Gossip

“මේක තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි – රටේ තත්වයත් එක්ක තීරණය කරනවා ලංකාවේ තවදුරටත් ඉන්නවද කියලා” – හර්ෂ තෙන්නකෝන්

කලා ලොව තුළ ඔහු ඔහු ගේ ගමන හරි පරෙස්සමින් යන කෙනෙක්. චරිත සීයක් දෙසීයක් කරල නැතත් කරපු චරිත පොඩි ප‍්‍රමාණය ඔබට අදටත් එදා වගේම මතකයේ තියෙනවා අනිවාර්යෙන්. මීට දින කිහිපයකට ප‍්‍රථම ඔහු ගැන මාධ්‍ය තුළ කතාබහට ලක්වුණේ ඔහු කරන ලද වෙනස්ම ආකාරයේ ජායාරූප කිහිපයක් මාධ්‍යට මුදාහැරීමත් සමඟයි. ඔහු වෙන කවුරුවත් නෙවෙයි. ඔබ වඩාත් ආදරය කරන හර්ෂ තෙන්නකෝන්. මේ ඔහු සති අන්ත පුවත්පතක් සමග කළ කතාබහක්.

හර්ෂ ඉතිං කොහොමද ?
වරදක් නැහැ. හොදින් ඉන්නවා.

මොකද කරන්නෙ මේ දවස්වල ?
නාට්‍ය තුනක වැඩ කරගෙන යනව මේ දවස්වල. ඒකෙනුත් එක නාට්‍යයක් කල් ගියා රටේ පවතින තත්ත්වය නිසා. තව චිත‍්‍රපට දෙකක් කරන්න හිටියා. ඒ දෙකත් කල් ගියා. ඒ වැඩ ටික කරගෙන ඉන්නවා ඉතිං.

රංගනයට ඔබ ප‍්‍රවේශය ලබාගන්නේ වෙනත් අරමුණකට යනගමන්ද ? නැතිනම් ඔබ ඒ වෙනුවෙන්ම කැපවුණාද ?
ඇත්තටම නැහැ. රංගනයට එන්න මට පොඩි කාලෙවත් අදහසක් තිබුණේ නැහැ. මට මේ ක්ෂේත‍්‍රයේ සම්බන්ධතා තිබුණෙත් නැහැ. මම මගේ ජීවිතේ ගොඩක් අත්හදා බැලීම් කරපු කෙනෙක්. එහෙම ආපු ගමනක් මේක. මම මුලින්ම ඕඩියන්ස් එකේ ඉඳපු කෙනෙක්. එහෙම කලාවට තියෙන ආදරේ ලැදියාව නිසාම අහම්බෙන් නළුවෙක් වුණ කෙනෙක් මම. නළුවෙක් වීම තුළ මම ඒ ඔස්සේ මාර්ග ගණනාවක් හදාගත්තා සහ ඉගෙනගත්තා. අනික මම නළුවෙක් වෙන්නම කියල ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. මම මේ මාර්ගයට වැටුණම තමයි මේ ගැන ඉගෙනගන්න ගත්තේ.

මේ කෙටිකාලය තුළ ඔබ ළගා කරගත් සාර්ථකත්වය තුළ හිතේ යම් විශ්වාසයක් ගොඩනැගිලද තියෙන්නේ” රංගනය වෘත්තීය වශයෙන් තෝරගන්න ?
මම රංගනයට එන්නේ 2007 අගභාගේ වගේ. ඒ ඉදන් මේ වෙනකන් මම වෙන රැකියාවක් කරලා නැහැ. මගේ මේ හැමදෙයික්ම මම අද ළගා කරගෙන ඉන්නේ රංගනය නිසා. හැබැයි මට මේකෙම ඉන්න ඕනෑ කියල අදහසක් නැහැ සහ අනිවාර්යෙන් මේක කරන්නම ඕනෑ කියන අදහසේ මම නැහැ. රටේ මේ තියෙන තත්වයත් එක්ක නළුවෙක් විදියට ඉන්නවද කියන එකත් හිතන්න වෙලා තියෙනවා. මම හොඳට ඉගෙනගත්තා සහ වෙන රස්සා ඕනෑ තරම් හම්බවුණා. දැනට මම මේක තුළ ඉන්නවා. නමුත් අනාගතේ මොනවගේ තීරණයක් ගනීවිද දන්නේ නැහැ.

