Gossip

“මේ ලෙඩ සනීප කරන ඒවා මට හරි සිම්පල් වැඩ. දුර්ගාදේවි මෙතැන වැඩ ඉන්නවා. මම දැන් අයින් කළේ ඇඟේ හිටපු බලවත්ම යක්කු හතර දෙනා.”

මට කිව්වා කොන්දෙ පෙරේතයෙක් ඉන්නවා කියලා..
කාන්තාවන්ට ශාන්තිකර්ම ගොඩක් වෙලා කරනවා..

ගාමිණී නම් කපුවෙක් මීගමුව අක්කර පනහ පාරේ පොල්වත්ත ප්‍රදේශයේ කලක පටන් තමාගේ ව්‍යාපාරය කරගෙන යන්නේය. ඔහු විශ්ව ශක්තිය සහ දේව ශක්තිය මිශ්‍ර කොට ලෙඩුන් සුවකරන බව පැවසෙන්නේ සතියේ බදාදා සහ තවත් දවස් දෙකක පමණි.
දොස්තරලා සිටියදී දේව වරමෙන් ලෙඩ සුව කරන බව කියන මේ කපු මහතා ගෙදර දොරේ ප්‍රශ්න විසඳන බවද කියයි. මේ මොනවා කළත් අය කිරීම රුපියල් තිස්දහසකි. දෙවියන්ගේ වැඩවලට අමතරව ඔහු කටුනායක ගුවන්තොටුපොළ කම්කරුවකු ලෙසද රැකියාවක් කරයි. දෙවියන් ජීවමානව වැඩ සිටිනවා කියන බදාදා දිනයක මම ඔහු දේවාලය ලෙස පවත්වාගෙන යන ස්ථානයට ගියෙමි. මිනිසුන් තිස් දෙනකුට පමණ වාඩි වී සිටීමට ආසන පනවා ඇති එම ස්ථානයට යන විටත් දහදෙනෙක් පමණ වාඩි වී සිටයෝය. එම පිරිසට ගාමිණී තමාගේ සුපුරුදු දේශනාත්මක පම්පෝරිය ගසමින් සිටියේය.
‘‘ඔයාලට කියන්න, මගේ ඇහැ දවසක් හොඳටම ඉදිමිලා තිබ්බා. එන අය බලනවනෙ මේ මොකෝ, මූට බැරිද මුගේ ලෙඩේ සනීප කරගන්න කියලා. මම කාටවත් ම කිව්වේ නැහැ. මට වෙන්න තිබ්බ ලොකු ඇක්සිඩන්ට් එකක් මම ඒ ඇහේ අමාරුවකට හරව ගත්තේ’’
ගාමිණීගේ මේ දේශනාවේ පළමු කොටසේ ඔහු කියන්නේ තමාගේ ළඟ ඇති විශ්ව ශක්තිය ලෝකයට පෙන්වීමට පටන් ගන්න කලින් සංඥා මගින් එය ලෝකයට පෙන්වූ බවයි.
‘‘මම එදා මට තිබ්බ ඇහේ අමාරුව මිනිස්සු ඉස්සරහ සනීප කරගෙන පෙන්නුවා. වැඩිය දෙයක් කළේ නැහැ. ඇහැට අත තිබ්බා දෙපාරක්, මම මටම ආශිර්වාද කරගත්තා. ඇහේ වේදනාව ඇදලා දැම්මා.’’
ඇස මතුපිට ඇති යමක් තමන්ගේ අතින්ම පිසදමන අයුරු පෙන්වමින් තමා තමාවම සුවපත් කරගත්තේ එලෙස යැයි ඔහු කියයි. ගාමිණී මෙලෙස මේ කතාව කියාගෙන යන අතරවාරයේදී ඒ කතාවට අඩුම කුඩුම එකතු කිරීමට දෙදෙනෙක් ඉදිරිපසම අසුන්ගෙන සිටිති. අවුරුදු 60 ක පමණ වියපත් පෙනුමැති මේ පිරිමි දෙදෙනා සමහර වෙලාවට අධි රංගනයට ගොස් වැඩේ අනාගන්නා අවස්ථාද කිහිපවරක්ම වුණි.
