Gossip

රටම කළඹමින් පුවත් මැවූ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් නැවතත් අලුත් ගමනක් අරඹයි

ඔබ අලුත් වැඩකට සූදානම් වෙනවා කියලා ආරංචියි?
ඔව්. මම ‘ස’ ප්‍රසංගය නවත්තලා අවුරුදු හයක් වෙනවා. එදා සිට මට විශාල කරදරයක් තිබුණා ඇයි ඒකපුද්ගල ප්‍රසංගය නැවැත්තුවේ කියලා. “බාල පරපුරට දැන් දකින්න දෙයක් නෑ නේද. ඒක රසික ජනතාවට කළ අසාධාරණයක්ය” කියලා බොහෝ අයගේ දෝෂාරෝපණ එන්න පටන් ගත්තා.
ඒ නිසා ඒකපුද්ගල ප්‍රසංගයක් නැවත කරන්න ඕනේ කියලා අපිට හිතුණා. ඒ අනුව වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදය කියන අපේ සංවිධානය ඒකමතිකව තීරණයක් ගත්තා නැවත ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න. ඒ අනුව තමයි ‘සරස’ රත්නමය ගී අමානන්දය ඒකපුද්ගල ප්‍රසංගය පටන් ගන්න හිතුවේ.

• එය කවදා කොහේදිද පවත්වන්න සූදානම් වෙන්නේ?
අගෝස්තු 11 වැනිදා පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවේදී සවස 6.30ට මේ ප්‍රසංගය වේදිකාගත කරනවා.

• මේ ප්‍රසංගය කොළඹින් පිටට ගෙනියන්න හිතුවේ?
මගේ උපන් ගම මහනුවර. මම ශාස්ත්‍රීය සංගීතයට අත්පොත් තැබුවේ මහනුවර එම්.ජී.පී. කලායතනයේ. ඒ වගේම මම මහජන ප්‍රසංගයක පළමුවරට ශිල්පියකු ලෙස ගීත ගායනා කළේ ආර්.ඒ. චන්ද්‍රසේන කියන සංගීතවේදියා යටතේ මහනුවර ලේක් සමාජ ශාලාවේ. වාදකයෙක් හැටියටත්, ගායකයෙක් හැටියටත් මගේ ශිල්පීයත්වය මුලින්ම විදහා පෑවේ එහිදී. ඒ නිසා මෙදා අපි හිතුවා දෙවැනි ඒකපුද්ගල ප්‍රසංගය උපන් ගමින් ආරම්භ කරන්න ඕන කියලා.
මංගල ප්‍රසංගය මහනුවර පවත්වලා රට හැම තැනම ගෙනියන්න සංවිධානය කරනවා.

• ‘ස’ ප්‍රසංගය නවත්තලා වසර හයකට පස්සේ ඒකපුද්ගල ප්‍රසංගයක් නැවත ආරම්භ කළේ රසික ඉල්ලීමෙන් බේරෙන්නමද?
රසික ඉල්ලීම් රාශියක් මැද්දේ සහ ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න පුළුවන්කම තිබියදී ඇයි නොකර ඉන්නේ, ඒක රසික පිරිසට කරන තරමක අසාධාරණයක් නේද? ප්‍රසංගයක් කළොත් හොඳයි නේද කියලා මගේ බිරියගෙනුත් ඉල්ලීමක් තිබුණා.
මගේ ඒකපුද්ගල ප්‍රසංගයක් විඳින්න සහ නරඹන්න රසිකයන්ට බලාපොරොත්තු තියෙනවා නම් ඇයි මම නොකර ඉන්නේ. තාමත් මට ගායන හැකියාව සහ ශිල්පියෙක් හැටියට ජනප්‍රියත්වයක් තියෙනවා. ප්‍රාසංගික කලාවට තාම මට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකපුද්ගල ප්‍රසංගයක් කිරීමට හැකියාව, ශක්තිය, ධෛර්ය ඇතිව තිබියදී අපි මේක කරමු කියලා විශාල ඉල්ලීමක් මගේ බිරිය හෂිනි කළා.
මේ සියලු දේ සලකලා තමයි ඒකපුද්ගල ප්‍රසංගයක් කරමු කියන අදහසට ආවේ.

