Gossip

ලියුම් එන්නේ මලූ ගණන්. ඉතින් මගේ දේශකයෝ මාව දැක්කම කියනවා අන්න උඹේ ලියුම් ගෝනිය ඇවිල්ලා ගිහිල්ලා ගනින් කියලා- විජයබණ්ඩාර වැලිතුඩුව

අපේ ගම තියෙන්නේ රාවණා අඩවියෙ. අති සුන්දර අති දුෂ්කර ප්‍රදේශයක් ලග්ගල. අම්මා තමයි මා පස්සෙන් හිටියේ මේ ගමනේදී. මා ගැන වැඩියෙන්ම සතුටුවුණු ප්‍රධානම කෙනා අම්මා. අම්මා අප්පච්චි දැන් ජීවතුන් අතර නැහැ. මං උසස් පෙළ පංතිවල ඉද්දී තමයි අප්පච්චි ලෙඩ වුණේ. අප්පච්චි ලෙඩ ඇඳේ ඉඳන් මට කිව්වා, පුතේ මට උඹේ මහිමය බලන්න තමයි බැරි වෙන්නේ කියලා.හරියටම මගේ ගමන පටන් ගනිද්දී අප්පච්චි නැති වුණා. අප්පච්චි වෛද්‍යවරයෙක්. පරම්පරාවෙන් වෙද්දු වුණත් එයාලගේ වෘත්තිය හේනයි කුඹුරයි. ඒ මිනිස්සු ඍෂිවරු වගේ මිනිස්සු. දැන් අප දැනුම් තේරුම් ඇති වයසට ආවම තමයි තේරෙන්නේ ඔවුන් එදා වෛද්‍ය විද්‍යාවෙන් විෂ්ම කර්ම දේවල් නේද කළේ කියලා. කනට ඇහෙන්න කතා කරන්නේ නැති හරිම තැන්පත් පුද්ගලයෙක් අපේ අප්පච්චි.”

‘ඔබේ සුමුදු අතින්’, ‘සඳු වලාකුලින් නිති වැසෙන සඳේ’ වැනි ගීත නිසා මං ජනප්‍රියම කාලේ තලාතුඔය ඉස්කෝලේ උගන්වනකොට උසස් පෙළ ගෑනු ළමයි උඩ තට්ටුවල ඉඳන් සූ සූ ගානවා. ඒ කාලේ හරිම ලැජ්ජයි ඉතින්. ඇයි මං ගුරුවරයෙක්, අනික මගෙත් තරුණ වයස, හරි අපහසුතාවයට පත්වෙනවා ඉතින්. ඒ දවස්වල මං ඇන්දේ ඉස්කෝල ඇඳුමමයි. දවසක් කොල්ලෝ වොලිබෝල් සෙල්ලන් කරනකොට මමත් ගිහින් ඒ ගොල්ලොත් එක්ක සෙල්ලන් කළා. මොකද මගෙත් ක්‍රීඩාව වොලිබෝල්. විවේක වෙලාවත් ඉවරවෙලා කල්පනා වුණේ නෑ කට්ටිය සෙල්ලම. ප්‍රින්සිපල් ඇවිල්ලා ඔක්කොටොම දුන්නා වේවැල් පාර. තව පොඞ්ඩෙන් මටත් ගහනවා. එක පාරටම මාව දැකලා විජය යකෝ උඹත් මෙතනද කියලා ඇහුවා.අපි ඉතින් ගමේ ගොඬේ හිටපු, හේන් කුඹුරු කරපු අයනේ. මං ඉගෙනගන්න කාලේ හරියට ක්‍රීඩා කළා. කැලේ කොළේ ඇළේ දොළේ නටපු අයනේ ඉතින්. හරිම සුන්දර කාලයක්.

