Gossip

“මේ ප්‍රශ්නය නිසා නාමල් උඩුගමටවත් ඔහුගේ පවු‍ලේ අයටවත් මඩගහන්න එපා” – අක්මාවෙන් කොටසක් දුන් ක්‍රිෂාන්ත ආයෙත් කියපු කතාව

අක්මාවේ ආබාධයක් හේතුවෙන් බරපතළ ලෙස රෝගීව සිටි ගායන ශිල්පී නාමල් උඩුගමට සිය අක්මාවෙන් කොටසක් ලබාදුන් ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් මීට සති දෙකකට පමණ පෙර මාධ්‍ය ඔස්සේ කරන ලද හෙළිදරව්වක් නිසා මේ දිනවල බොහෝ දෙනා නාමල් උඩුගම සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලාට දැඩි ලෙස චෝදනා නගනවා.

නාමල්ගේ සැත්කම සඳහා සිය අක්මාවෙන් අවශ්‍යවන්නේ 10ක කොටසක් පමණක් බවට මුලින් ‍පොරොන්දු වුවද, පසුව එය 68ක කොටසක් බවට පත් වූ බවත්, තමන් නාමල්ට සිය අක්මාවෙන් කොටසක් ලබාදුන්නේ ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කරමින් සිට රැකියාව අහිමිවූ තමන්ගේ රැකියාව නැවත ලබාදීමේ ‍පොරොන්දුව මත වුවත් නාමල් සහ රුවන්ති සැත්කමෙන් අනතුරුව ඒ ‍පොරොන්දු අමතක කළ බවත් ක්‍රිෂාන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

මෙම චෝදනාවලට නාමල් දුන් පිළිතුර ඇතුළත් ලිපියක් අපි පසුගිය සතියේ පාඨක ඔබ වෙත ගෙන ආවා. මෙවර අපි ක්‍රිෂාන්තව මෙසේ සංවාදයකට එක්කාසු කරගත්තේ ඔහුගේ හෙළිදරව්වෙන් අනතුරුව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඔහුටත් යමක් පවසන්නට තිබූ නිසයි.

නාමල් උඩුගම වෙනුවෙන් අක්මාවෙන් කොටසක් ලබාදීලා ඔහුව ජීවත් කරවපු ඔබ, ඒ සැත්කමෙන් වසර දෙකහමාරකට විතර පස්සේ කරළියට ඇවිත් කළ හෙළිදරව්ව ගැන අද වෙද්දී නොදන්නා කෙනෙක් නැතිතරම්. ඒ හෙළිදරව්වෙන් පස්සේ සමාජ ජාල වබේ අඩවිවලත්, ඉන් පිටතත් ඔබ වෙනුවෙන් හඬනගන අයට දැන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඒ හැමෝටම මට කියන්න තියන්නේ එක දෙයයි. ඒ තමයි මේ ප්‍රශ්නය නිසා නාමල් උඩුගමටවත් ඔහුගේ පවු‍ලේ අයටවත් මඩගහන්න එපා කියන එක.

හිතට එකඟවද ඔබ ඔය ඉල්ලීම කරන්නේ ?
ඇත්තෙන්ම ඔව්. මට නම් අමුතුවෙන් ඇතිවෙන්නවත්, නැතිවෙන්නවත් දෙයක් නැහැ. ඒත්, මේ සිදුවීම හෙළිවුණු දා පටන් ෆේස්බුක් හරහා එහෙම එල්ලවෙන විවේචන නාමල්ගේ සහ ඔහුගේ පවු‍ලේ උදවියගේ සමාජ තත්ත්වයට විශාල කැළලක්. මම ෆේස්බුක්වල පවා සටහනක් දාලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා ඒ අයට මඩ ගහන්න එපා කියලා.