• ‘ස’ ප්‍රසංගය බොහෝ රසික ආකර්ෂණයක් දිනාගත්ත ප්‍රසංගයක්. ඇයි ඔබ ‘ස’ නම අතහැරලා වෙනත් නමකින් ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න හිතුවේ?
‘ස’ ප්‍රසංගය එක් දහස් හාරසිය පනහක් තියලා සංකේතයක් තියලා නැවැත්තුවට මම ‘ස’ ප්‍රසංග එක්දහස් පන්සියයටත් වඩා කළා.
විදේශගතව කළ ප්‍රසංග මේ ගණනට වැටුණේ නෑ. ‘ස’ නමින් ප්‍රසංගය නැවත පටන් ගන්න අවශ්‍ය නෑ කියලා හිතුවා. ‘ස’ ප්‍රසංගය එක්තරා තැනකට ඇවිත් නැවැත්තුවේ.
ඒ ප්‍රසංගයේ තිබ්බ කීර්තිය, ගෞරවය සියලු දේ ‘ස’ ප්‍රසංගය සමඟ බැඳිලා තියෙනවා. ඒ ප්‍රසංගය ආපහු මුල ඉඳලා පටන් ගන්නවට වැඩිය මේ ප්‍රසංගය වෙනස් මුහුණුවරකින් කරන තවත් ප්‍රසංගයක් හැටියට කරන්න හිතුවා.

• ඒ නව මුහුණුවර ගෙනෙන්නේ ප්‍රසංගයේ නමින් විතරක් නෙමෙයි නේද?
නමින් විතරක් නෙමෙයි, මේ ප්‍රසංගයේ ව්‍යුහය දිහා බැලුවමත් සුවිශේෂයි. අලුත්ම ගීත මෙහිදී ගැයෙනවා. මගේ නිර්මාණාත්මක හිමිකමේ උරුමය තිබෙන අමරදේවයන්ගේ ගීතයක් වුණත් මේ ප්‍රසංගයේදී ගැයෙන්න පුළුවන්. මගේ නිර්මාණ දායකත්වය දිහා බැලුවොත්, රුක්මණි දේවි, මොහිදින් බෙග්, අමරදේව මැතිතුමා වගේ අනුපිළිවෙළක් ගත්තොත් මෑත යුගයේ තාරුණ්‍යයේ ඉන්න ගායක ගායිකාවන්ට පවා මගේ නිර්මාණ දායකත්වය දී තිබෙනවා.
ඒ නිසා ඒ ගීතවලිනුත් තෝරාගත් නිර්මාණ කිහිපයක් තිබෙනවා. ‘සරස’ ප්‍රසංගය වෙනස් විදියේ ප්‍රසංගයක්. ‘ස’ ප්‍රසංගයේ මුහුණුවර හෝ එහි තිබ්බ ගලායෑම නෙමෙයි මේ ප්‍රසංගයේ තිබෙන්නේ.

• ‘ස’ ප්‍රසංගය එක්ක ගෞරවයක් වටිනාකමක් ලැබුණු පසුබිමක් තිබෙනවා. ‘ස’ ප්‍රසංගයේ තිබ්බ වටිනාකම, මේ ප්‍රසංගයටත් ලැබෙයිද?
මංගල ප්‍රසංගය අගෝස්තු 11 වැනිදා කළාට පස්සෙ තමයි රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර, ප්‍රතිවින්දන මොනවද කියලා දැනගන්න ලැබෙන්නේ.
බොහෝ දේවල් අපිට රසික ආකල්ප මත වෙනස් කරගන්න සිදුවෙනවා.