ගුරු විද්‍යාලයේ ගෙවුණු කාලය මතකද?
මුලින්ම ගුරු පත්වීම ලැබුණේ වස්ගමුව මායිමේ තියෙන හඳුන්ගමුව විද්‍යාලයට. අපේ ගමටත් ටිකක් විතර ළඟයි. අලියි, කැලෙයි තමා ඉතින්. 91 මුල, ගිරාගම ගුරු විද්‍යාලෙට ආවා. ඊට පස්සේ ගමට ගියේ නෑ. ගුරු විද්‍යාලෙට ඇවිත් සති දෙකකින් විතර සමුදු අතින් කැසට් එක නිකුත් වුණා. ඊට පස්සේ එක දිගටම හැමදාම ප්‍රසංග.නින්ග් කොලේජ් එකේ, ශාන්ත ජයලත් තිසේරා අපි ඔක්කොම එකට හිටියේ. ප්‍රසංග නිසා මගේ අතේ සල්ලි තිබුණා. ප්‍රසංග ඉවරවෙලා යන්නේ නේවාසිකාගාරයට. කොල්ලෝ ගොඩයි. හැමදාම පාටි තමයි. බරක් පතලක් නෑ. හම්බ කරලා ඉතුරු කරන බුද්ධියක් ඒ කාලේ නෑ. කාලා බීලා ජොලියේ ඉන්නවා මිසක් යාලූවෝ එක්ක. ඒ කාලේ මං ලිපිනය සඳහන් කළේ නින්ග් කොලේජ් එකේ ලිපිනය. ලියුම් එන්නේ මලූ ගණන්. ඉතින් මගේ දේශකයෝ මාව දැක්කම කියනවා අන්න උඹේ ලියුම් ගෝනිය ඇවිල්ලා ගිහිල්ලා ගනින් කියලා. ඒ ලියුම් එකතු කළා මං. සමහර ඒවාට උත්තර ලිව්වා. බැරිවෙන වෙලාවලූත් තිබ්බා. දෙවැනි තුන්වැනි ලියුම් එද්දී බැනලා එන්නේ ලියුමට උත්තර ලිව්වේ නෑ කියලා. ඉතින් කොහොම හරි වෙලාවක් හොයන් ලියන්න උත්සහ කළා. තවමත් පරණ ලියුම් කීපයක් අරං තියලා තියෙනවා.

සුන්දර 90 ගැන අද මොකද හිතෙන්නේ?
පැහැදිලිවම සුන්දර කාලයක්. සමහර වෙලාවට පරණ සින්දු ඇහෙනකොට මටම හිතෙන වෙලාවල් තියෙනවා මේවා කොච්චර සුන්දර ගීත ද කියලා. නිහාල් ගම්හේවා ගුරු පියාණන් තමයි මාව තරුණ සේවා සභාවට සම්බන්ධ කරගත්තේ. 90 අග භාගේදී වගේ ඔබේ සුමුදු අතින් කැසට් එකට උපාලි කන්නගර ඇරයුම් පතක් ගීතය නිර්මාණය කරනකොට මං ගිරාගම ගුරු විද්‍යාලයේ. පටිගත කිරීම් වෙලාවේ කෑම එක කාලා ප්ලේන්ටියක් බොන්න ඇති. ඒ ඇරුණම සත පහක් ගන්නේ නැතුව ඔය ලස්සන නිර්මාණ කළේ. ඒ තරම් අති සුන්දර මිනිස්සු, සුන්දර නිර්මාණ. ඒ කාලේ හරිම සුන්දරයි. ආදරය ප්‍රකාශ කරන අය හරියට ඉන්නවා. කතා කරන්න එනවා. අත්සන් ගන්නවා. සමරු පොත් ඒ කාලේ හරියට තිබුණනේ. ඉවරයක් නෑ. සින්දු කියලා වේදිකාවෙන් බැහැලා යන්න හම්බවෙන්නේ නෑ සෑහෙන වෙලාවකට. මට මතකයි ඒ කාලේ සමහර ගෑනු ළමයි නාමල් ගේ එහෙම හිසකෙස් ගලවා ගන්නවා ළඟින් යනකොට. වේදිකාවට නඟන බහින ටිකට. එයාට යන්න දෙන්නේ නෑ. එක්කෝ කෝට් එකෙන් අදිනවා. හරි ආදරෙයි අපිට ඒ කාලේ රසිකයෝ. මොකද ඒ කාලේ ඇත්තටම එතරම් දකින්න ලැබෙන්නෙත් නැහැනේ ශිල්පීන්. රූපවාහිනියේ නිතර දකින්න නෑ. ඉතින් සජීවීවනේ වේදිකාව ළඟදී දකින්නේ. ඔවුන්ට ඒ දසුන සුවිශේෂියි

ඔබේ ගීත කීයක් විතර ඇති ද දැන්?
කැසට් පට හය හතක් තියෙනවනේ.