ඔබ මේ ගැන රටට හෙළිකරපු නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදා වුණේ. ඒ හෙළිදරව්වෙන් බලා‍පොරොත්තු වූ දේ ඉටු වූ නිසාද ඔබ අද මෙවැනි ඉල්ලීමක් කරන්නේ?
මම විශාල හිත් වේදනාවකිනුයි හිටියේ. මට තිබුණු ලොකුම ගැටලුවක් වුණේ රැකියාව අහිමිවීම. නමුත් රැකියාවේ ප්‍රශ්නය විසඳේවි කියලා බලා‍පොරොත්තුවක් මට දැන් තියෙනවා. නාමල් ගැන මගේ හිතේ කිසිම තරහක් නැහැ. ඔහු හොඳින් ජීවත්වෙනවා දකින එකයි මගේ සතුට. මොකද ඔහුව යළිත් ජීවත් කරවන්න මමත් සම්මාදම් වුණා.

හැම දෙයක් ගැනම තොරතුරු කරළියට ආවාට පස්සේ නේද රැකියාවේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න මග පෑදුණේ ?
ඔව්. මම වැටිලා හිටපු තත්ත්වය ගැන ආරංචි වෙලා මාව ඔහු ළඟට ගෙන්වාගත් රංජන් රාමනායක ඇමැතිතුමා අහිමි වෙලා තිබුණු මගේ රැකියාව නැවත මට ලබාදීමට කටයුතු සකස් කරලා දුන්නා. රැකියාවක් සඳහා විදේශගතවෙලා සිටින මගේ බිරිඳත් නැවත ලංකාවට ගෙනැවිත් දෙන්න ඇමැතිතුමා මට ‍පොරොන්දු වුණා. ඒක මට ලොකු සහනයක්.

නාමල්ව මුණ ගැහිලා කතා කරලා ඔබේ අවශ්‍යතාවය කිව්වානම් මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග යන්නේ නැහැ නේද?
ශල්‍යකර්මය කළාට පස්සේ මගෙන් වැඩක් නෑ කියන ස්ථාවරයේ වගේ තමයි නාමල් සහ රුවන්ති හිටියේ. ශල්‍යකර්මයෙන් පස්සේ රුවන්ති මංගලා මට සලකපු විදිහෙන් මට ඒ බව තේරුණා. නාමල් එක්ක නම් මම වචන දහයකට වඩා කතා කරලා නැතුව ඇති. මොකද ඒ දවස්වල ඔහු හොඳටම අසාධ්‍යවෙලයි හිටියේ. ලංකාවට ආවාට පස්සේ නාමල්ට කතාකරන්න උත්සාහ කළත් මගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

නාමල් දන්නා හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන්වත් ඔහුව මුණගැහෙන්න බැරි වුණාද?
කලින් පදිංචි වෙලා හිටපු පළාතේ ‍නෙවෙයි ඔවුන් දැන් ඉන්නේ. අනික මම මධුමාධව අරවින්ද සහ ලක්ෂ්මන් හිල්මිටත් කතා කරලා නාමල්ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ඉල්ලුවාට ඒ අයගෙනුත් මට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ.

ඔබ අද ඔය විදිහට චෝදනා කළාට ඔබ වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල ඔහු ඉටු කළ බවයි නාමල් කියන්නේ. ඔබට මුදලින් ලක්ෂ 20ක් ලබාදුන්නා කියලාත් ඔහු කියනවා. ඇත්තද ඒ කතාව?
ඔය කියන මුදල් ලැබුණු බව මම පිළිගන්නවා. හැබැයි ඔවුන් මට බොහොම නරක විදිහටයි සැලකුවේ. ඉන්දියාවේ ඉඳන් ආපසු ලංකාවට එන්නවත් මට මුදලක් දුන්නේ නැහැ. සැත්කම නිසා අසනීපයෙන් හිටපු මගේ සහයට කවුරුවත් නැවැත්තුවේවත් නැහැ. තනියම ගේන්න අමාරු නිසා අන්තිමේදී මම මගේ ඇඳුම් පැළඳුම් පවා ඉන්දියාවේ දමලයි ආවේ. අනික ඒ වෙනකොට අත්හිටවලා තිබුණු මගේ රැකියාව නැවත ලබාගැනීම වෙනුවෙන් පැවැති නඩුවාරවලට මට යන්න බැරි වුණේ නාමල්ගේ සැත්කම නිසයි. මම නඩුවට පෙනී නොසිටි නිසා මට රැකියාව අහිමි වුණා. ඇත්තම තත්ත්වය කියලා නාමල්ලා ඒ ප්‍රශ්නයට මැදිහත් වුණා නම් මට මගේ රැකියාව මීට කලින් ලබාගන්න තිබුණා.

