Gossip

මහා සිනමාවේදියාගේ සම්මානය බස් රථයක තිබී හමුවෙයි

 

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද (05) උදෑසන කොල්ලුපිටියේදී සුඛෝපභෝගී මගී බස් රථයක තිබී මෙම සම්මානය සොයාගත් බවයි.

මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී මෙම සම්මානය හමුවී තිබෙනවා.

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් ඔහුට හිමි වූ යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.

එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ අවමංගල්‍ය දිනයේදී පටිගත කෙරුණු වීඩියෝ දර්ශනද මේ වන විට පරීක්ෂාවට ලක් කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඊයේ දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයට විමර්ශන කටයුතු භාර දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති අතර, අවමංගල්‍ය කටයුතු සිදුවන දිනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසේ දුරකථනයක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කරන ආකාරය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරි සරනවා.

අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම සම්මානය නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද උපදෙස් ලබාදුන් අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ කටයුතු ද සිදුකෙරෙනවා.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්වූ බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!