ඔක්කොම ගීත දෙසීයක් විතර ඇති නේද?
ගණන් කරලම නෑ. ගණන් කරන්න ඕන වෙලාවක. ඔබේ සුමුදු අතින්වලින් පටන් ගත්තම රණ හංසියේ, පෙරදා දෑතේ වෙලී, සඳු වළාකුලින්, ඇරයුම් පතක්, කවියකින් ලියනු බැරි, සිනාසෙන්න මා දිහා බලා, පාරමී පුරා, මලක සුවඳ දැනෙන්නේ, හිරු සඳු ආයෙත්, දිවුරුම් දුන්නට දෑත දරා වගේ ගීත 20 ක් විතර ඇති හොඳටම රසිකයන් ගේ හදවත්වල තියෙන, කනේ තියෙන ගීත. ඒ කාලේ කැසට් එකක් නිකුත් වුණාම අපි ගීත හෝ කැසට් එක අරං නාලිකාවලට ගියේ නැහැ. ගුවන් විදුලි නාලිකා, කැසට් එක අරන් ගිහින් එයාලගේ නාලිකාවේ ප්‍රචාරය කරනවා. මට මතකයක් නැහැ කවදාවත් කැසට් ගිහින් දුන්නා කියලා මේ ගීත ප්‍රචාරය කරන්න කියලා. හැබැයි දැන් මූල්‍යමය පැත්තට හැම දේම බරවෙලා කියලයි මට හිතෙන්නේ.

අලූතෙන් ගීතයක් කළේ කවදද?
මාස කිහිපයකට ඉස්සෙල්ලා ගීත දෙක තුනක්ම කළා. ඒ අතරින් ‘සිත මගේ’ කියන අලූත් ගීතයට රූප රචනාවක් කරන්න පිටපත ලියමින් ඉන්නේ. ‘නිමා වී ගිය’ අලූත් ගීතයටත්, ‘රණ හංසියේ මගේ’ රී මේක් කළ පැරණි ගීතයටත් රූප රචනා කළා. මගේ ගම ලග්ගල පාදක කරගෙන ‘ලග්ගල කන්දේ’ කියන රාවණා පිළිබඳ ගීතය වොයිස් කරන්න සූදානමින් ඉන්නවා. දෙසැම්බර් මාසයේදී මේ වැඩ ටික ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ.

ඉස්කෝලේ නිවාඩු හම්බවෙනකන් වෙන්නැති ඉන්නේ…
ඔව්…. මට නිවාඩු තියෙන්නත් එපායැ මේ වැඩ කරන්න. 2006 දී විතර පොත් මිටිය ළැමට තුරුළු කරන් ගීතය තියෙන ‘සඳ රෑ ’ ගීත එකතුවට පස්සේ ගීතයක් කරනවා කියලා කළේ ඔය පහුගිය මාසේ කළ ගීත තමයි. එදා ඉඳන් 2019 වෙනකන්ම නිර්මාණ කටයුතු හරියකට වුණේ නැහැ ඉතිං මා අතින්. කාලයක් නිකං හිටියා තමයි. දැන් ඉතින් නිකන් හිටියා ඇති කියලා හිතෙනවා. වෘත්තීය කටයුතු එක්ක කාර්යබහුල වීමත් එක හේතුවක් ඒකට. ඒත් එහෙම වෙන්න හොඳ නෑ ඉතිං.

