Gossip

රසික හදවත් ආදරයෙන්න වැළඳගත් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට ප්‍රහාරයක් – ලොවම කැළඹූ කතාව මෙන්න

ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙනවා..
මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට මුහුණ දීලාය.
එයට හේතු වී ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක පිළිබඳ ප්‍රශ්නයකි.
ෂාරුක්ගේ පියාගේ පාර්ශ්වයෙන් ඥාති සොහොයුරියක වන ඇයගේ නම නූර් ජෙහාන්ය.
නූර් ජෙහාන් සම්බන්ධ විශේෂත්වය වී ඇත්තේ ඇය මේ දිනවල දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් වීමයි.
ඒ මැතිවරණයකට තරග කිරීම මගිනි. නමුත් ඇය තරග කිරීමට යන්නේ ඉන්දියාවේ පැවැත්වෙන මැතිවරණයකට නොවේ. මාස කිහිපයකින් පාකිස්තානයේ පැවැත්වීමට නියමිත එරට මහා මැතිවරණයටය.
නූර් ජෙහාන් පාකිස්තානයේ ඡන්දය ඉල්ලන්නට යාම ෂාරුක්ට ප්‍රශ්නයක් ඇති කරන්නේ මන්ද යන්නකෙනෙකුට ප්‍රශ්නයක් වන්නට පිළිවන.
එයට හේතු වී ඇත්තේ පාකිස්තානය යනු ඉන්දියාවේ සම්ප්‍රදායික විරුද්ධවාදියෙකු ලෙස සැලකීම සහ ෂාරුක් ද පාකිස්තාන ජාතිකයින් මෙන් මුස්ලිම් ජාතිකයෙකු වීම බව පෙනේ. ෂාරුක්ගේ ඥාති සොහොයුරිය පාකිස්තානයේ මැතිවරණයට ඉදිරිපත් වීමත් සමග ෂාරුක් සහ පාකිස්තානය අතර ඇති සම්බන්ධය වඩාත් කරළියට පැමිණීමෙන් මෙම ආන්දෝලනය හටගෙන ඇති ආකාරය දැකිය හැකි වෙයි.
මෙම තත්ත්වයත් සමග විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ෂාරුක්ට එරෙහිව යම් ප්‍රහාරයක් දියත් වීමට පටන් ගෙන තිබේ.
ෂාරුක්ද ඉන්දියාවේ නොසිට පාකිස්තානයට යා යුතු යයි අදහස් දැක්වීමට තරම් ඇතැමුන් දුරදිග ගොස් ඇති ආකාරය ද දැකිය හැකිවිය. මේ අතර සමහර පරණ සිදුවීම් පවා ඇදගනිමින් ඇතැමුන් ඔහුට පහර දීමට පටන්ගෙන තිබේ. වරක් මුම්බායි නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් දින කිහිපයකට පසු ෂාරුක් ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමක් සම්බන්ධයෙන්ද සමහරුන් සිහිපත් කර ඇති අතර ඉන්දියානු ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට වැඩි වශයෙන් පාකිස්තාන ක්‍රීඩකයින් සහභාගි කර ගැනීමට ඔහු උනන්දු වීමක් ගැනද චෝදනා නගා ඇත. ඉන්දියාවේ සිදුවන ස්වභාවික විපත්වලදී අසරණ වන ජනතාවට ආධාර කිරීමට ෂාරුක් වැඩිපුර ඉදිරිපත් නොවන බවටත්, නමුත් යාබද පාකිස්තානයේ සිදුවන එවැනි සිදුවීම්වලදී ආධාර ලබා දීමට ඔහු විශාල උනන්දුවක් දක්වන බවටත් ඇතැමුන් අදහස් පළකර ඇත.
මේ ආකාරයෙන් ෂාරුක් ඛාන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පටන්ගෙන ඇති බහුතරය හින්දුවාදී අදහස් ඇති අය බවටද මේ අතර චෝදනා එල්ල වෙමින් තිබේ.
