Gossip

මොරටුවේ රුවනිට පිහි පහරවල් 16ක් ඇන්නේ හිටපු පෙම්වතෙක්ද?

මොරටුව පොලිස් වසමේ, රාවතාවත්ත පළමු පටුමග අංක 15 දරණ නිවෙස බොහෝ සුරක්ෂිත ලෙස සෑදූවකි.

තාප්ප යොදා ගේට්ටු දමා ඇති මෙම නිවෙසේ ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවිකර තිබීම හේතුවෙන් ආරක්ෂාව තවදුරටත් තහවුරු වී ඇත. මෙහි පදිංචිව සිටින්නේ වන්නකුවත්ත වඩුගේ රුවිනි ශානිකා ප්‍රනාන්දු නම් වූ හතලිස් පස් හැවිරිදි මවත් ඇයගේ දහඅට හැවිරිදි දියණියත් පමණි. දියණිය මොරටුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරමින් සිටින්නීය.

රුවිනි මාතර පදිංචිකාරියකි. මීට වසර දහයකට පමණ ඉහතදී ඇය සැමියාගෙන් දික්කසාද වන අතර මොරටුවේ පදිංචියට එන්නේ ඉන් අනතුරුවය.

දියණිය සමඟ ඇය මෙම නිවෙසේ පදිංචි වන්නේ මීට වසර තුනකට පමණ පෙරය. මෙම නිවසේ හිමිකරු වුයේ රුවිනිගේ නැගණියගේ සැමියාය. ඔවුන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර මෙම නිවෙස රුවිනිට ලබා දෙන්නේ නැගණියගේ සැමියා නොඑසේ නම් මස්සිනාය.

රුවිනි මාතර ප්‍රදේශයේ ධනවත් පරම්පරාවක දියණියකි. එබැවින් සැමියාගෙන් වෙන් වුව ද ඇයට මුදල් අතින් කිසිම හිඟපාඩුවක් තිබුණේ නැත. දික්කසාද වූ සැමියා දරුවා වෙනුවෙන් වන්දි මුදල් ලබා දුන් අතර ඇයගේ මවුපියන් මාතර නගරයේ ඔවුන්ට අයත් ව්‍යාපාරික ස්ථානවලින් ලැබෙන ආදායමෙන් කොටසක් රුවිනිට ද ලබා දුනි. එම මුදල ඇයට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට තරම් ප්‍රමාණවත් විය.

රාවතාවත්ත නිවෙසේ පදිංචියට පැමිණි ඇය අසල්වැසියන් සමඟ වැඩි ඇසුරක් පැවැත්වූයේ නැත.මඟතොටදී හමු වුවහොත් සිනහසී වචනයක් දෙකක් කතා කොට යනවා මිස වැඩි භජනයට නොයා සිටීමට ඇය වගබලා ගත්තාය. නිතරම ගේට්ටු වසා නිවෙසේ දොරවල් ද වසා සිටීමට ද ඇය කටයුතු කළාය.
ඒ පසුගිය දොළොස්වැනිදා සවස් භාගයයි. එදින සවස පහට පමණ මොරටුව පොලීසියට 119 අංකයෙන් ලැබුණු ඇමතුමෙන් කියා සිටියේ රාවතාවත්ත පළමු පටුමගේ අංක 15 දරන නිවෙසේ පිහි ඇනුමකට ලක් වූ කාන්තාවක වැටී සිටින බවය.

1990 ගිලන් රථය ද රැගෙන පොලිස් කණ්ඩායමක් එම නිවෙස බලා පිටත් වූ අතර පොලීසිය එම ස්ථානයට යන විට අසල්වාසීන් කිහිප දෙනකු එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි. නිවෙසට ඇතුලුවන ඉදිරිපස දොර කඩා විවරකර තිබූ අතර පිහි ඇනුමට ලක් වූ කාන්තාව එම දොර අසල උඩු අතට වැටී සිටියාය. සිරුරේ ස්ථාන කිහිපයකින්ම රුධිරය ගලා ගොස් තිබූ අතර රුධිරය තැවරුණු සෙරප්පු අඩි පාරවල් කිහිපයක් ද නිරීක්ෂණය විය.

මේ රුවිනි ශානිකාය. දියණිය පාසල් ගිය පසු ඇය තනිව සිටියදී නිවෙසට පැමිණි කවුරුන් හෝ පිහියකින් ඇන ඇය මරා දමා ගොසිනි. මෙම නිවෙසේ සී. සී. ටී. වී කැමරා පද්ධතියක් සවිකර තිබෙන බැවින් ඝාතකයා සොයා හඳුනා ගැනීම පහසු කරුණක් බව පොලීසියේ මෙන්ම පවුලේ අයගේ ද අදහස විය.

