සතුටයි. ඒක අපි දෙන්නාම කරන්නෙ කැමැත්තෙන්.දේශපාලනයම නෙමේ හිතේ තෘප්තිය.

නැන්දම්මා හේමා ප්‍රේමදාස එක්ක තිබුනෙ කොහොම සම්බන්ධයක්ද..?

සජිත්ගෙ අම්මා මුල සිටම මට ගොඩක් ආදරෙයි. ඇය මට හොඳින් සලකනවා. අපි අතර හොඳ සම්බන්ධයක් තියනවා.

සජිත්ගෙ රසවින්දනය විවේකය කොහොමද අහන සිංදු මොනවද..?

එයා ගොඩක්ම කැමති ක්ලැරන්ස් විජේවර්ධනගෙ සිංදු වලට.ගීත ගායනා කරන්නත් එයා දක්ෂයි.සජිත් යාල උද්‍යානයට නිතර යනවා. සතුන්ට ආදරෙයි. මාත් යාල යන්න හරි කැමතියි.

දේශපාලනය නිසා පවුලෙ වැඩ වල නෙමේ සජිත් සමාජේ මිනිසුන් එක්ක නිතර ඉන්නවා ඒකට ඔබ අකමැතිද..?

සජිත් මිනිසුන්ට සේවය කරන්නෙ හදවතින්. එක මං තේරුම් අරන් ඉන්නේ. වැඩ කරන්න රැයක් දවාලක් නෑ. ඒක එයාගෙ තාත්තගෙන් උරුම වෙච්ච ගතියක් කියලයි හිතෙන්නෙ. කිව්වොත් දෙයක් ඒක කොහොමහරි කරල ඉවර කරදෙන පුරුද්දකුත් එයාගෙ තියනවා. මං ඒ ගති ලක්ෂණ වලට කැමතියි.

ඔබ දේශපාලනයට එන්න අදහසක් තියේද..?

කිසිසේත්ම නෑ. මං දේශපාලනය කරන්න අදහසක් නෑ. ආපු සියලු බාධා අභියෝග වලදි මං සජිත්ට උදව් කරා.සජිත් කවදහරි ඉහළම පුටුවට ගෙනියන්න මං ඔහුට ධෛර්යය දෙනවා එච්චරයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!