අක්මාවෙන් 68ක කොටසක් නාමල්ට ලබාදුන්නේ ඔබේ අනුමැතියක් නොමැතිවයි කියලා කියන්න බැහැ නේද?
අන්තිම මොහොතේ ඉන්දියාවේදී මට ඒ ඉල්ලීමට එකඟවෙන්න සිද්ධ වුණා. මොකද නාමල් ඒ වෙනකොට බොහොම අසාධ්‍ය තත්ත්වයකයි හිටියේ.

ඔබ දැන් නාමල්ගෙන් තවත් මුදල් බලා‍පොරොත්තු වෙනවාද?
නැහැ. මට දැන් ඔහුගෙන් මුදල් අවශ්‍ය නැහැ.

සැත්කමෙන් පස්සේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබ සැලකිලිමත් වුණේ නැද්ද?
සැත්කමෙන් පස්සේ මට හුඟක් අමාරු වුණා. ඒ ඇතිවුණු සමහර අසනීප තත්ත්වයන් තවමත් නතර වෙලා නැහැ. මට ආයෙමත් ඉන්දියාවට යන්න වේවි කියලා හිතලා මම සමහර වෛද්‍ය පරීක්ෂණ කරගත්තේ නැහැ. මොකද මම දැනගෙන හිටියා මට යළිත් ඉන්දියාවට ගිහින් ප්‍රතිකාර ගන්න තරම් වත්කමක් නැති බව.

සැත්කම කරන්න ඔන්න මෙන්න කියලා තිබියදී ඔබ නාමල් සහ රුවන්තිව අසරණ කළා කියන්නේ ඇත්තද?
මම රෝහලෙන් පැනලා ගියා කියලා ඒ අය මට චෝදනා නගනවා. පුළුවන්නම් ඒක ඔප්පු කරන්න කියලයි මට නාමල්ට කියන්න තියෙන්නේ. මොකද ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.

සැත්කම කළ කාලයේදීවත් මාධ්‍ය ඉදිරියට ආපු නැති ඔබ අවුරුදු දෙකහමාරකට පස්සේ ඇවිත් ඔහුට චෝදනා නගන්නේ යම්කිසි පටු අරමුණක් ඉටු කරගන්න හිතාගෙන කියලයි නාමල් උඩුගම දැන් කියන්නේ. මොකක්ද ඔබට ඊට දෙන්න තිබෙන පිළිතුර?
මම දන්නවා දැන් මට විවිධ විදිහේ චෝදනා එල්ල වෙන බව. අක්මාව විකුණුවා නේද කියලා අහලා පසුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියලත් මට දුරකථන ඇමතුමක් ලැබුණා. අනික නාමල් සහ රුවන්තිගේ පරණ තරහකාරයෙක් මගේ පිටුපස ඉඳගෙන මාව මෙහෙයවනවා කියලාත් මට චෝදනාවක් තියෙනවා. මට විවිධ පුද්ගලයෝ එක්ක ඩීල් තියෙනවා කියලාත් කියනවා. මාව කවුරුවත් මෙහෙය වූයේ නැති බව තමයි මට ඔය කියන චෝදනාවලට දෙන්න තියෙන පිළිතුර. මම මගේ දරුවෝ දෙන්නයි අවුරුදු 88ක් වයස අම්මා එක්කයි ජීවත්වෙන්නේ. ඕනෑම කෙනෙකුට තඹුත්තේගම මගේ ගෙදරට ඇවිල්ලා වුණත් හොයලා බලන්න පුළුවන් ඔය කියන විදිහේ සම්බන්ධතා මට තියෙනවාද කියලා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!