එහෙත් ඝාතකයා ඊට ඉඩ තබා ගොස් තිබුණේ නැත. ඔහු රුවිනි මරා දමා යන විට සී. සී. ටී. වී. කැමරා පද්ධතියට අයත් යන්ත්‍රය එනම් දර්ශන පටිගතවන කොටස ද ගලවාගෙන ගොස් තිබිණි.

සිද්ධිය වූ දින පාසල නිම වීමෙන් අනතුරුව දියණිය පාසල් වෑන් රථයෙන් නිවෙසට එද්දී වේලාව සවස දෙකහමාර පසු වී තිබිණි. වෙනදාට ගේට්ටු දෙකම වසා තිබෙන නමුත් අද එක් ගේට්ටු පලුවක් හැර දමා ඇත. පාසල් වෑන් රථය පැමිණෙන හඬ ඇසුණු විට වෙනදාට රුවිනි නිවෙසේ ඉදිරිපස දොර විවර කර දියණිය එනු බලා සිටී. එහෙත් විවරව තිබූ ගේට්ටුවෙන් ඇතුලුව නිවෙස අසලට ගිය දියණිය දුටුවේ දොර අගුලු දමා ඇති බවයි. ඇය දොරට ගසමින් අම්මාට කතා කළාය. මවගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. කුසගින්නේ වෙහෙස මහන්සිව සිටි ඇය එලෙස කිහිප වතාවක්ම මවට කතා කළ ද මව ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

පසුව ඇය මවගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තාය. දුරකථනය ක්‍රියාත්මක වූ නමුත් මව ඊට ද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මෙම නිවෙස අසල පදිංචිව සිටින ගුරුවරියක හමුව මේ බව පැවසූ දියණිය ඊළඟට කළේ පුංචි අම්මාට දුරකථන ඇමතුමක් දීමය. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඇය නිවාඩුවකට මෙරටට පැමිණ සිටියේ සැමියා ද සමඟය. එදින මාතර අධිකරණයේ පැවැති නඩුවකට සහභාගි වීමට ගිය ඇයට දියණියගෙන් දුරකථන ඇමතුම ලැබෙන්නේ ආපසු මොරටුව බලා පැමිණෙමින් සිටියදීය.

“අනේ පුංචි, අම්මා ගේ ඇතුළේ ඉන්නවා. එයා කතා කළාට දොර අරින්නේ නෑ, ෆෝන් එක උස්සන්නෙත් නෑ. මොකද දන්නේ නෑ . අක්කගේ දියණිය ලබාදුන් ඇමතුමෙන් කී තොරතුර එතරම් සුබදායී නැත. එබැවින් පුංචි හා බාප්පා හැකි ඉක්මනින් රුවිනිගේ නිවෙස වෙත ළඟා වූහ.

නිවෙසේ දොර ජනේල සියල්ලම වසා දමා ඇත. විදුලි පංකාව කැරකේ. එම සුළං පහරට ජනේලයට දැමූ රෙද්ද එහා මෙහා වේ. ඒ අතරින් බිම වැටි ඇති කඩදාසි කොලයක් සෙලවෙන බවක් පෙනේ. කොපමණ කතා කළ ද දුරකථන ඇමතුම් දුන්න ද රුවිනිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැත. ඒ වන විට වේලාව සවස හතර ද පසු වී තිබිණි. තවදුරටත් බලා සිටිය නොහැකිය. දොර කඩා දමා ගේ ඇතුළේ සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලිය යුතුය. අසල පදිංචි පොඩි මාමා ලෙසින් හඳුන්වන අය ද කැඳවා දොර කඩා දැමීමට රුවිනිගේ නැගණිය ඇතුලු පිරිස තීරණය කළහ.

අගුල කඩා දොර විවර කළ විට දක්නට ලැබුණේ දොර අසල ලේ තැවරුණ අඩි පහරවල් කිහිපයකි. ඒ අසලම ලේ විලක් මත උඩුබැලි අතට රුවිනි වැටී සිටිනු දුටු පිරිස දැඩි භීතියටත්, ශෝකයටත් පත් වූහ. පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට මෙම තොරතුර ලබා දෙන්නේ ඉන් අනතුරුවය. රුවිනි ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඝාතකයා නිවෙසට ඇතුලු වන්නට ඇත්තේ කෙලෙසදැයි සොයා ගැනීමට මුලු නිවෙස වටා සෝදිසියක නිරත විය. එහෙත් දොර ජනේල විවර කර හෝ කඩා දමා හෝ ඇති බවක් පෙනෙන්නට නැත. ඉදිරිපස දොර කඩා විවෘත කර තිබුණේ රුවිනිගේ නැගණියගේ සැමියා ඇතුලු හිතවතුන් විසිනි. ඝාතකයා ආපසු යන විට දොර වසා අගුලු දමා යතුර ද රැගෙන ගොස් තිබිණි.