• දැන් තිබෙන ගීත රැල්ල සහ ඒකපුද්ගල ප්‍රසංග කලාව තුළ ‘සරස’ ප්‍රසංගයට මොනවගේ පරිවර්තනයකට ලක්වෙන්න වෙයිද?
දැන් තියෙන ඒකපුද්ගල ප්‍රසංග කලාව හෝ සිංහල ගීතය දිහා බැලුවම ඒවා මගේ මිනුම්දඬු අනුව අවර ගණයට ගිහින් තියෙනවා. සාහිත්‍යමය, කාව්‍යමය, ගුණාත්මක පැත්තක් නෑ. සංගීත නිර්මාණ දිහා බැලුවම ඝෝෂාකාරී හඬවල් ටිකක් තියෙනවා මිසක් ඒවායෙන් ගේය පද රචනාවට ලැබෙන පිටිවහලක් නෑ.
ගේය පදරචනාව වින්දනය කරන්න පුළුවන් සංගීත රටා නිර්මාණය වී නැහැ.
ඒ නිසා තමයි දැන් අපිට අහන්න දෙයක් නෑ කියලා බොහෝ දෙනා කියන්නේ. අපේ දරුවන්ට වින්දනය කරන්න දෙයක් නැහැ. ඒ නිසා හැකියාව තියෙද්දි ඇයි ප්‍රසංගය නොකරන්නේ කියන ඉල්ලීම් එද්දී එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ප්‍රසංගය එළියට එන්නේ.

• තාමත් සුභාවිත ගීතයට ළැදි පරපුරක් ජීවත් වෙනවා කියන දේ නේද ඒ ඔප්පු වෙන්නේ?
ඔව්. ඒකාන්තයෙන්ම එවැනි පිරිසක් ඉන්නවා. ඉතාම කනගාටුවෙන් වුණත් කියන්න ඕන විද්‍යුත් මාධ්‍යවලින් යහපතට වඩා අයහපත තමයි සංගීතාත්මක නිර්මාණවලින් සිද්ධ වෙන්නේ.
අන්තර්ජාලය හරහා වුණත් ලබාදෙන ඇතැම් දේවල් අර්ථ ශූන්‍යයි. බොහෝ අවර ගණයේ දේවල් තමයි එළියට එන්නේ. ඒ නිසා තමයි හොඳ දේවලට ඉල්ලුම වැඩිවෙලා තියෙන්නේ.
ඒ නිසා ඒ ඉල්ලීම්වලට කන්දීලා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. ‘සරස’ ප්‍රසංගයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ප්‍රසංගය ආරම්භ කරනවා.

රසිකයෝ කොච්චර මුදලක් ගෙවලද මේ ප්‍රසංගයක් නරඹන්න එන්නේ. සල්ලි දීලා පවුල් පිටින් ප්‍රසංගයක් බලන්න එනවා. අද යුගය දිහා බැලුවම හන්දියක් හන්දියක් ගාණේ මට ඉර්ඉ කරන්න කියලා රසිකයන්ගෙන් හිඟමන් ඉල්ලනවා. හොඳ දෙයක් ඉදිරිපත් කරනවා නම් ඔවුන් සල්ලි දීලා බලන්න එනවා. හොඳ වින්දනාත්මක ලෝකයක ඉන්න රසිකයෝ තාම ඉන්නවා. ඔවුන්ගේ වින්දනාත්මක ලෝකය පෝෂණය කරන්න දෙයක් දෙන්නේ නැති එකේ ප්‍රශ්නය තමයි දැන් තියෙන්නේ. මේ වගේ ප්‍රසංගයක් කරලා ජනතාව රැස්කරලා අපේ නිර්මාණවල තිබෙන ගුණය සහ රසවින්දනය ඔවුන් සමඟ බෙදාගන්න ඕන.

• මේ ප්‍රසංගය ලංකාව ඇතුළත විතරක් පවත්වන්නද සූදානම් වෙන්නේ?
ඇත්තටම ඕස්ට්‍රේලියාවෙන්, ඉතාලියෙන් පවා දැනටත් මේ ප්‍රසංගයට ඉල්ලුම තියෙනවා.
ලංකාවේ ප්‍රසංගය පවත්වලා ඊට පස්සේ විදේශගතව ප්‍රසංගය කරන්න හිතනවා කියලා අපි ඔවුන්ට දැනුම් දුන්නා.