මේ වනවිට ඉන්දියාව තුළ මෙම හින්දුවාදී කණ්ඩායම්වල සහ එම මතවාදවල ආධිපත්‍යයද, ප්‍රචණ්ඩත්වයද වඩාත් ප්‍රබල වෙමින් ඇති බවට නිතර චෝදනා එල්ල වන බව රහසක් නොවේ. පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක් වූ සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයට එරෙහිව නැගුණු දැවැන්ත විරෝධයට බලපෑ එක් හේතුවක් වූයේ ද පද්මාවතී නැමැති හින්දු බිසවගේ ප්‍රතිරූපයට එයින් හානියක් සිදුවූවාය යන්නය.
මෙම චිත්‍රපටයට එරෙහිව මෙන්ම එහි රඟපෑ නළු නිළියන්ටද එරෙහිව විරෝධතා දැක් වූ බොහෝ කණ්ඩායම් හින්දුවාදී කණ්ඩායම් විය. සංජේ ලීලා බන්සාලි, දීපිකා පාදුකෝන් වැනි අය මරා දමන බවට පවා මෙහිදී තර්ජන එල්ල වූ සැටි රහසක් නොවේ.
මෑතක තවත් අවස්ථාවක, සිය රූපවාහිනි වැඩසටහනකින් හින්දු සංස්කෘතිය හෑල්ලුවට ලක් කළාය යන චෝදනාව මත සුප්‍රකට නළු කමල් හසන් ද දැඩි විවේචනයට ලක් වූ අයුරු දැකිය හැකිවිය. මේ වනවිට ඉන්දියාව පාලනය කරන භාරතීය ජනතා පක්ෂයද ප්‍රසිද්ධියක් උසුලන්නේ හින්දුවාදී පක්ෂයක් වශයෙනි. මෙකල එරට හින්දුවාදී බලවේග ශක්තිමත් වීමට භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීම ද එක් හේතුවක් ලෙස ඇතැම්හු පෙන්වා දෙති.
කෙසේ හෝ වේවා ෂාරුක් ඛාන්ට එරෙහිව සමාජ මාධ්‍ය තුළ දියත් වූ ප්‍රහාරයේදී ඔහු බේරා ගැනීම සඳහා ඔහුගේ රසික රසිකාවියන් ද විශාල වශයෙන් ඉදිරිපත්ව සිටිනු දැකිය හැකිවිය.
ෂාරුක් ඛාන්ගේ ඥාති සොයුරිය නූර් ජෙහාන් ඉදරිපත් වීමට යන පාකිස්තාන මැතිවරණය ඉතා උණුසුම් තරගකාරී මැතිවරණයක් වනු ඇති බවට මේ වන විට අනාවැකි පළවෙමින් තිබේ. දැනට එරට පාලනය හොබවන, කලක් නවාස් ෂරීෆ් නායකත්වය දැරූ පාකිස්තාන මුස්ලිම් ලීගයත්, සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දරන පාකිස්තාන තෙහ්රික්-ඊ-ඉන්සාෆ් නැමැති පක්ෂයත් අතර කරට කර සටනක් ඇති බවටද තොරතුරු පළවෙයි.
කෙසේ නමුත් ඉහත කී නූර් ජෙහාන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙම ප්‍රධාන පක්ෂවලින් නොවේ. මේ වන විට වාර්තා වන තොරතුරු අනුව පෙනීයන්නේ ඇය ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරග කරනු ඇති බවයි.
නූර් ජෙහාන්ගේ පියා ඇතුළු පවු‍ලේ අය කලක් තිස්සේම විවිධ දේශපාලන සහ සමාජ කටයුතුවල නිරත වෙමින් සිටින උදවිය බවද සඳහන් වේ.
අතීතයේ ඉන්දියානු නිදහස් අරගලය තුළ ද ඔවුන්ගේ පරපුරේ අය ක්‍රියාකාරීව කටයුතු කර ඇත. ෂාරුක් ඛාන් සහ මෙම පවු‍ලේ අය අතර තවමත් සම්බන්ධතා පවතින බවත්, නූර් ජෙහාන් කිහිප වරක්ම ෂාරුක් මුණ ගැසීමට ඉන්දියාවට පැමිණ ඇති බවත් පැවැසේ.
ඇය පවසන්නේ සමාජය තුළ විවිධාකාරයෙන් පීඩාවන්ට ලක්වන, අසාධාරණයන්ට මුහුණ දෙන කාන්තාවන් බලගැන්වීමේ කටයුතුවල නිරත වීම තම ප්‍රධාන අරමුණක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!