Gossip

“මිනිහෙකුට ජීවිතේ හරියන, වරදින පසුතැවෙන තැන් ඕන තරම් තියෙනවා. මිනිහෙකුට හරියන්න වරදින්න ඕන” – පුවත් මැවූ ජනප්‍රිය නළු රොෂාන් සහ රිද්මාගේ අලුත්ම කතාව මෙන්න

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්.
රොෂාන් සහ රිද්මාගේ ආදර කතා අපිට නිතරම වගේ අහන්න දකින්න ලැබෙනවා.
ඒ තරමටම ඔවුන් දෙදෙනා ආදරෙන් තමයි ජිවත් වෙන්නේ.
රොෂාන්ගේ අලුත්ම වැඩ ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට රොෂාන් කියලා තිබුණා.

මොනාද මේ දවස්වල අලූත් වැඩ?
නාට්‍ය තුනක මේ දවස්වල වැඩ කරගෙන යනවා. අලූත් වැඩ කිහිපයකුත් ඉදිරියට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා.

රොෂාන් කොහොමත් නිතරම වැඩ පෙන්නපු චරිතයක් නේ…?
හොඳ පිටපතක් ලැබෙනවානම් වැඩ පෙන්වන්න කට්ටිය ඕන තරම් ඉන්නවා.

මෙගා රැල්ලට නොගිහින් රංගන වෘත්තිය රැකගන්න පුළුවන් ද?
අපේ රටේ කෙටි නාට්‍ය නිර්මාණයන් බිහිවෙනවා හරිම අඩුයි. මම වැඩියම කැමති මේ ක්ෂේත්‍රයට කියලා මම වෙන්කරලා නැහැ.
මට ලැබෙන හොඳ ඕනම නිර්මාණයක් මම භාරගන්නවා. මම වැඩිපුර කැමති සිනමාවට. පුංචි තිරයට කිව්වට මට එහෙම එකක් නැහැ.
ඒ විදිහට බෙදුවොත් වැඩ කරගන්න අමාරුයි. කලාව කියන්නේ වෘත්තියක් කියලා ගොඩක් අය හිතාගෙන හිටියට කලාව කියන්නේ වෘත්තියක් නෙමෙයි…
මිනිස්සු රඟපාන්නේ ආසාවට. ලංකාවේ කලාව වෘත්තිය මට්ටමක නැහැ. කලාවට ජාතික ප්‍රතිපත්තියක් දෙන්න ඕන.
අන්න එදාට කලාව වෘත්තියක් වේවි. ලංකාවේ කලාකරුවන් සම්බන්ධව වෘත්තිමය රෙගුලාසි නැහැ.
කතාව යන අතරමැද නළුවා මැරුණොත් කතාව වෙනස් කරනවා. ඕක තමයි ලංකාවේ රඟපෑම. උදේ නැගිටලා මම අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් නිළියක් කියලා ගෙදරින් එළියට බහින්න පුළුවන් එකම රට ලංකාව. කියනවා විතරයි සහතිකයක් අනන්‍යතාවයක් නැහැ.
කලාව කියන්නේ හිතූ හිතූ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

රංගන කාර්යබහුලත්වයත් එක්ක දැන් රොෂාන්ට සංගීතය අමතක වෙලාද?
අමතක කරලා නම් නෙවෙයි. ඉස්සර වගේ දැන් සංගීතයට කාලය වෙන්කරන්න අමාරුයි.
මේ කාලසීමාව තුළ නම් පූර්ණකාලීනව කාලය යොමු කරලා තියෙන්නේ රංගනයට.
ගෙවුණු ජීවිතේ නම් මම ලොකු කාලයක් සංගීතයට කැප කළා.
විදෙස් ප්‍රසංගවලට සහභාගි වුණා. ඒත් ඇත්තටම දැන් මම ගායකයෙක් නෙමෙයි. විනෝදයට ගීතයක් කිවුවොත් ඇරෙන්න වෘත්තිය මට්ටමින් ගායනයට එන්න කැමැත්තක් මට නැහැ.

රොෂාන්ම ආදරේ කරපු රොෂාන් ඇතුළේ ඉඳපු ගායකයාගෙන් ඈත් වෙන්න හිතුවේ ඇයි?
මා තුළ ඉඳපු ගායකයාට මම අදටත් ආදරෙයි. ඒත් මම ප්‍රසංග වේදිකාවල කාර්යබහුල චරිතයක් වෙන්න කැමති නැහැ.
ගායකයෙක් වෙනවට වඩා වෘත්තිමය නළුකමට මම කැමතියි.

පසුගිය කාලේ ඔබත් සමාජ වෙබ් අඩවිවල ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් වුණා?
ඔව්, මම බොහොම නිහඬව ඒ දේවල් බලාගෙන හිටියා. මොකද රටේ පළමු පුරවැසියවත් මේ වෙබ් අඩවි විහිළුවකට ගන්න රටක අපි ගැන කවර කතාද?
වෙබ් සයිඞ් කරන ඒ තරුණයෝ දක්ෂයි. රස්සා නැති රටක ඒ විදිහට දක්ෂතා පෙන්නලා කීයක් හරි හම්බ කරගන්න එක ගැන මම සතුටු වෙනවා.

වෙනස් වුණු රොෂාන්ගේ ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
ඇත්තටම මගේ දෙවැනි විවාහය ජීවිතේ ගත්ත වැදගත්ම සහ නිවැරදිම තීරණය කියලා හිතනවා. දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුද්දක්.
බොහොම සතුටින් අපි දෙන්නා ජීවිතේ ගතකරනවා. රිද්මා කියන්නේ මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. මිනිහෙකුට ජීවිතේ හරියන, වරදින පසුතැවෙන තැන් ඕන තරම් තියෙනවා. මිනිහෙකුට හරියන්න වරදින්න ඕන. ජීවිතේට ලැබෙන දේවල් ගැන සතුටුවෙනවා. දේවල් නොලැබුණා කියලා දුක් වෙන්නෙත් නැහැ.

විවාහයෙන් පස්සේ බිරිඳ රංගනයෙන් ඈත් වෙලාද?
මගේ මිතුරෙකුගේ නිර්මාණයකට ඇය දායක වුණා. ඒත් ඇය දිගටම රඟපාන්න ලොකු කැමැත්තක් නැහැ. රඟපාන්න එපා කියලා මම නීති දාලා නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඇය රංගනයේ දිගටම රැඳේවි.

හැමදාමත් රඟපාලම විතරක් මදි කියලා හිතෙන්නේ නැද්ද? අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට යොමු වුණොත්?
නිෂ්පාදනය පැත්තෙන් මම වැඩ කිහිපයක් කරලා තියෙනවා. ඉදිරියටත් නිෂ්පාදනය පැත්තෙන් වැඩ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒත් අධ්‍යක්ෂණයට නම් කවදාවත් එන්නේ නැහැ. වාහනයකට රියදුරු බලපත්‍රයක් ගත්තා කියලා හැමෝටම වාහනේ එන්ජිම හදන්න බැහැනේ. ඒ ඇන්ජිම හදන්න මම ඉගෙන ගත්ත දවසට මම අධ්‍යක්ෂණයට එනවා. නොදන්න වැඩ කරන්න මම කැමති නැහැ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!