එසේ නම් ඝාතකයා මෙම නිවෙසට ගොඩ වැදී ඇත්තේ ඉදිරිපස දොර ඇය ලවාම විවෘත කරවාගෙනය. එලෙස කතා කළ පමණින් දොර විවෘත කරන්නට ඉදිරිපත් වන තරම් හිතවත්කමක් ඇති කවුරුන් හෝ ඇය ඇසුරේ සිටියාද? පොලීසියට ඇති වූ මෙම සැකයට ද පිළිතුරු ලැබිණි.

සැමියාගෙන් දික්කසාද වූ ඇය මීට වසර හත අටකට ඉහත දී පෙම්වතකු සොයගෙන තිබිණි. ඔහු යුද හමුදා සෙබළෙකි. හිනිදුම ප්‍රදේශයේ පදිංචි විවාහක තිදරු පියෙකි. ඔහු විවේක ලද විට ඇය හමුවට මෙම නිවෙසට එන අතර සමහර දිනවලදී රාත්‍රිය ද ගත කර යාමට ඔහු පුරුදුව සිට ඇත.

මෙලෙස හෙළි කරගත් තොරතුරුවලට අනුව පරීක්ෂණ කණ්ඩායමේ සැකය එල්ල වූයේ ඔහු වෙතය. එහෙත් රුවිනිගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන අතරේ ද ඔහු ඇයගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් අයුරු පොලිස් කණ්ඩායමට ද නිරීක්ෂණය විය. නිවෙස සෝදිසි කිරීමේදී දක්නට ලැබුණේ ඝාතකයා අල්මාරි ඇද යමක් සොයා ඇති බවය. එහෙත් ඔහු හොරකු නොවන බවට ද සලකුණු තිබිණි. සොරකු ඇතුලු වූවා නම් මුලු නිවෙසම වනසන නමුත් මෙම පුද්ගලයා අල්මාරියක් ඇද යමක් සොයා ඇති බවක් වැටහිණි.

රුවිනිට ජංගම දුරකථන තුනක් තිබිණි. ඇය සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ සිම් එක අන්තර්ජාලය හරහා ඉන් එක් ජංගම දුරකථනයකට ද සම්බන්ධ කරගෙන තිබිණි. එබැවින් කොහේ සිටිය ද නිවෙස හා ඒ අවට සිදුවන සියල්ල බලා ගැනීමට ඇයට හැකියාව තිබිණි. එහෙත් ඝාතකයා චිප් එක පමණක් නොව ඇයගේ එම ජංගම දුරකථනය ද රැගෙන ගොස් තිබීම පරීක්ෂණ කණ්ඩායමට බොහෝ ගැටලු මතු කරන්නක් විය.

එදින දහවල ඇය බැංකුවට ගොස් ගිණුමක තිබූ මුදල් රුපියල් ලක්ෂ හතරහමාරක් ගෙන ස්ථාවර තැන්පතුවක දැමූ බව ද කියයි. එලෙසම එදින දහවල් එකට පමණ ඇය නිවෙසට එන අතරතුර අසල්වැසි කාන්තාවක සමඟ කතාබහක ද යෙදී ඇත.

කෙසේ හෝ ඇය මර දමා ඇත්තේ එලෙස නිවෙසට පැමිණීමෙන් අනතුරුවය. එනම් සවස එකෙන් පසුවය.

රුවිනිගේ ඝාතකයා සොයා පොලීසිය දියත් කළ මෙහෙයුම්වලදී හෙළි වූ සමහර තොරතුරු නම් එතරම් රසවත් නැත.

ඒ රුවිනිට යුද හමුදා පෙම්වතාට අමතරව තවත් පෙම්වතුන් කිහිප දෙනකුම සිටි බවය. එලෙසම ඇය ඔවුන් සමඟ ද නිතරම ජංගම දුරථනවලින් කතාබහ කරන අතර ඔවුන්ද මෙම නිවෙසට ආගිය බවට තොරතුරු ලැබී ඇත.

පොලීසියේ වැඩි සැකය යුද හමුදා පෙම්වතා වෙත එල්ල වුව ද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එදින සිය කඳවුරේ රාජකාරියේ නිරතව සිටි බව පවසා ඇත. ඒ බව කඳවුරේ සටහන්වලින් ද සනාථ වී ඇත.

මේ අතර රුවිනිලාට අයත් මාතර තට්ටු ගොඩනැඟිල්ලේ කඩ කාමරයක අයිතිය ඉල්ලා පැවරූ නඩුවක් ද විභාග වේ. මෙම ගොඩනැඟිල්ලේ අයිතිය රුවිනිටත් නැගණියටත් පැවරී ඇති අතර නඩුව සඳහා ඉදිරිපත් වන්නේ ද මේ දෙදෙනාය.

තත්ත්වය මෙසේ තිබියදී පිහි පහර දහසයක් පමණ ඇන රුවිනි මරා දැමුවේ කවුද? කුමක් සඳහා ද? යන්න සොයා මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ජයශාන්ත ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් පරීක්ෂණවල නිරතව සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!