‘‘ඇයි අර කකුල බැන්ඩේජ් කරන් ආපු ගෑනු කෙනා. ඇයි අර පල්ලෙහා ගෙදර අක්කා’ ආදී වශයෙන් ඒ දෙදෙනා කතා කියද්දී බොහෝ අවස්ථාවල ඒ දෙබස සම්පූර්ණ කර ගැනීමට ගාමිණීට නොහැකි විය.
වෙලාව කෙමෙන් ගත වෙත්ම පැමිණෙන පිරිසද වැඩි විය. පිරිස වැඩි වනවාත් සමග ගාමිණීගේ උජාරුවද වැඩි වේ.
‘‘මේ දෙවියෝ ඉන්න භූමියට ආවම කවුරුත් ලොකු නැහැ. ජනාධිපති ආවත් මට ලොකු නැහැ. එයා ආවත් මම කියනවා පෝලිමේ ආපු විදියට එන්න කියලා.’’ගාමිණී කියන්නේ එම භූමිය දේව සභාව වැඩ සිටින පුණ්‍ය භූමියක් කියාය.
මිනිසුන්ට ලෙඩ රෝග වැලඳෙන ආකාරය පිළිබඳ ගාමිණී පැමිණ සිටින පිරිසට පැහැදිලි කරයි. ඒ පැහැදිලි කිරීම ඇරඹෙන්නේ රෝගීන්ට ඇප උපස්ථාන කරන වෛද්‍යවරුන්ට උන් ගෙම්බොනේ, උන්ගෙ ලෙඩත් මමනෙ සනීප කරන්නේ කියා බැණ වදිමිනි.
‘‘ලෙඩ හැදෙන්නේ වෙන මොන විදියකටවත් නෙවෙයි. මොකක් හරි ලෙඩක් හැදිලා මියගිය කෙනෙක් මළ පෙරේතයෙක් වෙලා අපේ ඇඟට ආවම අපිට ඒ ලෙඩේ හැදෙනවා. ඔය බැක්ටීරියා, වෛරස් කියලා කියන්නෙ නොදන්නකමට.’’
ගාමිණී එක හුස්මට කියාගෙන කියාගෙන යයි. ඉන්පසු ඔහුගේ කෙබර බෑමේ කොටස වෙන් වන්නේ කෙනකුට බුදුවන ආකාරය කියා දීමටය.
‘බුදු වෙනවා කියන්නේ බොරු නොකියා ඉන්න එකට. අපි කාටවත් බැහැනෙ බොරු නොකියා ඉන්න. ඉතින් අපිට බැහැ බුදු වෙන්න’’
මෙතැනදී නම් සහාය නළුවෝ දෙදෙනාගේ දෙබස් නියමෙට වැඩ කළේය. එක් කෙනෙක් ‘ඒකනේ දෙවි කෙනෙක් වුණත් වැඩක් නැහැනෙ පිං කරන්න බැහැ‘නේ කියද්දී අනෙක් කෙනා ‘මනුස්ස ආත්මයක් ලබන්න කොයිතරම් පිං කරන්න ඕනද නේ?’ කියා විමසීය.
ලද අවස්ථාවෙන් උපරිම ප්‍ර​යෝජන ගත් ගාමිණී අවස්ථා සම්බන්ධය අපූරුවට ගළපමින් ‘‘මේ මම ලෙඩ්ඩු සනීප කරන මගේ හතරවැනි ආත්මය’ යැයි පැවසීය. ඔහු කියන ආකාරයට ඔහුට මිනිසකු ලෙස ඉපිද තවත් ආත්ම ගණනක් දුක් විඳීමට ඇත. මේ දේශනාව අවසන් කරද්දී ගාමිණී කරන ප්‍රකාශය මිහිපිට වෙසෙන මිනිසකු විසින් කරයිද යන්න නැවත සිතා බැලිය යුතු මට්ටමේ එකකි. ඔහුට අනුව ඔහුගේ මව ශ්‍රී මහීෂා සුරමර්ධන දුර්ගා දේවිය. සෑම මොහොතකම ඔහු අම්මා කියා කතා කරන්නේ ඔහු කියනා ඒ දෙවියන්ටය. ගාමිණීගේ පියා ගම්භාර දෙවියන්ය. ගාමිණීට මේ බලය ලැබී ඇත්තේ ඒ දෙවිවරුන් දෙදෙනාට දාව ඉපදීම නිසාය. විස්මිත කරුණ නම් ගාමිණී කියන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා කතරගම දෙවියන් කියාය.
