Gossip

“වයසට ගියාම හුඟක් ලෙඩ රෝග ඇතිවෙනවා. මනස පවා අවුල් වෙනවා.” – ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ ගැන පැතිරෙන ආරංචියේ ඇත්ත මෙන්න

අයිරාංගනී සේරසිංහ නම් වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය මේ වන විට රඟපෑමෙන් තරමක් දුරස්වෙලයි සිටින්නේ.
හැමෝම ආදරය කරන මේ රංගන ශිල්පිනිය දැන් කලා නිර්මාණවලින් නිතර දකින්නට නොලැබෙන නිසා ඇගේ සුවදුක් ගැනත් බොහෝදෙනා විමසිලිමත් වෙනවා.
මේ අතර අයිරාංගනී සේරසිංහ රෝහල්ගත කර ඇති බවට රාවයකුත් පසුගියදා පැතිර ගියා.

කොහොමද දැන් ඔබේ සැප සනීප?
පහුගිය කා‍ලේ මම ටිකක් අසනීපයෙනුයි හිටියේ. මට කොන්දේ කැක්කුමක් හැදුණා. දිගටම ප්‍රතිකාර ගත්තු නිසා දැන් නම් ටිකක් සුවයි.

එහෙනම් මේ දවස්වල ඔබ විවේක ගන්නවා ඇති නේද?
අනේ ඔව්. මම දැන් ගෙදරටම වෙලා තමයි ඉන්නේ. මීට සතියකට විතර උඩදී ජැක්සන් ඇන්තනීගේ දරුවන්ගේ මඟුල් ගෙදර ගියා.
ඒ ඇරෙන්න ළඟදී නම් විශේෂයෙන් වෙන කොහේවත් ගියේ නැහැ.

කොහොමද දැන් ඔබේ දවස ගවෛන්නේ?
ගෙදරදී ඇඳට වෙලා ‍පොතක් කියවන එක තමයි මම හුඟක් වෙලාවට කරන්නේ. හැමවෙලාවෙම ඇඳටම වෙලා ඉන්න තමයි මට දැන් හිතෙන්නේ.
මම ඉන්නේ මගේ පුතා ළඟ. පුතා මගේ හැමදෙයක් ගැනම සොයා බලනවා.
මට ආවතේව කරන්නත් දෙන්නෙක් ඉන්නවා. ඒ අයගේ උදව් උපකාර ඇතිව මම දැන් මගේ වැඩකටයුතු කරගන්නවා.

ඔබ හොඳටම රෝගාතුරවෙලා රෝහලක ප්‍රතිකාර ගන්නවා කියලා රාවයකුත් පසුගිය කාලයේ පැතිර ගියා..?
ඔව්. මටත් ඒක ආරංචි වුණා. හැබැයි ඒක නම් බොරු ආරංචියක්. පසුගිය කා‍ලේ මම ගෙදරටම වෙලා තමයි හිටියේ.
කොන්දේ කැක්කුම ඇරෙන්න කියන්න තරම් වෙන ලොකු අසනීපයක් මට පසුගිය කා‍ලේ තිබුණේ නැහැ.

ඒ විදිහේ ආරංචියක් පැතිර ගිය නිසා කලා ලෝකයේ බොහෝ අයත් ඔබේ සුවදුක් විමසන්නත් ඇති නේද?
ඇත්තටම ඔව්. පූජා උමා ශංකර් එහෙමත් මාව බලන්න ආවා. දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ග්ලෙන්ඩා පාර්තිපන් වගේ අය නිතරම ඇවිල්ලා මගේ සුවදුක් විමසලා මාත් එක්ක කතාබහ කරමින් ඉඳලා යනවා. ඒක මට ලොකු සහනයක්.

ජීවිතය ගැන ඔබට දැන් මොනවද හිතෙන්නේ?
ඒ කා‍ලේ රඟපාපු හැටි මතක් වෙද්දී නම් අදටත් මට හරිම සතුටුයි. හුඟක් අය කියනවානේ දීර්ඝායුෂ විඳින්න නම් පින්කරලා තියෙන්න ඕනෑ කියලා.
හැබැයි මට නම් දැන් හිතෙන්නේ ඒක හරිම පවක් කියලයි. වයසට ගියාම හුඟක් ලෙඩ රෝග ඇතිවෙනවා.
මනස පවා අවුල් වෙනවා. සමහරු වැටිලා හුඟක් කරදර විඳිනවා. තවම නම් මට එහෙම දෙයක් වෙලා නැති නිසා ඒ අතින් මම වාසනාවන්තයි. මේ අවුරුද්දේ ජුනි මාසෙට මටත් අවුරුදු 92ක්. ඉතින් ඒ විදිහේ කරදර නොවිඳ අනික් අයටත් කරදරයක් නොවී මේ ලෝකයෙන් ඉක්මනටම යන එක තමයි මට දැන් තියෙන ලොකුම බලා‍පොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!