ඉස්සිස්සෙල්ලා සහභාගි වුණු ප්‍රසංගය මොකක්ද කියලා මතකද?
මුල් අවධියේදී මං කැසට් එක කරලා නෑ. එකම එක ගීතයයි මට තිබ්බේ. ඒ සඳු වළාකුලින් විතරයි. ඒ කාලේ රු. පන්සීයයි මට හම්බුණේ. 90 දශකයේදී. මහරගම හන්දියේ ජනවාරි 1 දා තියෙනවා සංගීත ප්‍රසංගයක්, වෙළෙඳ සංගමයෙන් කරන. බෑන්ඞ් එක ෂා. දැන් නෑ ඒ බෑන්ඞ් එක. සඳු වළාකුලින් කියලා අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ භවයෙන් භවේ ගීතයයි තව එකකුයි කිව්වා මට මතකයි. තුන් හාරසිය දාහ එහෙම තමයි ඉස්සරම හම්බවුණේ. පස්සේ තමයි ලොකු ගණන් හම්බවුණේ. මට මතකයි ඒ කාලේ ඒ බෑන්ඞ් එකේ ඔක්ටර් පෑඞ් වාදනය කළේ සමන් පනාපිටිය. දැන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය. ඒ දවස්වල වැඩිපුර සින්දු කිව්වේ සල්ලි වලට වඩා හිතවත්කමට.

ජනප්‍රිය තරුවක් වෙද්දී ආදරය කරන කෙනෙක් ජීවිතේ හිටියද ?
එතකොට මං බැඳලා නෑ. සුමුදු අතින් , රණ හංසියේ යනකොට මං බැඳලා නෑ. එවකට මට අවුරුදු 25යිනේ. බැන්දේ ප්‍රේම සම්බන්ධයකින්. මං කොළඹට ආවට පස්සේ මුණගැහුන කෙනෙක්. ඇය සයුරි. ඉස්සර ඇය රැකියාවක් කළා ඕස්ට්‍රේලියාවේ ආයතනයක. බැන්දට පස්සේ ඉතින් එයාට රැකියාවෙන් ඉවත් වෙන්න වුණා මගේ වැඩ කටයුතුත් එක්ක.දැන් අවුරුදු 19ක පුතෙක් ඉන්නවා අපට. ඩයන් වැලිතුඩුව. වේල්ස් කුමර විදුහලේ ඉගෙන ගන්නේ. ඊස්ටන් බෑන්ඞ් කෙඩෙට් සාජන්. විශාරද විභාගයට අවතීර්ණ වෙලා ඉන්නවා එයා. මගේ ගීතත් ගයාවී. නමුත් එයාට ඕන එයාගෙම දේවල් කරලා එයාගේ නමක් හදාගන්න. බලමු. කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං.

ඔබ විෂ වෙදකමට දක්ෂයි කියලා කියනවා?
මූලිකම දේවල් ටිකක් විතර දන්නවා. විෂක් ශරීරගත වුණොත් හරි සර්ප දෂ්ටනයකදී හරි කරන්න ඕන මූලිකම දේවල් ටික දන්නවා මිසක් ඒ පැත්තට ලොකු නැඹුරුවක් නෑ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හතයි ඔක්කොම. මං පවුලේ බාලයා. ලොකු අයියා විශේෂඥ වෛද්‍යවරයෙක් සර්ප විෂ පිළිබඳ. එක අයියා කෙනෙක් විෂක් ශරීර ගත වීමෙන් නැති වුණා. ඒක කෙනෙක් තරහට කළ දෙයක් කියලා දැනගන්න ලැබුණා. මොකද ඒ අයියත් වෙදකමට දක්ෂයි.අයියට එහෙම කළ කෙනත් මගේ අයියා නැතිවුණ විදිහටම නැති වුණා ටික කාලයකින්. අයියා හරිම සුන්දර චරිතයක්. ලස්සනට කවි ඉන්දු කියන්න පුළුවන් ඒ අයියටත් .

දැන් ප්‍රසංග අඩුද?
ප්‍රසංග දැන් පැවැත්වෙනවා අඩුයි. නමුත් පැවැත්වෙන ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. විදෙස් ප්‍රසංග වලට නං යන්නේ සති අන්තයේ සහ නිවාඩු මාසවල විතරයි මං මගේ ගුරු වෘත්තීය නිසා. ආයෙත් දෙසැම්බර් අග භාගයේ තමයි මට විදෙස් සංචාර තියෙන්නේ මේ අවුරුද්දේ. කොහොමත් අදටත් සංගීත ප්‍රසංගවල ගායක ගායිකාවන් ගත්තම වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ සුන්දර 90 දශකයෝ ගායක ගායිකාවන් කියලයි මට නං හිතෙන්නේ.

 

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!