Gossip

ලොවක් එළිය කළ පුංචි තරු­ව. ඔහුගේ ජීවිත කතාව

බාහිර ස්වරූපයෙන් මනුස්සකම මනින සමාජයක…ජීවත්වීම කියන්නේම දුකක්. කෙනකුගේ බාහිර පෙනුම හාස්‍යයට ලක් කරන… තවත් කෙනකුගේ දුර්වලකම් සමච්චලයට ලක් කරන සමාජයක ඉපදීමත් ඛේදජනකයි. බලන් ගියාම කොයි රටේත් එකයි.

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් නුවර නව හැවරිදි ක්වාඩන්ගේ මිනිත්තු හයක වීඩියෝව ඊයේ පෙරේදා ලොව පුරා පැතිර යන්නට ගත වුණේ නිමේෂයක් පමණයි

පාසලේ දී හිරිහැරවලට ලක්වීම නිසා දැඩි ලෙස කම්පාවට පත්ව ‘මට තව දුරටත් ජීවත් වෙන්න ඕනෙ නෑ‘ කියලා පුංචි දරුවෙක් හඬ හඬා කියද්දී ඔබට මොනවද දැනුණේ…?

ක්වාඩන්, කුරු බවට එහෙම නැතිනම් ශාරිරික සංවර්ධනයේ පසුබෑමට ගොදුරු වුණු දරුවෙකු බව ඇත්ත.. ඒත් ඒක සිද්ධ වුණේ ඒ අසරණ දරුවාගේ වුවමනාවට නොවෙයි. ඇත්තටම ඒක රෝගී තත්ත්වයක්.

වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැරියේ ක්වාඩන්ගේ මව යාරකා විසිනුයි. ඒ ඔස්සේ ඇය අපට පණිවිඩ කිහිපයක්ම දුන්නා. එකක් තමයි පාසලේදී හෝ අවට සමාජයේදී මුහුණ පාන හිරිහැර දරුවන් සිය දිවි හානි කරගැනීමට ප්‍රබල හේතුවක් වන බව. අනික තමයි මෙවැනි සංවේදි පුවතක් ලොව පුරා ඇසිල්ලකින් පතුරුවා හැරීමට අන්තර්ජාලය කොයිතරම් ප්‍රබල මෙවලමක් ද කියන එක.

‘මේ දැන් මං මගේ පුතාව පාසලෙන් ගත්තා. ඔහුට හිරිහැර සිද්ධ වෙනවා. හැමෝම මේක දැනගන්න ඕනා. මේ වගේ දරුවෝ ඉන්න අම්මලා….තාත්තලා මේක දකින්න ඕනා. හැමදාම මේ වගේ මොනවා හරි දෙයක් මගේ පුතාට සිද්ධ වෙනවා. තවත් සිද්ධියක්….තවත් හිරිහැර කිරීමක්…
තවත් නින්දා කිරීමක්…තවත් නම් පටබැඳීමක්…. කරුණාකර ඔබේ මිතුරන් හා පවුලේ අය දැනුවත් කරන්න…‘ යාරකා එසේ කියද්දී පසුබිමෙන් පෙනෙන්නේ පුංචි ක්වාඩන් හඬා වැලපෙන අයුරුයි.

ක්වාඩන්ගේ වීඩියෝව මේ වෙද්දී මිලියන විස්සකට වඩා නරඹා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ ඔස්සේ දරුවාටයි, අම්මාටයි සුබ පැතුම් කන්දරාවක්, දිරිගැන්වීම්… ලක්ෂ ගණනින්…. ක්වාඩන්ගේ නමින් වෙනම අරමුදලක්. කුරු බවට සරදම් කිරීමට එරෙහිව වෙනම වැඩසටහනක්…තව තව දේවල්…. ක්වාඩන්ගේ පවුලටම ඩිස්නිලන්තයේ සංචාරයක නිරතවෙන්න දවසක් ඇතුළත ඩොලර් ලක්ෂයකට වඩා මුදලක් එකතු වී තිබුණා. ලොව පුරා සංවේදි හිත් ඇති ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, හොලිවුඩ් නළු නිළියන්, දේශපාලඥයන්, ව්‍යාපාරිකයන් වගේම තවත් විවිධ ක්ෂේත්‍රවල ධන කුවේරයන් ක්වාඩන් වෙනුවෙන් ඉදිරියට පැමිණියා. ඔහුට ඔස්ට්‍රේලියානු රග්බි කණ්ඩායම ක්‍රීඩා කරන තරගයකට එක්වීමේ අවස්ථාවත් උදාවුණා.

