Gossip

“මොන දේ කළත් බැනුම් අහන්න වෙනවා. මම වැඩ හතරක් පහක් එකසැරේ බදාගෙන වණ කරගන්න කෙනෙක් නෙවෙයි.” – දෙවැනි ඉනිමේ අනුහස්ගේ සැර කතාව මෙන්න

ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය තමයි දෙවැනි ඉනිම.
මෙහි අනුහස්ගේ චරිතය රඟදක්වන රවීන් කණිෂ්ක ගැන රටම දන්නවා.
ඒ සිය රංගන හැකියාවෙන් රසික හදවත්වල ආදරය දිනාගත්ත නිසා.
පසුගියදා පැවැත්වුණු සුමති සම්මාන උළෙලේදී රවීන් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තා.
ඒ ගැනත් තවත් විස්තර ගැනත් අනුහස් සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

හා හා පුරා කියලා ජනප්‍රිය නළු සම්මානය ගත්තා නේද?
ඔව්.

සුමති සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා සම්මානය ගන්න කොයි තරම් මහන්සි වුණාද?
සම්මානය වෙනුවෙන් මට මහන්සියක් වෙන්න වුණේ නැහැ. සම්මාන උළෙලට ලස්සනට යන්න විතරයි මහන්සි වුණේ.

සම්මාන උළෙල කිහිපයකම ජනප්‍රිය නළුවා සම්මානය වෙනුවෙන් ඔබ නිර්දේශ වුණා. මෙදා සැරේ සම්මානය ලැබෙයි කියන බලාපොරොත්තුවක් තිබුණද?
ඒ සම්මානය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනතාව.
ජනතාව ඒ සම්මානය කවදාහරි මට දෙයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒකට මම ජනතාවට ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙනවා.

ජනප්‍රිය ගොන්නේ සම්මාන ගත්තාම සම්මානයේ වටිනාකමටත් වඩා චෝදනා වැඩියි නේද?
ලංකාව වගේ රටක මොන දේ කළත් බැනුම් අහන එක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ගේ චෝදනා අහනවට වඩා පාඩුවෙ ඉන්න එක වැදගත්.
කවුරු මොනවා කීවත් මම මගේ පාඩුවේ හෙමින් සීරුවේ මගේ ගමන යනවා.

රවීන් කියන ගායකයා නළුවෙක් වෙලා ගායකයාට තිබුණු තැන නැති කරගත්තා කියලා සමහරුන්ගෙන් චෝදනා එල්ල වුණා නේද?
දන්නෝ දනිති. මම රංගනය නිසා ගායකයාට නැති වුණ තැනත් හදාගත්තා. කවුරුහරි කියනවානම් මගෙ රංගනය නිසා ගායකයාට තිබුණ තැන මම නැති කරගත්තා කියලා ඒක මම ප්‍රතික්ෂේප කරනවා.
මා තුළ ඉන්න ගායකයා මා තුළ සිටින නළුවාට ණයගැතියි.

රවීන් එකම නාට්‍යයක විතරක් එල්ලිලා ඉන්නෙ ඇයි?
මේ වෙලාවේ මම කොයි නාට්‍යයක රඟපෑවත් මිනිස්සු මට කතා කරන්නෙ අනුහස් කියලා.
මම වෘත්තීය රංගන ශිල්පියෙක් නෙවෙයි. මම මගේ විභවයන් සොයා යන කෙනෙක්. එහෙම සොයන්න පටන් අරගෙන අවස්ථාවන් සොයන කෙනෙක් මිසක් මම වෘත්තීය රංගන ශිල්පියකු නෙමෙයි.
මේ වෙලාවේ දෙවෙනි ඉණිම නාට්‍යයට පුළුවන් උපරිමයෙන් රංගන දායකත්වය සපයනවා. මම වැඩ හතරක් පහක් එකසැරේ බදාගෙන වණ කරගන්න කෙනෙක් නෙවෙයි.

රවීන් වැඩිපුර කැමැති රංගනයටද එහෙම නැත්නම් ගායනයටද?
මම ජීවිතේ ආසම කළ දේ තමයි සංගීතය. මට තිබුණෙ සංගීතයයි වාහන පිස්සුවයි.
දැන් මට සංගීතය තරමටම රංගන ශිල්පියා කියන පිස්සුවත් හැදිලා තියෙන්නේ. මම දැන් රංගනයේ පරතෙරට යන්න තීරණය කරලා ඉවරයි.

එහෙනම් ඉදිරියේදී අලුත් නිර්මාණවලත් පේන්න ඉඳියිද?
මේ දවස්වල වෙනත් ටෙලි නිර්මාණවලට දායක වෙන්න මට වෙලාව නැහැ.
මාසෙකට දවස් 20ක් 25ක්ම දෙවෙනි ඉණිමේ රංගන කටයුතුවල නිරත වෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණවලට පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා.

සංගීත ක්ෂේත්‍රයේ අලුත් වැඩ මොනවද?
මේ දවස්වල මම අලුත් සින්දු ටිකක් කරගෙන යනවා. මම නිතරම ඇහෙන ජනප්‍රිය රැල්ලේ කොත්තු සින්දු කරන කෙනෙක් නෙමෙයි.
මනුස්සයෙක්ගේ හිතක් නිවන්න පුළුවන් විදියේ ගීත මම නිර්මාණය කරනවා. මගේ යූටියුබ් නාළිකාව ඔස්සේ ඒ ගීත රස විඳිය හැකියි.
මම නාළිකාවලට සල්ලි දීලා සින්දු ප්‍රචාරය කරගන්නෙ නැහැ.

රවීන් සංගීත ගමන හෙමින් සීරුවේ යන බවක් පේනවා?
මම සංගීතය පිළිබඳ පර්යේෂණ කරමින් අත්හදා බලමින් නිර්මාණ කරනවා. මම ඒ දේවල් කරන ගමන් එයින් ඉගෙනුමකුත් ලබනවා. ඒකයි මම මගේ සංගීත ගමන හෙමින් යන්නේ.

රිදී තිරයට එන්න අදහසක් නැද්ද?
සිනමාවටත් ආරාධනා ලැබුණා. සුදුසුකම් හදාගෙන සිනමාවේ නියැළෙන්න ලොකු ආසාවකින් බලාගෙන ඉන්නවා.
මේ දවස්වල හදාගෙන තියෙන ෂෙඩුල් එක අනුව සිනමාවට යොදවන්න කාලයක් නැහැ. අද හෙට නැතත් ඉක්මනින්ම සිනමා නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියන්නත් තව දේවල් ඇති?
ඉදිරියේදී මගේ ගීත නිර්මාණ එනවා. ඒවාට අවංකව ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. පුංචි තිරයේ වගේම රිදී තිරයෙනුත් ඉදිරියේදී මාව ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් වෙයි. ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. මට ආදරේ කරන හැමෝටම මම ආදරෙයි. ඒ හැමෝටම මම ගෞරව කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!