Gossip

මුල්කාලයේ ඉඳලම ඒ වගේ ඉල්ලීම් ආවා – මට පෙම්වතෙක් ඉන්න බව දැන දැනත් සමහරු ඒ වගේ යෝජනා ගේනවා – ඉමායා ලියනගේ

නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ පැලඳි ඉමායා මුතුකුඩ ටෙලි නාට්‍යයේ සකුන්තලා මැණිකේගේ චරිතයෙන් මේ දවස්වල රසික ප්‍රසාදය දිනාගෙන තියෙනවා. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

ඉමායා මේ දවස්වල මොනවද ඔබේ වැඩකටයුතු?
මුතුකුඩ නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. අලුත් චිත්‍රපටයක රූගත කිරීම් ජනවාරි මාසයේ මැද සතියේ පටන් ගන්න නියමිතයි. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදියට වැඩකටයුතු කරනවා.

පසුගිය කාලයේ ඔබ විශේෂ කටයුත්තකට විදේශ ගතවුණා. ඒ ගැන සඳහන් කළොත්?
මම ඉතාලියට තමයි පසුගිය කාලයේ ගියේ. ඒ තරගයක විනිශ්චය මණ්ඩලයට සහභාගි වෙන්න.

මුතුකුඩ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය සකුන්තලා මැණිකේ. කොහොමද සකුන්තලා මැණිකෙට ලැබෙන ප්‍රතිචාර?
ලොකු ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයන්ගෙන් මේ චරිතයට ලැබෙනවා. මඟතොටේදී වුණත් මාව ජනතාව හඳුනාගන්නේ සකුන්තලා මැණිකේ විදියට.

සකුන්තලා මැණිකෙගේ චරිතය නිරූපණය කිරීම ඉමායාට අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම මේ චරිතය නිරූපණය කරන එක මට ලොකු අභියෝගයක් වුණා. මේ අපේ රටේ ඉතිහාසය ගැන කියැවෙන කතාවක්. ඉතිහාසයේ හිටපු වීර චරිත ගැන කියැවෙන නිසා මේ චරිතය ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනෑ. ඉතිහාසය ගැන අවබෝධයක් තමන් තුළ තියෙන්න අවශ්‍යයි මේ චරිත කරන කොට. මේ චරිතයට මම ගොඩක් කැමැතියි. මොකද සකුන්තලා මැණිකේ චරිතය තුළ විවිධත්වයක් තියෙන නිසා.

රැල්ලේ යන චරිතවලට වඩා වෙනස් හැඩයක් ගන්න ඉමායා කැමැතියි වගේ?
මම කැමැතියි සකුන්තලා මැණිකේ වගේ ඉතිහාසයේ වීර චරිත නිරූපණය කරන්න. ඒ ගැන කැමැත්තක් ඇති වුණේ මුතුකුඩ ටෙලි නාට්‍යය නිසා. ඒකාකාරී චරිතවලට වඩා මේ වගේ වෙනස් ආරක චරිත නිරූපණය කරන එක සතුටක්. මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් විදියේ චරිතාංග නිරූපණය කරන්න ආසයි.

ඔබ එක නාළිකාවකට විතරක් සීමා වෙලා කියලා සමහරු කියනවා?
මම දෙරණ නාළිකාවට විතරක් සීමා වෙලා නෑ. ‘අංකල් සෑම්’ ටෙලි නාට්‍යය තමයි මගේ පළමුවැනි ටෙලිනාට්‍යය. එය විකාශය වුණේ දෙරණ නාළිකාවේ. මුතුකුඩ ටෙලි නාට්‍යයත් දෙරණේ විකාශය වෙන්නෙ. හැබැයි මම දැන් දෙරණ නාළිකාවට සීමාවෙලා කියලා කියන්න බෑ. මම ක්ෂේත්‍රයට ආවේ දෙරණ තුළින්. මම දෙරණින් ආපු කෙනෙක් විදියට හැමදාමත් ඒ ගෞරවය දෙරණට දෙනවා.

ඉමායා දකින්න ලැබෙන්නේ සීමිත නිර්මාණ ප්‍රමාණයක. ඉමායාට වැඩ ගොඩක පෙනී සිටීමේ වුවමනාවක් නැද්ද?
නැහැ. මම වැඩ ගොඩක් බදාගෙන කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම ගෙදරට වෙලා ඉන්න තමයි ගොඩක් කැමැති. නුවර, මාතලේ ප්‍රදේශවල තමයි සකුන්තලා මැණිකේ රූගත කිරීම් කරන්නේ. ඒ නිසා ටිකක් අමාරුයි. ඒ වගේ දුර බැහැර ප්‍රදේශවල රූගත කිරීම් එක්ක ගොඩක් කාර්යබහුල වෙන්න මම කැමැති නෑ.

ඔබ දැන් පෙම්වතියක්නේ?
ඔව්. මම පෙම්වතියක්.

හිටි හැටියේ පෙම්වතා ගැන සමාජ මාධ්‍යවලින් එළිපිට කතාකරන්නේ පෙම්වතා බල කරන නිසාද නැත්නම් වෙනත් අයගෙ ප්‍රේම ආරාධනාවලින් මිදෙන්නද?
කොහෙත්ම එහෙම දෙයක් නෑ. මගේ පෙම්වතා කිසිම බලපෑමක් කරන්නෙ නෑ. අපේ ආදරය ගැන හැමෝටම කියන්න කියලා. මගේ ආදරය පටන් ගත්තේ සාමාන්‍ය පෙළ කරන කාලෙදි. දීර්ඝකාලීන සම්බන්ධයක් මේක.

විවාහ වෙලා කියන්න පෙම්වතියක් කියලා කියන්න සමහරු පැකිළෙනවා. ඉමායා එහෙම නැද්ද?
සමහරු හිතනවා තමන්ගෙ පෙම්වතා ගැන කීවොත් ජනප්‍රියත්වය අඩුවෙයි කියලා. හැබැයි මම එහෙම හිතන කෙනෙක් නෙවෙයි. ඕනෑම මාධ්‍යයකට මම මගේ ආදරය ගැන කියනවා. අවංකව ආදරය කරනවා නම් හංගන්න වුවමනාවක් නෑ. මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ ආදරය කරන්න ඕන අපේ චරිත නිරූපණවලට මිසක් අපේ පෞද්ගලික ජීවිතේට නෙවෙයි.

වෙනත් තරුණයන්ගෙන්, ක්ෂේත්‍රයේ අයගෙන් ඔබට ප්‍රේමාරාධනා ලැබෙනවද?
ඔව්. මම මිස් ශ්‍රී ලංකා වුණු මුල්කාලයේ ඉඳලම ඒ වගේ ඉල්ලීම් ආවා. සුහදශීලව මම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. මට පෙම්වතෙක් ඉන්න බව දැන දැනත් සමහරු ඒ වගේ යෝජනා ගේනවා.

මොනවද ඉදිරි සැලසුම්?
රංගන ක්ෂේත්‍රයෙන් මම හොඳම නිළිය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් කරන්නත්, විවාහ වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!