Gossip

මව්බිමේ නාමය ලොවට කියන්නට ජාතික ධජය සටහන් කර යතුරුපැදි එන්ජිමකින් Formula මෝටර් රියක් තැනූ ඉසුරු

ඉසුරු චතුරංග මේ වනවිට වයස අවුරුදු 22ක තරුණයෙකි. ඔහු ඇඹිලිපිටිය, ලියනෑගම ප්‍රදේශයේ ජීවත් වෙමින් එහිම පාසල් ත්‍රිත්වයකින් මූලික අධ්‍යාපනය හදාරා ඇත.
පාසල් අධ්‍යාපනය නිම කළ මේ තරුණයාගේ සිත කුඩා කල සිටම මෝටර් රථ කාර්මික අධ්‍යාපනය වෙත නැඹුරු වී තිබීම නිසාම ඔහුගේ දෙමාපියන් මාතර මැද්දවත්තේ පිහිටි කාර්මික විද්‍යාලය වෙත යොමු කරවනු ලබයි. පියාද ගුරුවරයකු බැවින් අධ්‍යාපනයේ ඇති වටිනාකම කුඩා කල සිට වටහාගෙන සිටි ඉසුරු එහිදී මෝටර් රථ කාර්මික අංශයෙන් NVQ 4 වැනි මට්ටම දක්වා සාර්ථක අයුරින් අධ්‍යාපනය ලබයි.
ඉන් ඔබ්බටද පිය මනින ඉසුරු NVQ 5 වැනි මට්ටම හැදෑරීමටද මේ වනවිට සැලසුම් කර ඇත. ඒ අතරම මෙතුවක් කල් තම සිතේ පැවති මෝටර් රථයක් නිර්මාණය කිරීමේ සිහිනය සැබෑ කරගන්නේ මෙතෙක් උගත් කාර්මික දැනුමෙන් නිසි ප්‍රයෝජනයක් ගනිමිනි.
‘‘මම කුඩා කාලෙ රූපවාහිනියේ දැකලා තියෙනවා මෝටර් රථ තරගවල ධාවනය කරන ෆෝමියුලා රථ. ඒ කාලේ මටත් හරි ආසාවක් තිබුණා ෆෝමියුලා රථයක් එළවන්න. ඒ විදිහේ රථයක් හදන්න ඕනෑ කියන හැඟීම සෑහෙන කාලෙක ඉඳන් හිතේ තිබුණා. අපි සාමාන්‍ය මෝටර් රථ පැදලා තිබුණට වාහනය ඇතුළේ බැහැලා යන විදිහේ රථයක් ධාවනය කරන්න මට හරි ආසාවක් තිබුණා. ඔටෝමොබයිල් පාඨමාලාවකුත් මේ වෙනකොට මම හදාරලයි තිබුණේ. ඒ දැනුමත් එක්ක තමයි මේක හදන්න පටන් ගත්තේ.
මම ම තමයි මේ​කේ මූලික අනුරුව පවා හැදුවේ. යාළුවොත් විවිධ අයුරින් උදව් කළා.
මේ රථයේ එන්ජින් ධාරිතාව 125 cc, සිලින්ඩර් දෙක යතුරුපැදි එන්ජිමක් තමයි භාවිත කළේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ රථය වංගුවක් හරවද්දී නැවත සුක්කානම පෙර තිබූ තැනටම එනවා. ඒ කියන්නේ වාහනය විසින්ම නැවතත් සුක්කානම හරවපු පැත්තට ප්‍රතිවිරුද්ධව කරකවා ගන්නවා අපේ කිසිදු සහායක් නැතිව. ඒ වගේම රෝද සියල්ලටම තියෙන්නේ ඩිස්ක් බ්‍රේක්. මේකට භාවිත කරපු ෂොක්ස් එහෙමත් යතුරුපැදියකට භාවිත කරන ඒවා.
මේක හදද්දි මට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි අවශ්‍ය මුදල් සොයා ගැනීම. මේ රථයේ මූලික දේවල් අවසන් කරන්න මාස තුනක් පමණ ගතවුණා. ඊට පස්සේ ඒක වැඩිදියුණු කරගන්න තවත් මාස 6-7ක් ගියා. ඒ එක්කම තමයි මේ කොවිඩ් වසංගතයත් ආවේ. ඒ නිසා ටිකක් කාලය ගතවුණා දැන් මේ තියෙන මට්ටමට නිම කරන්න.
දැනට මේ රථය කි.මී. 70ක වේගයකින් ධාවනය කරන්න පුළුවන්.
මේක මේ තත්ත්වයෙන් අවසන් කරන්න මට මේ වෙනකොට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වියදම් වෙලා තියෙනවා.
මේ මම හදපු පළමුවැනි මෝටර් රථය නෙවෙයි. ඇත්තටම මීට කලිනුත් එකක් නිෂ්පාදනය කළා. හැබැයි ඒක බොහොම සරල එකක්. පස්සේ ඒ රථයේ කොටසුත් මේකට ප්‍රයෝජනයට ගත්තා. මේ වාහනය හදන්න මට මගේ අම්මයි, තාත්තයි තමයි මුදල් වියදම් කළේ. ඒ වගේම මගේ ළඟින්ම ඉන්න යාළුවො සමහර අවස්ථාවල මට අවශ්‍ය භාණ්ඩ ගෙනැත් දුන්නා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට ඒ කරපු උපකාරවලට.’’
සිය සිහිනය මල්ඵල ගැන්වීමට උපකාර කළ සියලු දෙනා වෙනුවෙන් ඉසුරු තවත් විශේෂ කාර්යයක් සිදුකර ඇත. ඒ ඔවුන් සියලු දෙනා වෙනුවෙන් රථයේ බඳෙහි ස්තුති වැකියක් ප්‍රදර්ශනය කර තිබීමය. එමෙන්ම එහි තවත් කොටසක මව්බිමේ නාමය ලොවට කියන්නට ජාතික ධජය සටහන් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!