Gossip

වසර 14,000 ක් පැරණි පාන්වල ඉතිහාස කතාව ඔබත් දන්නවද..?

පාන් යනු බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වන රසවත් ආහාරයක්.
බොහෝ රටවල ප්‍රධාන ආහාරය වන පාන් අප රටේද ප්‍රධාන ආහාරවේල් අතර එක් වන බව පැවැසීම නිවැරැදි වන්නේ අප රට තුළද පාන් පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පැවැතීමත් සමඟයි. ඔබ පාන්වලට කොතරම් ප්‍රිය වුවත් පාන්වල ඉතිහාසය පිළිබඳ තවමත් ඔබ නොදන්නවත් ඇති.
ඔබ ආසාවෙන් කන පාන්වල ඉතිහාසය සහ පාන් පිළිබඳ තොරතුරු කිහිපයක් පිළිබඳ මෙම ලිපියේ අන්තර්ගතයි.
පාන්වල ඉතිහාසය අෑත අතීතය දක්වා දිවයන්නකි.එනම් වසර 30,000කට පෙර විසූ මිනිසුන් කැලෑ තිරිඟු සහ බාර්ලි කුඩු කර ජලය සමඟ මිශ්‍ර කර පාන් සාදා ආහාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා.
එසේම අවශේෂ වූ පාන් කොටස්ද කැණීම්වලදී සොයාගෙන තිබෙනවා. පාන් සෑදීමේ කලාව ඊජිප්තු වැසියන්ගෙන් ලැබුණු බවටද සාධක පවතිනවා. ඊජිප්තුවේ සෑම ගමකම උඳුන් සහ වංශාධිපතීන්ට බේකරි හිමි වීමත් නිසා ඊජිප්තුව ලොවට පාන් හඳුන්වා දුන් බව සඳහන් වුවත් පාන් ලොවට හඳුන්වාදුන් රට ස්ථිරවම ප්‍රකාශ කිරීමට අපහසු වන්නේ රටවල් රැසකින් පාන් පිළිබඳ කරුණු අනාවරණය වීම මතයි.
19 වැනි ශතවර්ෂයේදී ලොව පුරා පාන් ව්‍යාප්ත වෙනවා. මුල් කාලයේදී පැතලි රොටී ලෙස සාදාගනු ලැබූ පාන් අද වන විට විවිධ හැඩවලින් නිර්මාණය වෙනවා.
පාන්වල ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි, ජලය, ලුණු, පිපුම්කාරක වැනි අමුද්‍රව්‍ය අන්තර්ගතයි.
එම අමුද්‍රව්‍යවලට අමතරව විවිධ වර්ණක, රසයන්, පලතුරු, ධාන්‍ය වර්ග වැනි දේ එක් කර විවිධ වර්ගවල පාන් නිෂ්පාදනය කිරීම දක්නට ලැබෙනවා.ශ්‍රී ලංකාවට පාන් හඳුන්වාදෙනු ලැබුවේ පෘතුගීසි ජාතිකයන් විසිනුයි.
වයින් පානය කරමින් පාන් ආහාරයට ගත් පෘතුගීසි ජාතියක් දුටු රජුගේ ඔත්තු සපයන්නන් ලේ බොමින් තිරුවානා ගල් ආහාරයට ගන්නා පිරිසක් ලෙස ඔවුන්ව හඳුන්වා තිබෙනවා.පෘතුගීසි ජාතිකයන් පෘතුගීසි බසින් ‘පාඕ’ යනුවෙන් හැඳින්වූ එම ආහාරය අද අප ‘පාන්’ ලෙස හඳුන්වනවා.ප්‍රෝටීන, අයන්, කාබෝහයිඩ්රේට් වැනි පෝෂණ සංඝටක රැසක් පාන්වල අන්තර්ගත වන්නේ තිරිඟු පිටි යොදා පාන් නිෂ්පාදනය කිරීම නිසයි.
නමුත් තිරිඟු ඇට පිටි බවට පරිවර්තනය කිරීමේදී මෙම පෝෂණ සංඝටක විනාශ වන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කොතරම් ප්‍රණීත ආහාරයක් වුවද පාන් වැඩිපුර ආහාරයට ගැනීම එතරම් හිතකර වන්නේ නැහැ. පාන්වල අඩංගු කාබෝහයිඩේ්‍රට් ඉක්මනින් අවශෝෂණය වීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ඉඩ තිබෙනවා. ඒ නිසාම දියවැඩියාව, ස්ථුලතාව වැනි තත්ත්වයන් මතුවීමට ඉඩ තිබෙන බවත් ඔබ මතකයේ තබාගත යුතුයි.