මේ ලෙඩ සනීප කරන ඒවා මට හරි සිම්පල් වැඩ. මගේ අම්මා දුර්ගාදේවි මෙතැන වැඩ ඉන්නවා.’ කියා කොටියෙක්ගේ ඇඟමත වාඩි වී දත් විලිස්සාගෙන සිටින විරූපී මුහුණක් සහිත කාන්තාවක් සිටින රූපයකට දෑත් එකතු කොට වැන්දේය. නාට්‍යයේ විවේක කාලයට විනාඩි පහළොවක් පමණ වැය වේ. ඒ අතර කාලය තුළ ගාමිණී මෙතෙක් වෙලා හපමින් සිටි බුලත් හපය විසි කොට ඇඳන් සිටි ස්කිනි බැනියමට උඩින් කමිසයක් දමාගෙන විත් රෙද්දක් එලා ඇති උස පුටුවක වාඩිවේ. පෝලිමේ එක එක්කෙනාට ලෙඩ සුවකර ගැනීමට එන්න කියන ඔහු රෝගය ඇති ස්ථානය අසා අපට පුරුදු කුංෆු, කරාටේ සටන් ශිල්පීන්ගේ අභිනයන් පාමින් ‘හරි දැන් ඔයාට සනීපයි’ යන්න කියයි.
පැමිණ සිටි කිසිවකුත් සුව වූවේත් නැත. ඒ අයට ඔහු කියන්නේ ‘‘මම දැන් අයින් කළේ ඇඟේ හිටපු බලවත්ම යක්කු හතර දෙනා. හෙට වෙද්දී සනීප වෙයි. ඉතුරු යක්කු ඉන්නේ ගෙදර. මම මේ දෙන ලැයිස්තුව අරන් ශාන්තිකර්මයක් කරමු කියාය. මේ ලැයිස්තුව ලබා දුන් අයකුගෙන් ලැයිස්තුවේ අඩංගු දෑ බලා ගැනීමට හැකි විය. පලතුරු වර්ග හතක්, කැවිලි වර්ග හතක්. නාග රූප හතරක්, ත්‍රිශූල හතරක් සහ ඇට වර්ග පහක් ලෙස එහි සඳහන්ව තිබුණි. තමන්ගේ බිරියගේ රෝග සුවපත් කර ගැනීමට ගාමිණී ළඟට ගොස් මුහුණ දුන් අත්දැකීමක් ලූෂන් මෙලෙස විස්තර කොට සිටියේය. ලූෂන් පවසන ආකාරයට ගාමිණී විසින් ලූෂන්ගේ බිරිය ඇතුළු කාන්තාවන් කිහිප දෙනකුව අනවශ්‍ය ආකාරයට ස්පර්ශ කිරීම් පිළිබඳ චෝදනා ලැබූවෙකි.
‘‘මගේ නෝනාගේ තිබුණා හඳුනානොගත් හිසේ කැක්කුමක්. වෛද්‍යවරුන්ගේ මූලික ප්‍රතිකාරවලින් සුවය නොලබපු නිසාත් විය පැහැදම් වන මුදල් වැඩි නිසාත් අපි ගියා මේ ගාමිණී කියන මනුස්සයා ළඟට. පළමුවෙනි දවසෙ කිව්වා මේ ඔක්කෝම ප්‍රශ්න ගෙදර ඉන්න යක්කු නිසා කියලා. දෙවැනි දවසේ කිව්වා ශාන්තිකර්මයක් කරන්න කියලා. ඒත් එයා මගේ බිරිඳ ළඟ හැසිරුණ විදිය මට ඒ තරම් ඇල්ලුවේ නැහැ. පස්සේ මම බිරිඳව එතැනට යන එක නවත්තලා තනියම ගිහිල්ලා බලන් හිටියා, දවස් කීපයක්ම. එයා පිරිමි අයට සහ වැඩිමහල් කාන්තාවන්ට ඉක්මනට ආශිර්වාදය ඉවර කරනවා. තරුණ කාන්තාවක් ආවම එයාගේ ඇඟ හැම තැනම අල්ල අල්ල ගොඩක් වෙලා ආශිර්වාද කරනවා.’’
