Gossip

යාළුවෝ එක්ක මත්පැන් බෝතල් 06ක් විතර හිස් කරලා නාන්න ඕන කියලා ළිඳට පැන්න කෙනාට ජීවිතයත් අහිමිවෙයි

මිතුරන් හත්දෙනකු එක්‌ වී මත්වතුර බෝතල් 6 ක්‌ හිස්‌ වනතුරු පැවැත්වූ සාදයක්‌ අවසානයේදී අසල තිබූ ළිඳකට පැන නා ගැනීමට ගිය පුද්ගලයකු එම ළිඳේ ගිලීම නිසා ජීවිතක්‌ෂයට පත් විය.

මෙසේ මියගොස්‌ ඇත්තේ යක්‌විල – මාදරවත්ත පදිංචිකරුවකු වූ ඉලංකෝන් මුදියන්සේලාගේ ලක්‌ෂ්මන් කුමාර හෙවත් ජනක නමැති 41 හැවිරිදි එක්‌ දරු පියෙකි.

කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්‌ෂක නන්දන පී. හෙට්‌ටිගමගේ මහතා විසින් මේ පිළිබඳව එම හදිසි මරණ පරීක්‌ෂක කාර්යාලයේ පැවැති සාක්‌ෂි විභාගයේදී එම මත්වතුර සාදයට සහභාගි වූ මියගිය අයගේ මිතුරෙකු වන සංජීව ප්‍රසාද් දසනායක (34) නමැති අය සාක්‌ෂි දෙමින් මෙසේ පැවසීය.

“….මියගොස්‌ සිටින ජනක අයියා අපි කාලයක සිට දන්නා හඳුනන හිතවතෙක්‌. අපි ඉඳහිට හමුවුණාම මත්පැන් ටිකක්‌ බොනවා. සිද්ධිය වූ දින දහවල් 10.30 ට පමණ ප්‍රභාත් ලාගේ නිවස අසල නළ ළිඳක්‌ ගහන තැනකදී අපි හමුවුණා. අද ටිකක්‌ බොමු. මම ගෙදර ගිහින් එන්නම් කියලා ජනක අයියා ගියා. නැවත 11 ට පමණ ඔහු ඇවිත් ජනක මම තාරක උදයංග කට්‌ටියම ගලගෙදර ස්‌වභාවික කැලයට ගියා.

එම අවස්‌ථාවේදී බණ්‌ඩාර හා නිශ්ශංකත් සඳුන් සමඟ ආවා. උදයංගලා මුලින්ම ගෙන ආ බෝතල් අපි බිව්වා. සවස ඒ අසල තිබූ ළිඳ ළඟට ගොස්‌ ජනක අයියා බිරිඳට පෝන් එකෙන් කතා කර කිව්වා යාළුවොත් එක්‌ක කන්න එනවා. මොනවා හරි හදන්න කියලා. ළිඳ ළඟට ගිය ජනක අයියා කිව්වා නාන්න ඕනෑ කියලා උදයංග කිව්වා බිම ඉඳගන්න අපි නාවන්නම් කියලා. උදයංග පනිට්‌ටුවෙන් කීප වරක්‌ නැව්වාට පසුව ජනක අයියා කිව්වා මෙහෙම නාලා බෑ ළිඳට බැහැලා නාන්න ඕනෑ කියලා ළිඳට පැන්නා. ඔහු ටික වෙලාවක්‌ ළිඳේ පිනමින් හිටියා. එවිට බාල්දියේ කඹය ඔහුට දික්‌ කළා. ඔහු කඹයේ එල්ලෙනවාත් සමඟ කඹය කැඩී ඔහු යට ගියා. එවිට නිශ්ශංක ළිඳට පැන්නා ඔහුට තනියම කළ හැකි දෙයක්‌ නැති නිසා පසුව උදයංගත් පැන්නා.

පසුව ජනක අයියා ගොඩට ගෙනැවිත් වාහනයක දමා ගෙන කුලියාපිටිය මූලික රෝහලට ගෙන ආවත් ටික වේලාවකින් ඔහු මියගොස්‌ ඇති බව වෛද්‍යවරු පැවසුවා යෑයි’ කීවේය.

මියගිය අයගේ බිරිඳ වන හීන්කෙන්ද මුදලිගේ අමිලා ප්‍රියන්ති (41), හෙට්‌ටි හේවයලාගේ උදයංග සඳරුවන් (22), අසුරප්පුලිගේ නිශාන්ත ප්‍රදීප් යන අයද මෙහිදී සාක්‌ෂි දුන් අතර, කුලියාපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජීවනී මල්කාන්ති මහත්මිය විසින් මෙහි පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වනු ලැබීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!