ඔබ ඉගෙනගත්ත දෙයින් යමක් කරන්න අදහසක් නැද්ද ?
මං හිතන්නෙ නැහැ ලංකාව වගේ රටක ඉගෙනගෙන එහෙම කරන්න පුළුවන්ද කියලා. ආර්ට් ඩිග‍්‍රි එක ඇතුළේ කරන්න තියෙන දේ හරි සීමිතයි. ඉගැන්වීමේ කටයුතු වලින් මම තෘප්තියක් ලබනවා වැඩමුළු වලින්. ඒ තෘප්තිය මම ලබනවා. අනික මම කැමැති නැහැ උදේ ගිහින් හවස එන ජොබ් එකක් කරන්න.

මොකද්ද මේ සමාජ මාධ්‍ය හරහා මේ දවස්වල දැඩි ලෙස සංසරණය වන ජායාරූප පෙළ ?
නෑ ඒක මගේ අදහසක් නෙවෙයි මගේ වයිෆ්ගේ අදහසක්. එයත් කලාවට ගොඩක් සම්බන්ධයි. එයාගෙ තමයි කන්සෙප්ට් එක සහ කොස්ටියුම්. සරසි නංගි තමයි ෆොටෝග‍්‍රැෆර්. මම ඒකට කරේ ට‍්‍රාන්ස්පෝර්ට් දෙන එක විතරයි. මම ඒකට සම්බන්ධවෙන්න නෙවෙයි හිටියෙ ඇත්තටම. සරසි නංගි තමයි කිව්වේ මටත් ෆොටෝ දෙක තුනකට ඉන්න කියලා. මට කොස්ටියුම් තිබ්බෙත් නෑ. එවෙලේ ඇඳන් ඉදපු ෂර්ට් එක ගලවලා තමයි මම ෆොටෝ ෂූට් එකට හිටියේ. ඒ හැර ඒක අපි තුන්දෙනා කරන්න හිටපු එකක් නෙවෙයි. පුතයි වයිෆුයි විතරක් කරන්න හිටපු එකක්. ඒ කන්සෙප්ට් එක සහ සියලූම දේ වයිෆ්ගෙ එකක්.

කොහොමද ඒකට ලැබෙන ප‍්‍රතිචාර ?
ඇත්තටම විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් තියනවා. මරු මරු කියල කියනවා. විවේචන මුකුත්ම ආවේ නැහැ ඒකට. මීට වඩා ලිබරලි කරන්න තිබුණ නම් හොඳයි. නමුත් ලංකාව වගේ රටක මීට වඩා එහා යන්න අමාරුයි ෂූට් එකේදි. ඒක කරන්න බැහැ.

කොහොමද ඉදිරි සැලසුම් ?
රංගනය පැත්තෙන් නම් කරන්න ගොඩක් වැඩ තියෙනවා කතාකරලා. කොහොම වුනත් නළුවෙක් විදියටම මේක ඇතුලේ ඉන්න මගෙ අදහසක් නැහැ. ඇත්තටම අපි මේ රටේ තත්වයත් එක්ක තීරණය කරනවා ලංකාවේ තවදුරටත් ඉන්නවද කියලා. දරුව ගැන හිතල ඒ තීරණය ගන්නවා.

රටින් යන්න අදහසක් තියනවද ඒ කියන්නේ ?
ඇත්තෙන්ම අපි ප්ලෑන් කරගෙන යනවා දරුව ගැන හිතලා. මොකද මේක තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි කියල අපිට තේරුම් ගිහින් ඉවරයි. මේක කවදාවත් මීට වඩා වෙනස් වෙන රටකුත් නෙවෙයි. මේ ලෝකෙ ගැන මේ සිස්ටම් එක ගැන දන්න දෙන්නෙක් විදියට අමාරුවෙන් මෙහෙම ජීවත්වෙන එකේ තේරුමක් නැහැ. නමුත් රටට ආදරෙයි හැම තිස්සේම. මේ වගේ රටක් නෑ ලෝකෙ කොහේවත්. නමුත් මේක ඉවරයි දැන්. දුකයි ඉතිං.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!