• ඔබේ පැරණි ගීත බොහෝ ජනප්‍රිය වුණා. නමුත් ඔබ නිර්මාණය කරන අලුත් ගීතවලට මාධ්‍යවලට ලැබෙන ඉඩකඩ අඩුයි නේද?
මම මෑත කාලයේ නිර්මාණය කළ ‘මගේ සඳ ඇවිත්’ කියන ගීතයට ලැබුණු ප්‍රතිචාර දිහා බලද්දී මගේ මෑත යුගයේ රූපගත කළ එකම ගීතය ඒක. අපේ රූපවාහිනි නාළිකා කොයි තරම් තිබ්බත් ඒ එක නාළිකාවකවත් ඒ ගීතය ප්‍රචාරය වෙන්නේ නැහැ.

• හේතුව?
යහපත් නිර්මාණයකට දෙන තැන තමයි එතැනදී අපිට හිතන්න වෙන්නේ. මගේ ගීත ප්‍රචාරය නොවෙනවා කියලා මම කවදාවත් හිතේ අමාරුවකින් කතා කරන්නේ නැහැ. මගේ ගීත ප්‍රචාරය කරන්න කියලා මම ඉල්ලගෙන යන්නෙත් නැහැ.
අද ගීතයට අදාළ වෙන හෝ නොවන දේවල් ටිකක් දාලා රූපගත කරලා ඒ ගීත නාළිකාවලට ගිහින් දෙන අය ගොඩක් ඉන්නවනේ. ඒ නිසා ඒවට තැන දෙනවා. ඒවායේ අන්තර්ගතය දිහා බැලුවම මුදල්වලට ගැතිවෙලා කරන වැඩ විදියට පේන්නේ. නාළිකා එහෙම පැකේජ් හදල තියෙනවා. අපේ ගීතයක් කොහොම හරි ප්‍රචාරය කරලා දෙන්න කියලා අපිට පිංසෙණ්ඩු වෙන්න ඕනේ නෑ. අපිට හැකියාව ශක්තිය තියෙද්දී කිසි කෙනෙක් ඇවිත් අපිට වැඩසටහනක් කරලා දෙන්න කියලා ඉල්ලන්නෑ.

• ප්‍රවීණයන්ගේ අලුත් ගීත ඇහෙන්නේ නෑ. ජනතාව අතරට යන්නේ නෑ කියලා සමහරු මැසිවිලි නඟනවා. නමුත් ඒ කාරණාව පිටුපස තියෙන්නේ මාධ්‍ය ලබාදෙන ඉඩ ප්‍රස්තාව පිළිබඳ ගැටලුවක් නේද?
ඔව්. ඒක බොහොම ශෝචනීය, දුක්ඛදායක කතාවක්. නිර්මාණකරුවාව නිසි තැන තියලා, නිසි ඇගැයීම් නොකරන එක මේ වෙලා තියෙන්නේ. හොඳ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට තැන දෙනවට වඩා මේ ක්‍රියාවන් වෙන පිළිවෙළකට හදාගෙන තියෙනවා.
ඒ හදාගෙන තියෙන ක්‍රමවලට අපිට කිට්ටු වෙන්නවත් බෑ. අපි හදාගෙන තියෙන කීර්තිය සහ ගෞරවය දිහා බැලුවම අපි ඒවාට කිට්ටු විය යුතුත් නැහැ. ඒවට යන්න ඇරලා අපි ඇහැ කන පියාගෙන ඉන්නවා.

• එවැනි පසුබිමක ඔබේ අලුත් ගීත ජනගත කරන්නත් මේ ප්‍රසංගය හොඳ අවස්ථාවක් වෙයි?
ගීතවල තියෙන ගුණාත්මක බව, අර්ථාන්විත බව සංගීතාත්මක පැත්තෙන් ගත්තත්, ගේය පද රචනාව පැත්තෙන් ගත්තත් ඒවා නිසි කලට එළිදැක්වීම කරලා ජනගත කළේ නැත්නම් ඒවා වැළලී යන ස්වභාවයක් තිබෙනවා. නිර්මාණ ජනගත කරන්න නම් ජනතාව ඉදිරියේ සජීවී ප්‍රසංගයක් කරන්න ඕන.
ඒ ප්‍රසංගයේදී තමයි අහන කෙනයි ශිල්පියයි කොතෙක් දුරට කිට්ටු වෙනවද කියලා දැනෙන්නේ. අද බහුතරයක් එෆ්. එම්. නාළිකා සහ රූපවාහිනි නාළිකා දිහා බලාගෙන හිටියොත් අපේ නිර්මාණවලට වෙන ව්‍යසනය පිළිබඳ අපිට දුක්වෙවී ඉන්න වෙනවා.

