Gossip

“ලොකු ආදරයක් හිතට දැනුනා වගේම, මහා විශාල වගකීමකුත් හිතට දැනුනා..” – රොෂාන් රවීන්ද්‍ර – Photos

රොෂාන් රවීන්ද්‍ර කියන්නේ ජව සම්පන්න කඩවසම් රංගන ශිල්පියෙක්.
ඔහුගේ පෙනුම ඔබට මතකයේ ඇති බව සැකයක් නැත. නිතරම දකින්න නොලැබුණත් රඟ දක්වන සෑම රඟපෑමකින්ම ඔබේ හදවතෙහි වීරත්වයෙන් මතකයන් සටහන් තැබූ ඔහු ගැනයි මේ කතාබහ.

බොහොම ආදරෙන් අප කතාබහට එක්කර ගන්නවා. ඉතිං කොහොම ද ජීවිතේ?
හොඳින් ගෙවිලා යනවා. දැන් මම දරුවෝ තුන්දෙනකුගේ තාත්තා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු 13යි. දුවට අවුරුදු 12යි. බාල පුතාට මාස එකහමාරයි. දරුවෝ එක්ක ගෙවෙන ජීවිතේ හරිම සුන්දරයි.

පියෙකු ලෙසට හිස ඔටුනු පැළදා ඔබට මොකද හිතුණේ?
ලෝකයේ සෑම තාත්තා කෙනකුටම තමන්ගේ ලෙයින් දරුවෙකු ඉපදුනාම දැනෙන සතුට වචනයෙන් විස්තර කරගත නොහැකි තරම්.
දරුවා අතට ගත්තාම ලොකු ආදරයක් හිතට දැනුනා වගේම, මහා විශාල වගකීමකුත් හිතට දැනුනා. පියෙකු විදිහට ජීවිත කාලය පුරාවට දරුවෝ රැකගත යුතුයි නේද කියන දේත් හිතට නිතර හැගෙනවා.

පිය සෙනෙහස කියන දේ හිතට දැනෙන්නේ කොහොමද?
පළමු දේ දරුවන් රැකගත යුතුයි කියන හැඟීම නිරතුරුවම හදවතට දැනෙනවා. උපදින දරුවෙකු මූලික අවශ්‍යතා සපුරාලමින් සමාජයට දායාද කිරීමේ විශාල වගකීමක් පියෙකුට තියෙනවා. හදවතින්ම ආදරය, සෙනෙහස ලබාදෙන අතරේ රැකවරණය, ආරක්‍ෂාව ඔවුන්ට නොඅඩුව ලබා දිය යුතුයි කියන තැන ඉන්නවා.
අනිත් දේ තමයි මට හිතෙන විදිහට මේ ලෝකයට දරුවෙක් බිහි වෙනවා නම් ඔවුන් අනිවාර්යෙන්ම අම්මා සහ තාත්තාගේ ආදරේ සෙනෙහස තුළ ජීවත් විය යුතුයි. මම කුඩා කාලේදී මාගේ අම්මයි, තාත්තයි දෙන්නාම වුණේ මගේ අම්මා.තාත්තා කෙනෙකුගේ රැකවරණයෙහි ලොකු අඩුවක් මට දැනුණා.
අද මම තාත්තා කෙනෙක් විදිහට දරුවන්ට නොඅඩුව ලබාදෙන ආදරේදී ඔවුන් පරිපූර්ණව, පිය සෙනෙහස ලබමින් සතුටින් ජීවත් වන හැටි දැක්කාම ඇත්තටම දරුවන්ට, දෙමාපියන්ගේ ආදරේ, සෙනෙහස කොච්චර වැදගත්ද කියලා හිතෙනවා. ගසක් ශක්තිමත්ව වැඩෙන්න පොහොර, ජලය, හිරු එළිය අවශ්‍යයි වගේම දරුවෙකු නිරෝගිව මනසින් උසස් දරුවෙක් වෙන්න දෙමාපියන්ගේ ආදරේ, සෙනෙහස රැකවරණය අත්‍යවශ්‍යයි.

දරුවන් වෙනුවෙන් සංවේදී අවස්ථාවක් තිබුණාද?
ගිය වසරේ මගේ දෙවැනි පුතා පාසලකට ඇතුළත් කර ගන්න ගියාම, මට ඒ දේ කරගන්න බැරිවුණා.
කලාකරුවෙක් විදිහට සම්මාන තිබුණත්, නිසි අධ්‍යාපනයක් දරුවෙකුට ලබා දෙන්න තරම්වත් වටිනාකමක් එක්කර ගන්න බැරිවීම ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඇතැම් වෙලාවට පුතාලා කියනවා. තාත්ති සම්මාන තිබුණාට සල්ලි නෑ නේද කියලා.

අනාගතයේදී දරුවන් කවුරුන් විය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?
කවදාවත් මම හිතලා නෑ මගේ දරුවෝ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ විය යුතුයි කියා. නමුත් මම හිතනවා ගැහැනු දරුවෙකු වුණත් පිරිමි දරුවෙක් වුණත්, හැම දරුවෙක්ම හොඳට ඉගෙනගෙන යහපත් පුරවැසියෙකු ලෙසින් සමාජයට දායාද කළ යුතුයි. ඒ හැරෙන්නනම් ලොකු බලාපොරොත්තු නැහැ.
මම දරුවන්ට නිතර කියන දෙයක් තමයි කවදාවත්, කාටවත්, අතපාන්න එපා කියන දේ. මමත් කලාකරුවෙකු විදිහට කවදාවත් කාටවත් අතපා නැහැ.

දරුවෝ කියන දේ දැනෙන්නේ කොහොමද?
දරුවෝ කියන්නේ ලෝකයේ තියෙන වටිනාම සම්පත වුණත්, අද වෙන විට එම වටිනා සම්පත ආරක්‍ෂා කරගැනීම පිළිබඳ ගැටලූවක් මතු වෙනවා.
ඇත්තටම දරුවන්ගේ අනාගතය කෙසේ විසඳෙයි ද කියා බයත් හිතෙනවා. ඒ හැරෙන්න දරුවන් නිසා ආලෝකවත් වුණු ජීවිතේ හරිම සුන්දරයි. අපේ පවුලේ සතුට පිරී ඉතිරිලා තියෙන්නේ දරුවෝ නිසා. ඇත්තටම කියනවා නම් දරුවන්ගේ ලෝකයේ වීරයා මම.

ඔබේ ජනප්‍රියත්වය ගැන දරුවන්ට අවබෝධයක් තිබෙනවාද?
නැහැ. මම හිතන්නේ ඔවුන් තාම පොඩි නිසා ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. කොහොම නමුත් රඟපෑම මගේ වෘත්තිය වුණත් එයින් අභිමානයක් ගොඩ නගා ගන්න දරුවන්ට අවශ්‍ය වන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.

අසුන්තා එදිරිසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!