Gossip

ලංකාවේ වැඩිම මුදලක් අය කරන නළුවා ආකාශ් ද?

මේ වෙද්දී අපේ රටේ සිටින දක්ෂ ජනප‍්‍රිය ළමා නළුවෙක්. වෙළෙඳ දැන්වීම් ගණනාවකට සහ චිත‍්‍රපට සඳහාත් ටෙලි නිර්මාණ ගණනාවක් සඳහාත් දායක වුනු ඔහු පිලිබඳ මේ දිනවල වැඩිපුර කතා බහ කෙරෙනවා.

ඒ පසුගිය දිනවල තිරගත වුනු සාම චිත‍්‍රපටය හේතුවෙන්.

ආකාශ් ගුණතිලක දැන් නව වන වසරේ නේද?

ඔව්. මං රාජකීය විද්‍යාලයේ නව වන වසරේ ඉගනුම ලබනවා.

කලාවට සම්බන්ධ උනේ අවුරුදු හතරහ මාරෙදී?

මගේ මාමාගේ උත්සව අවස්ථාවකදී තමයි මාව දැකලා සුරංග ගුණතිලක අංකල් තමයි ඉස්සෙල්ලම මං ගැන අහලා මාව වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරගත්තේ. ඔහු තමයි මගේ දෙවන චිත‍්‍රපටය වන ”සාම” චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ.

ආකාෂ්ගේ පවුලේ වෙන කව්ද කලාවට සම්බන්ද?

මගේ තාත්තා රනිල් ප‍්‍රියංකර. තාත්තට බෑන්ඞ් එකක් තියෙනවා ”බ්ලේඞ්” කියලා. තාත්තා තමයි බෑන්ඞ් එකේ ලීඩර් විදිහට කටයුතු කරන්නේ. ඉතිං එහෙම හිතුවොත් මගේ තාත්තා රනිල් ප‍්‍රියංකර තමයි කලාවට සම්බන්ධ. හුඟක් උදව් කරනවා මගේ වැඩ වලට. අම්මා නිලූෂා වීරසේකර. මට ලොකුම සහයෝගය ලබා දෙන්නේ අම්මා. මං හිතන්නේ මට වැඩියෙන්ම ආදරේ අම්මා. සීයයි මාමයිත් මට හුඟක් උදව් කරනවා මගේ වැඩ වලට.

වෙන කව්ද රංගනයට සම්බන්ද?

මමයි නංගියි තමයි. නංගි වෙළෙඳ දැන්වීම් දෙකකට සම්බන්ධවෙලා තියෙනවා.

දැන් නංගිට වයස කීයද?

අවුරුදු තුනයි තාම නංගිට. එයා රනුකි ආකර්ෂා. නංගි දැන් පෙර පාසැල් යනවා.

අයියයි නංගියි මේ වෙද්දී එකට රඟපාලා තියෙනවද?

තාම නෑ.

මේ වෙද්දී ආකාශ් වෙළෙද දැන්වීම් කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද?

වෙළෙඳ දැන්වීම් නං හතළිහකට වඩා කරලා තියෙනවා

එතකොට චිත‍්‍රපට?

චිත‍්‍රපට දෙකක් කරලා තියෙනවා. සුනෙත් මාලිංග අන්කල්ගේ තුන්වරක් තුන චිත‍්‍රපටය සහ නිශාන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කරපු සාම චිත‍්‍රපටය. පළමු චිත‍්‍රපටය උනත් තුන්වරක් තුන චිත‍්‍රපටය තාම තිරගත වුණේ නැහැ.

මේ චිත‍්‍රපට දෙකේම ඔබ නිරූපණය කරන්නේ ප‍්‍රධාන චරිත?

ඔව්. චිත‍්‍රපට දෙකේම මං නිරූපණය කළේ ප‍්‍රධාන චරිත.

ඔබට ලැබුන චරිත පිලිබඳ මොනව ගේ හැඟීමක්ද ඔබට තියෙන්නේ?

තුන්වරක් තුන චිත‍්‍රපටයේ චරිතය ගැන එහෙම ලොකු හැඟීමක් දැනුනේ නැහැ. මොකද ඒක ළමයි තුන් දෙනෙක් වවා ගෙතුණු කතාවක්. දැනට අවුරුදු හතරකට විතර කලින් කළේ. සාම චිත‍්‍රපටයේ චරිතය නං වෙනම අත්දැකීමක් මට. දිගන පැත්තේ කැලෑවක් ඇතුලේ එහෙමත් රූගත කිරීම් තිබුනා. ඉතිං හුඟක් අත්දැකීම් ලබා ගන්න පුළුවන් උනා. ඇත්තටම මං හුඟක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා මොකද බුද්ධ චරිතය/සාහිත්‍ය ඇසුරේ පැවති චරිතයක් මට නිරූපණය කරන්න ලැබීම.