• ‘සරස’ ප්‍රසංගයේදී, ඔබ ගායනා කළ අලුත්ම ගීතත් අහන්න ලැබෙයිද?
ඔව්. මම අලුතින් නිර්මාණය කළ ගීතත් ප්‍රසංගයේදී ගායනා කරනවා. ප්‍රසංගයෙන් ප්‍රසංගයට අපි වෙනසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා ගීතවල. හැමදාම එකම ගීත මාලාවක් ගායනා කරන්නේ නැහැ. ‘ස’ ප්‍රසංගයෙදිත් එහෙම කෙරුණේ නෑ. බොහෝ දෙනා ඉල්ලන ගීතවලටත් අපි සවන් දෙනවා.

• දැන් ඔබේ සෙවණැල්ල වගේ ඉන්නේ බිරිය හෂිනි. ඇයගෙන් ඔබේ වැඩකටයුතුවලට ලැබෙන සහාය කොයි වගේද?
හෂිනි වගේ බිරියක් මට ලැබීම මට හැම තිස්සෙම හිතෙන්නේ මගේ වාසනාවට සිදුවුණු දෙයක් හැටියට.
මගේ ශිල්පීය ජීවිතය ගැන හොඳ වැටහීමක්, අවබෝධයක් ඇතුවයි ඇය ඉන්නේ. සංගීතය විෂය හදාරපු කෙනෙක් නිසාම ඇයට හොඳ වැටහීමක් තිබෙනවා මගේ නිර්මාණ කාර්යයන් ගැනත්. ඒ නිසා මේ දේ කළ යුතුයි නේද කියන පෙලඹවීම ඇය මට ඇති කරනවා. මේ ප්‍රසංගය මෙතරම් ඉක්මනින් පටන් ගන්නත් හේතුව ඒක.

• මේ ප්‍රසංගයට ගායනයෙන් සහ වාදනයෙන් සම්බන්ධ වෙන ශිල්පීන් කවුද?
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පිරිසක් තමයි අත්වැල් ගායනයට සහ යුග ගායනයට සම්බන්ධ වෙන්නේ. සනත් සතිශ්චන්ද්‍ර, තිසර බණ්ඩාර, රුක්ෂාන් ගුණවර්ධන, රෝචන රාමනායක, නිහාල් කළුබෝවිල, ජානක බෝගොඩ, ජගත් මාපළගම, වජිර ගෝමස්, සුගත් හෙට්ටිආරච්චි, මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල්, ශාලුක හෙට්ටිආරච්චි, ජයන්ත දිසානායක, මංජුල කළුආරච්චි ඇතුළු පිරිස වාද්‍ය මණ්ඩලයට එකතු වෙනවා. වාද්‍ය මණ්ඩලය මෙහෙයවීම කරන්නේ සුසිල් අමරසිංහ.

• මේ ප්‍රසංගයට දායකත්වය දෙන අනෙක් පිරිස ගැනත් මතක් කරමුද?
මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැළියගොඩ, සමන් අතාවුදහෙට්ටි, ප්‍රේම් දිසානායක, බන්දුල නානායක්කාරවසම්, ගීතනාත් කුඩලිගම, සරත් සේනාරත්න, සරත් තිලකරත්න, දයා විජේසේකර සහ හෂිනි තමයි වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදය වෙනුවෙන් මේ වැඩකටයුත්ත සැලසුම් කරන්නේ.

• ප්‍රසංගයට අමතරව අලුත් වැඩකටයුතු සැලසුම් කරගෙන තිබෙනවාද?
අලුත් ගීත කිහිපයක් පටිගත කරන්න සූදානම් වෙලා ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!