ඒත් ඒ අතරේදි සිද්ධ වුණු කතාව ඊට වඩා වෙනස්…වේදනාකාරියි. පුංචි ක්වාඩන්ගේ සිදුවීම එහෙම පිටින්ම විකෘති කරමින් තවත් පිරිසක් වෙනම ප්‍රචාරයක් ගෙන ගියා. ඒක කොයිතරම් අප්‍රසන්න සිදුවීමක් ද…?

ක්වාඩන් වැඩිහිටියෙක් බවත්, ඔහුගේ නියම වයස අවුරුදු 18ක් බවත් එහි සඳහන් වුණා. ඒ වගේම ඇය ඔහුගේ මව නොවන බවත්, මේ දෙදෙනා එක්ව මුදල් උපයාගැනීමට ජනතාව රවටා ඇති බවත් ඉන් කියැවුණා. ඉන් නොනැවතී මේ පිරිස ක්වාඩන් කරන්නේ බොරුවක් කියලා ඒත්තු ගැන්වෙන විදියේ ඡායාරූප පෙළක් එක දිගට අන්තර්ජාලයට මුදා හැරියා.

ඒක හරිම වේදනාත්මකයි. ක්වාඩන්ගේ මුල් වීඩියෝව වගේම ඔහු ගැන විවේචනය කළ වීඩියෝවත් එක රැයකින් ලොව පුරා පැතිර ගියා. ක්වාඩන් වෙනුවෙන් කඳුළු සැලූ, ඔහු වෙනුවෙන් මුදල් එකතු කළ පුද්ගලයන් දැඩි කනගාටුවට පත්වුණේ අපි රැවටුණාදෝ කියා සිතමිනුයි.

ඒත් ඇත්ත කතාව ඊට වෙනස්. ක්වාඩන් කියන්නේ ඇත්තටම අවුරුදු 9ක කුරු දරුවෙක්. ඒ දරුවා උපන්නේ 2010 දෙසැම්බරයේ 13 වැනිදා. අවුරුදු දහ අටේ කතාව හැදුණේ ක්වාඩන් උපන්දින උත්සවයකදී ගත්තු ඡායාරූපයක් නිසා. ඒක ක්වාඩන්ගේ 18 හැවිරිදි මිතුරකුගේ උපන්දින උත්සවයකදී ගත් ඡායාරූපයක්.

අනික අන්තර්ජාලයට මුදා හළා එක්තරා ඡායාරූපයක ක්වාඩන් වයින් වීදුරුවක් පානය කරන බවක් පෙන්වීමට උත්සාහ ගත්තත්, ඒ ඡායාරූපයේම පසෙක ඇපල් යුෂ බෝතලයක් තිබෙන බව කාටත් පැහැදිලි වුණා. අන්තිමේදී ක්වාඩන්ගේ සැබෑ වයස ලොවට පැහැදිලි කරන්න ඔහුගේ අම්මාට දැඩි වෙහෙසක් ගන්න සිදු වුණා. වසරින් වසර පුතාගේ උපන්දින ඡායාරූප දින වකවානු සහිතව ඇය අන්තර්ජාලයට මුදා හැරියා.

පුංචි ක්වාඩන් මේ විදියට සමාජයේ අපහසුතාවට ලක්වෙන්න බලපෑවේ ඔහුගේ කුරු බව පමණක්ම නෙවේ. ක්වාඩන් කියන්නේ ඔස්ට්‍රේලියාවට ආවේණික අබෝරිජිනල් ආදිවාසින්ගෙන් පැවැත එන දරුවෙක්. උසුළු විසුළුවලට ලක්වෙන්න ඒකත් කාරණාවක් වුණා.

කවුරු කොහොම කිව්වත් අන්තිමට ක්වාඩන් ලෝකය ජයගත්තා. එයා එයාගේ ජීවිතයට වෙනම පාටක් හොයාගත්තා. ඒක ලෝකයේ එවැනි අසාමාන්‍ය විදියට ශාරීරිකව කුරු බවට පත් වුණු කාගෙත් ජීවිතවලට ආලෝකයක් වේවි.
කවදාහරි දවසක ක්වාඩන් තර­වක් බවට පත් වේවි.

එයා අඩි හතරහමාරකට වඩා උස යන එකක් නැති වේවි. ඒත් මනුස්සකම අතින්…. මිනිසුන් අතර වෙනම පාටක් හොයා ගැනීම අතින්… ක්වාඩන් කා අතරත් උසට පෙනේවි. ඒක සහතිකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!