ලූෂන් මෙන්ම ගාමිණීගෙන් යහපතක් බලාපොරොත්තුවෙන් ඔහුගේ දේවාලයට ගිය මීගමුවේම පදිංචි කුමාර තමන්ගේ අත්දැකීම විස්තර කළේය. ගාමිණීව කුමාරට හමු වී ඇත්තේ රියැදුරු මහතකු ලෙස දිගු කලක් සේවය කිරීම නිසා කොන්දේ හටගත් වේදනාවක් සුවපත් කර ගැනීමටය.
‘‘මම එතැනට ගියේ යාළුවෙක් කියලා. ගිය ගමන් කොන්දට ගහලා කිව්වා ඔක්කෝම ලෙඩ සනීපයි දැන් දුවන්න කියලා. මගේ වේදනාව පොඩ්ඩක්වත් අඩුවෙලා නොතිබ්බ නිසා මම කිව්වා දුවන්න බයයි කියලා. එතකොට එයා මට කිව්වා කොන්දෙ පෙරේතයෙක් ඉන්නවා. ශාන්තිකර්මයක් කරන්න කියලා. රුපියල් තිස්දහක් යනවා කිව්වා. මට යාළුවෝ ඔක්කෝම කිව්වා ඔය මනුස්සයා ගමේ ප්‍රසිද්ධයි, ඔහොම සල්ලි අරන් කියලා. ඒ නිසා මම බේරුණා. මම සනීප වුණේ සිංහල වෙද මහත්තයෙක් ළඟින් බෙහෙත් අරන්.
හොඳින් සොයා බැලීමේදී දැනගන්නට ලැබුණ කරුණ නම් ගාමිණීගේ නිවස අවට පදිංචිකරුවන් ඔහුට විරුද්ධ නිසා ගාමිණී විසින් ඔහුගේ නිවස අවට පදිංචිකරුවන් පාපිෂ්ටයන් බව පවසමින් ඔවුන් හරහා පැමිණෙන කිසිවකු මුණ නොගැසෙන බවයි. මෙහි සැබෑ කතාව ගාමිණීගේ බොරුව දන්නා අය ඔහුගේ නිරුවත හෙළි කරයි කියන බිය බව වටහා ගැනීම එතරම් අපහසු නැත.
මේ අතුරු කතා අතරේ විශ්ව ශක්තිය උරගා බැලීමේ මගේ වාරය එළැඹුණි. දෙවියෝ ඔච්චර තමන්ගේ නෑයා කියන ගාමිණීට මම කව්ද යන්න වග දේව සභාව ඔහුට කියා නොතිබිණි.
‘‘ඔයා මේ කාත් එක්ක හරි ආපු කෙනෙක් නෙවෙයිද?’ කියා ගාමිණී මගෙන් විමසීය. වවුලගෙ මඟුල් ගෙදර ගියා නම් එල්ලී හිටු කියන්නා සේ මම ඉතා ශාන්ත ලීලාවෙන් ඔහු අසලට ගොස් ඒ වෙලාවේ ඔළුවට ආපු මනස්ගාතයක් කියා දැම්මෙමි.
‘‘මම ක්‍රිකටර් කෙනෙක්. මැච් එකෙන් පස්සෙ දණිස්ස රිදෙනවා. දොස්තරලා කිව්වා සනීප කරන්න බැහැ කියලා. යාළුවෙක් කිව්වා ඔබතුමා සනීප කරයි කියලා.’’
ගාමිණී මට ඇස් පියාගන්න කියා මොකක්දෝ ශ්ලෝකයක් බඳු යමක් කියාගෙන කියාගෙන ගියේය.
‘‘හරි දැන් තිබ්බ ලෙඩේ මම අයින් කළා. හෙට ඉඳන් ඔක්කෝම හරි’ යැයි කීවේය. ඇස් දෙක විවෘත කෙරූ සැණින් ‘නැහැ. දැන් වැඩියෙන් රිදෙනවා’ කියා කීවෙමි. ආයෙත් ඇස් වසාගන්න කියා ගාමිණී අතක් උස්සා හිමින් හිමින් යමක් මිමුණුවේය.
