Gossip

ලෝක සිනමාව එක්ක ගත්තම පුද්ගලික පලිගැනීම් ඉරිසියාව කියන එක දැඩිලෙස පවතින රටක් තමයි ලංකාව – ගයාන් වික්‍රමතිලක

පවතින රැල්ලට වෙනස් නිර්මාණයක් කරන්නද උත්සාහය?
ජනප්‍රිය රැල්ලෙ තියෙන විදිහෙ නිර්මාණ කරන්න හිතුව නම් මමත් මේ දවස්වල සාමාන්‍ය පෙළ පන්තියක ළමයි ටිකක් ගහගන්න පෙම්කරන කතාවක් හදන්න තිබුණා. මේ දවස්වල හැම අධ්‍යක්ෂවරයෙක්ම කරන්නෙ ඒක. ඒකට තමයි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන්නෙ.මම පුංචි කාලෙ ආසාවෙන් බලපු ටෙලි නාට්‍ය අතරෙ මැණික් නදිය ගලාබසී, හිරුට මුවාවෙන්, පලිඟු මැණිකෙ, දඬුබස්නාමානය, මේ වගේ ටෙලි නාට්‍ය විවිධ කතා තේමාවලින් යුතු නිර්මාණ. අද කාලෙ කව්රුහරි කරවිල ටිකක් රසකරලා කෑවොත් හැමෝම කරවිල කන්න පටන් ගන්නව.

රැල්ලෙන් පිට නිර්මාණ ජනප්‍රිය කරගැනීම අභියෝගයක් නේද?
මම කොයිම වෙලාවකවත් මගේ නිර්මාණයක් දිහාවත් පාට කණ්ණාඩි දාගෙන බලන්නෙ නැහැ. මම නිර්මාණයක් කරන්නෙ මට ඕනි විදිහට නෙවෙයි. නිර්මාණයට සාධාරණයක් කරන්නෙ කොහොමද කියලයි මම බලන්නෙ. මාර්කට් කරන්නෙ කොහොමද කියන එක මම හිතන්නෙ නැහැ. කිසිම දෙයක් මිනිස්සුන්ට බලෙන් පටවන්න මම කැමති නැහැ.

ඔබ ඔබව අධ්‍යක්ෂණය කරගැනීම තුළ චරිතයකට සාධාරණයක් ඉටුවෙයි කියල හිතනවද?
මම නළුවා කියන භූමිකාවට ගොඩක් පෙරේතයි. ඒ විෂය ඇතුලෙ හොයාගෙන යන්න තියෙන දේවල් අනන්තයි අප්‍රමාණයි. තමුන් තමුන්ව අධ්‍යක්ෂණය කරගැනීම සංකීර්ණ කාරණයක්.

නළුවෙක් අධ්‍යක්ෂණයට යොමුවූ විට ඔහුට අන් අයගේ නිර්මාණ අහිමිවීමේ තත්ත්වයක් අපේ රටේ තියෙනව නේද?
ඇත්තම කියනව නම් මේ ක්ෂේත්‍රය ගැන ලොකු කලකිරීමක් තියෙනව. ඒ තමයි යම්කිසි පුද්ගලයෙක් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළාට පස්සෙ ඇතැම් අධ්‍යක්ෂවරු හිතනව එයා එයාගෙ නිර්මාණවල රඟපානවනෙ ඒ නිසා අපි අලූත් අය වෙත යමු කියලා. ඒ නිසා මට මේකේ බලෙන් රැඳෙන්න උවමනාවක් නැහැ. මම මට රඟපාන්න නොලැබෙයි කියල මගේ දේවල්අකුලගෙන පැත්තකට වෙන්නෙ නැහැ. ලෝක සිනමාව එක්ක ගත්තම පුද්ගලික පලිගැනීම් ඉරිසියාව කියන එක දැඩිලෙස පවතින රටක් තමයි ලංකාව.

ගයාන් සිනමා අධ්‍යක්ෂණයට පෙර සූදානමක පසුවන කාලයක් නේද මේ?
ඔව්. තව මාස දෙකකින් සිනමාවට අත තියන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මිනිහෙකුට ජීවිතයේ තෘප්තිමත් වෙන්න පුළුවන් හොඳම දේ තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. ටෙලි නාට්‍ය එක්ක ගත්තම සිනමාව කියන්නෙ ඊට වඩා බොහොම ප්‍රබල මාධ්‍යයක්.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා හිමි ගයාන් චතුරිකා දෙපළට ද?
මගේ චිත්‍රපටය ඇතුළෙ මම රඟපාන්න කැමති නැහැ. හැබැයි මේ චිත්‍රපටයේ අනෙකුත්අයගෙන් ලොකු ඉල්ලීමක් තියෙනව මෙහි පුංචි චරිතයක් හරි කරන්න කියල.

පහුගිය කාලයේ රටට නව නායකත්වයක් පතා පෙරමුණ ගත් කලාකරුවන් අතර ඔබත් සිටියා?
ඔව්. අපේ රටේ ඡන්දේ ලක්ෂයක් ලක්ෂ එකහමාරක් හිමි පිරිසක් රටේ අනාගතය ගැන තීරණය කරන්න පටන් ගත්තා. අපේ රටේ පරිසරය ගැන තීන්දු තීරණ ගන්න ඔවුනට හැකිවුණා. එවකට පාලනය කළ පාලකයන්ට ඒ ගැන කිසිදු උත්තරයක් තිබුණෙ නැහැ. ඒ නිසා අපි අපේ රටට හෙට උපදින දරුවො ගැන හිතලා නව නායකත්වයක් උදෙසා කලාකරුවන් විදිහට අපි හඬක් නැගුවා. අපි පතපු දේ අද යථාර්ථයක් වෙලා තියෙනව. ඒ ගැන ලොකු සංතෝෂයකින් ජීවත් වෙනව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!