රූගත කිරීම් නිසා පාසැල් කටයුතු අතපසු වුනේ නැද්ද?

මේ චිත‍්‍රපට දෙකම කළේ පාසැල් නිවාඩු කාලයේ. වෙළෙඳ දැන්වීම් කරද්දී සෙනසුරාදා ඉරිදා හෝ පෝය නිවාඩු දවසේදී තමයි කළේ.

ටෙලි නාට්‍ය වලට සම්බන්ධ නොවෙන්නේ ඇයි?

අම්මා කරන්න දෙන්නෙත් නෑ. මම කරන්න කැමතිත් නෑ. පාසැල් කටයුතු වලට බාධා වෙන නිසා. අනාගතේදී වෙලාව ලැබුනු කාලෙක කරන්න කැමතියි.

ආකාශ් වැඩිපුර කැමති?

හොලිවුඞ් සිනමාවට තමයි වැඩිපුර කැමති. නමුත් ලස්සන සහ හදවතට දැනෙනවා කියන දෙදි මං බොලිවුඞ් සිනමාවටත් කැමතියි.

වැඩිම මුදලක් අය කරන ළමා නළුවා ආකාශ් කියලා ක්ෂේත‍්‍රයේ සමහරු කියනවා නේද?

එහෙම කතාවක් නං සමහරු කියනවා ඉතිං.

එතකොට ඒ කියන කතාව ඇත්තද?

අනිත් අය, අය කරන මුදල ගැන අපි දන්නේ නැහැ. ඒ හින්දා ඉතිං කොහොමද කියලා දන්නේ නෑ. හැබැයි ඉතිං ප‍්‍රමිතියක්  තියාගන්නත් ඕනනේ. අනික අය කිරීම වැඩි උනාම අවශ්‍යම දේකට විතරනේ කතා කරන්නේ, හැම එකටම කතා කරන්නෙත් නෑනේ. එහෙම බැලූවම එක අතකින් හොඳ ප‍්‍රචාරයක් කියලත් හිතෙනවා.

පාසලේ ප‍්‍රතිචාර කොහොමද?

එයාල හුඟක් සතුටු වෙනවා වගේම ලොකු සහයෝගයක් ලබා දෙනවා. හිතාගන්නත් බෑ එහෙම යාලූවෝ ඉන්නවා කියලා. මගේ වාසනාවක් ඒ වගේ යාලූවෝ ඉන්න එක. චිත‍්‍රපටයක් තිරගත උනාම හුඟක් අය බලන්න යන්නේ නැතුව ඉන්නවා මගෙත් එක්කම බලන්න යන්න.

ගුරුවරු මොකද කියන්නේ?

ඔවුන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඔබ දක්ෂ පැසි පන්දු ක‍්‍රීඩකයෙක් නේද?

ඔව්. මං පාසැල් පැසි පන්දු කණ්ඩායමට ක‍්‍රීඩා කරනවා.

අනාගතේ රැකෙන්න කැමති මොන ක්ෂේත‍්‍රයේද?

මගේ සැලසුම් ඒ, බී, සී, කියලා තුනක් තියෙනවා. මං රංගනය කරන්නේ සී සැලසුම විදිහට. ප‍්‍රධානම සැලසුම බාස්කට් බෝල් හොඳටම සෙල්ලං කරලා ඇමරිකාවට ගිහිං එහෙ එන්.බි.ඒ සෙල්ලං කරන එක. බී සැලසුම් හොඳට ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන එක.

කොහොමද නංගිත් එක්ක ගෙවෙන දවස?

අම්මෝ.. නංගියි මායි ඉතිං ගොඩක් රණ්ඩු වෙනවා. මං නංගිට හුඟක් ආදරෙයි. හැමවෙලේම මං එයාව හුරතල් කරනවා. අනේ මන්දා එයාට මාව වදයක්ද කොහෙද හැම වෙලේම හුරතල් කරලා. අනික මං ඉන්න වෙළෙඳ දැන්වීමක් හරි මොකක් හරි නිරමාණයක් හුඟක් වෙලාවට නංගි අපිට කලින් දකිනවා. ඉතිං අන්න අයියා. අන්න අයියා කියලා කෑ ගහනවා එයා.
යුගන්ති යශෝදරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!