පාන් වලින් ලේසියෙන්ම හදාගත හැකි රසම රස කෑම වර්ග 5ක්

බ්‍රෙඩ් කීව්ස්-අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8
ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි
ලුණු
පාස්ලි කොළ
ගම්මිරිස් කුඩු
තම්බගත්ත අල ගෙඩියක්
චීස් කැමති වර්ගයකින්
බිත්තරයක්
පාන් කුඩු
පාන් පෙති වාටි ඉවත් කරල පොඩි කෑලි වලට කඩල අරගන්න. මේක රොටි පදමට අනාගන්න පුළුවන් ගාණට කිරි එකතු කරන්න. මේකටම ලුණු පෝඩ්ඩක්, හීනියට කපාගත්ත පාස්ලි කොළ (අවශ්‍යම නැහැ), ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුම් හැඩේට පැතලි කරල මැදට චීස් කෑල්ලක් තියල හොඳට ඔතල බෝලයක් හදාගන්න. මෙහෙම හදාගත්තු බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරල ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න.

බ්‍රෙඩ් කැසරෝල් අවශ්‍ය ද්‍රව්‍ය-

පාන් භාගයක්
සොසේජස් 4
ළූණු ගෙඩියක්
මාළුමිරිස් කරලක්
තක්කාලි ගෙඩියක්
ගම්මිරිස් කුඩු
ලුණු කුඩු
බිත්තර 3
භාජනයක් ලිපේ තියල එකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.ඒ ටික බැදුනම ඒකටම කපාගත්ත ළූණු, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරල කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.
කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනව. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)
අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.

ග්‍රිල්ඩ් බටර් ඇන්ඩ් බනානා ෆින්ගර්ස් අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති
බටර්
කෙසෙල්
චොකලට් සෝස්
හවසකට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ටිකක් වැඩිපුර බටර් තවරගත්ත පාන් පෙති මැදට දිග අතට පෙති කපාගත් කෙසෙල් ගෙඩි අතුර ගන්න. උඩින් සීනි ටිකක් ඉහගන්න. ඒකට උඩින් තවත් බටර් ගාගත් පාන් පෙත්තක් තියල කෙසෙල් ගෙඩියෙ මහතට දිග තීරු කපාගන්න.
දැන් මේ කපාගත්ත පාන් තීරු යන්තම් තෙල් තවර ගත්ත ග්‍රිල් පෑන් එකක තියල දෙපැත්තම ග්‍රිල් කරගන්න. උණුවෙන්ම චොකලට් සෝස් ටිකක් උඩින් දාගන්න.

බ්‍රෙඩ් සැලඩ් අවශ්‍ය ද්‍රව්‍ය-

ටෝස්ට් කර කෑලි කැපූ පාන්
තක්කලි
චීස්
කෑලි කඩාගත්තු සලාද කොළ
කොටු කපාගත්ත අලි ගැට පේර
සුදු විනාකිරි තේ හැන්දක්
ඔලිව් තෙල් මේස හැන්දක්
සීනි තේ හැඳි 1/2ක්
දෙහි යුශ තේ හැඳි 1/2ක්
රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
පාන් සැලඩ් කවදා කාපුවද නේද? හැබැයි වෙනසකට කැමති අයට කියාපු කෑමක්. පොඩි බෝල් එකකට විනාකිරි, ඔලිව් තෙල්, සීනි, දෙහි යුශ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරන් හොඳින් කලවම් කරල පැත්තකින් තියාගන්න.
කොටු කපාගත් තක්කලි, චීස්, කෑලි කඩාගත්තු සලාද කොළ, කොටු කපාගත්ත අලි ගැට පේර මේ මිශ්‍රණයට දාල මිශ්‍ර කරගන්න. කෑමට ගන්න කලින් හොඳින් ටෝස්ට් කරල කෑලි කපපු පාන් මිශ්‍ර කර ගන්න.

බ්‍රෙඩ් මීට් බෝල්ස් අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8
අඹරගත්ත කටු රහිත චිකන්
කිරි
බිත්තර
ලුණු, ගම්මිරිස්
අබ කුඩු
චොප් කරගත්තු ළූණු
කෝන් පිටි
පාන් පෙති ටිකක් කිරි වල විනාඩියක් පොඟව ගන්න. වැඩි පුර කිරි ටික පාන් වලින් මිරිකල ඉවත් කරගන්න. මේකට බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, චොප් කරගත්තු ළූණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.මෙයටම අඹරගත්තු මස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න.
සාදාගත් බෝල කෝන් පිටි දවටා බිත්තර සාරු වල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!