‘‘ඇස් අරිනවා’’ කියා ඉතා සැරපරුෂ ආකාරයෙන් කියූ ගාමිණී දුර්ගා අම්මා පැමිණ මගේ කනට කියූ පණිවුඩය මේ හැමෝටම ඇහෙන්න කියා කීවේය. ගත්කටටම මම ‘‘මට මුකුත් කවුරුත් කිව්වේ නැහැ’’ කියා කීවෙමි. ගාමිණීගේ මුහුණ මඳක් අඳුරු වූ අතර මේ සැරේ මම වෙනුවට ඔහු ඇස් දෙක පියාගෙන සිටියේය.
‘‘මම දැන්නෙ දැක්කෙ ඇඟේ දේව වරමක් තියෙනවා. විසක් ශරීරයට කවලා නිසා පේන්නෙ නැහැ.’’ කීවේය. නැවත වරක් මට ඇස් දෙක වසා ගන්න කියූ ගාමිණී වටේ සිටි පිරිසට ‘මෙයා මේ වැනෙන්නේ අර ශාපය මම අයින් කරන නිසා’’ යැයි කියූ අතර මම කිසිම වැනීමක් නැතිව සිටි බවට මට සියයට සියයක් විශ්වාස වුණද එතැන සිටි කිහිප දෙනෙක් ඔව්.. ඔව් මෙයා වැනුණා තමයි කී නිසා නිහඬවම සිටියෙමි.
මට ඇස් දෙක අරින්න කියා බොරු කියන්න දෙයක් නැහැ. මම ශාපය අයින් කළා, දැන් සනීපයි. කකුල තුන් සැරයක් වේගෙන් පොළොවට ගහන්න’’ යැයි කීවේය. මම එය කළෙමි. මීටර් 10 ක් පමණ දුරින් පිහිටි ගේට්ටුව ළඟට දුවලා එන්න යැයි කීවේය. එයද මම කළෙමි. ඉන්පසු ගාමිණී බොහෝම ජයග්‍රාහී ලීලාවෙන් ‘හරිනෙ දැන් සනීපයි’නෙ කීවේය. මගේ පිළිතුර වූයේ ‘නැහැනේ සනීපයක් නැහැනේ’ කීමය. මම කුමන ආගමකට අයත් පවුලකදැයි ඇසූ ගාමිණී ඉන්පසු ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයාට එතැනට වඩින්න කියා ආරාධනා කළේය. මගේ කකුල සනීප කරන්න කියා තරමක් මහ හඬින් ශාන්ත සෙබස්තියන් මුනින්ද්‍රයාටද කියා සිටියේය. අනෙක් දෙවිවරු සේම එම මුනින්ද්‍රයාට ද ඔහු එන්න එන්න, යන්න කියා මිතුරකු සේම කතා කළේය. මම වෙනුවෙන් අධික වෙහෙසක් දැරූ ගාමිණී අවසානයේදී ඔහුගේ සුපුරුදු කතාවම කීය.
​‘දෙපාරක් විතර එන්න. හරි නොගියොත් යාතිකාවක් කරවමු. මම ලැයිස්තුව දෙන්නම්.’’ නාට්‍යය අවසානය තෙක් රැඳී සිටීමට මට තදබල අවශ්‍යතාවක් තිබුණද ආශිර්වාදය ලැබූ අය එතැනින් පිටවී යා යුතු නිසා එතැනින් පිටවීමි. කායික හෝ මානසික රෝග මෙන්ම දෛනික ජීවිතයේ ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට මිනිසුන් මෙවන් දහංගැටකාරයන්ගේ ගැටවලට හසු වීම ඉතා සුලබව දැකිය හැකිය.
සාමාන්‍ය මිනිසකු සේ මෙලොවට ඉපදී සාමාන්‍ය ආකාරයට හැදී වැඩුණු පසු තමාට නොපෙනෙන බලවේගයක් ඇතැයි පවසන සියලුම ඉන්ද්‍රජාලිකයන් පොළොවේ පස් කමින් එකම දේ පුනරුච්චාරණය කළද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිසිවකු විශ්ව ශක්තියෙන් හෝ මොනයම් ආකාරයේ නෙපෙනෙන බලයකින් රෝගයකින් සුවය ලැබූ බවක්වත් වෙන කිසිම ආකාරයේ ඇසට පෙනෙන කුහුඹු අණ්ඩක තරම් දෙයක් කරගත් බවට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නැත.

කලණ වීරසිංහ – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!