Gossip

මරණ වැඩිවෙන්නේ ඇයි..? බ්‍රැන්ඩික්ස් පොකුරේ සිට මාළු පොකුර දක්වා ඇතුළාන්තය මෙන්න – Photos

මේ වන විට ලොව පුරා පුද්ගලයන් හාර කෝටි දෙලක්ෂයක පමණ පිරිසක් ආසාදිතයන් බවට පත්කර තිබෙන කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දෙවැනි රැල්ල ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවද ගොදුරු කරගනිමින් සිටී. දෙවැනි රැල්ල ව්‍යාප්තියේ හතර වැනි සතිය අවසානයේ පසුගිය 30 වැනිදා වන විට මෙරට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9791ක් වී තිබූ අතර මරණ සංඛ්‍යාවද 19 දක්වා ඉහළ ගොස් තිබිණ. මෙතෙක් මෙරට වාර්තා වූ වැඩිම කොවිඩි 19 ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 24 වැනිදා වාර්තා වූ අතර එම සංඛ්‍යාව 865කි.

ඒ අතර බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් වාර්තා වූ කොවිඩ් පොකුර 5899 දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ සංඛ්‍යාව 4142ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5630කි. මරණ සංඛ්‍යාව 19කි. ගතවූ දින කිහිපය තුළ වයිරසයේ ප්‍රබල ව්‍යාප්තියක් දැකිය හැකි වූ අතර එම දින කිහිපය තුළ කොවිඩි 19 වයිසරස රට පුරා පැතිර ගොස් තිබුණේ මේ ආකාරයෙනි.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් හත් දෙනකුට සහ මවුවරුන් තිදෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වූයේ පසුගිය 26 වැනිදාය. ඔවුහු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවද හෙළි විය. කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ දින 8ක් තුළ සිදු කළ PCR පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. ඒ පසුගිය දින හත ඇතුළත වාර්තා වූ ආසාදිතයන් 956 ක් සහ 27 වැනිදා පමණක් වාර්තා වූ ආසාදිතයන් 180 සමඟය. මට්ටක්කුලිය සමිට්පුරයෙන් ආසාදිතයන් 20ක් හමුවීමත් සමඟ එම ප්‍රදේශයද හුදෙකලා කෙරිණ.

අසාදිතයන් අතර මාස 06ක හා 09ක බිළින්දන්

රත්නපුර පලාබැද්දල ප්‍රදේශයේ ගිලීමලේ, උතුරුගිලීමලේ , දකුණු ගිලීමලේ, කැටවල, ශ්‍රී පලාබද්දල, මල්වල, සිරිපාගම, ඇඹුල්දෙණිය සහා මාතලාන යන ග්‍රාමසේවා වසම් 09 පසුගිය 26 වැනිදා සිට හුදෙකලා කරනු ලැබුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයකු ඇතුළු ඔහුගේ පවුලේ 07 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය. අසාදිතයන් අතර මාස 09 ක බිලිඳකු ද සිටින බවද වාර්තා විය. ඊට අමතරව මෙරට ළාබාලතම කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වූ‍ෙය්ද පසුගිය 24 වැනිදා රාගම රෝහලිනි. ඒ, මාස 6ක් වයසැති බිලිඳියකි. ඇයගේ සීයා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයෙකි.

වේල්ලවීදිය පොලිසියේ භෝජනගාර පාලකවරයා ලෙස කටයුතු කළ කොස්තාපල්වරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා එම පොලිස් ස්ථානයේ 12 දෙනකු නිරෝධායනයට යොමු කර පොලිසියට ඇතුළුවීම හා පිටවීම තාවකාලිකව නවතා දැමීමට බලධාරිහු කටයුතු කළහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ 30 වැනිදා වන විට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 10දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 43දෙනෙකුට කොවිඩ් 19 වයිසරය ආසදනය වී ඇති බවයි. ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 893 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත සහ තවත් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද අනාවරණය විය. පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධාරියකුට ද කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් 26,27 දෙදින පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නතර කොට පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරනු ලැබිණ. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර 26 වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමුණේද වංසගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය.

පාණදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී පාණදුර උතුර සහ දකුණ යන ප්‍රදේශවල නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගනු ලැබුවේ පසුගිය 27 වැනිදාය. ඒ අනුව පාණදුර, කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණය හුදකලා කරනු ලැබිණ. 27 වැනිදා උදෑසන වන විට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාසය තුළින් කොවිඩ් 19 ආසාදිතයන් 116 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර කළුතර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 5ක් වෙන්කර ඇති බවද වාර්තා විය. ගම්පහ දිස්ත්‍රික්කයේ ද කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහල් දෙකක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළේය. මේ අතර හැටන් නගරය ආශ්‍රිතිව කොවිඩ් 19 නව ආසාදිතයන් 10 දෙනකු හඳුනාගැනීත් සමග පසුගිය 27 වැනිදා සිට හැටන් නගරයද හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. එම ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයන්ය. 27 වැනිදා රාත්‍රියේ සිට මොරටුව, හෝමාගම, පාණදුර උතුර සහ පාණදුර දකුණ, යන පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවේ එම ප්‍රාද්ශවලින්ද ආසාදිතයන් වාර්තා වෙමින් තිබූ නිසාය. කොවිඩ් 19 වයිසරයට ගොදුරු වූවන් අතරින් එකම දිනයකදී මරණ 3ක් වාර්තා වීමේ අවාසනාවන්ත පුවත අසන්නට ලැබුණේද පසුගිය 27 වැනිදාය. එසේ මිය ගියේ ජාඇල පදිංචි සිටි අවුරුදු 41ක් වයසැති සිරෝසිස් රෝගයෙන් පෙළමින් සිටි අයකු, කොම්පඤ්ඤවීදිය වෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවිරිදි “විශේෂ අවශ්‍යතා සහිත” තරුණයෙකි.

කොවිඞ් 19 ආසාදිත පුද්ගලයන් වාර්තා වීමත් සමඏ මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශවලට සංචරණ සීමාවන් පැනවීමට මාවනැල්ල සෞඛ්‍ය බලධාරින් කටයුතු කළේ පසුගිය 27 වැනිදාය. එදින දහවල් වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඞ් 19 ආසාදිතයන් 38 දෙනකු වාර්තා වූ අතර නිරෝධායන වෙමින් සිටි සංඛ්‍යාව 1936කි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 27 වැනිදා වන විට 5395ක් විය. 27 වැනිදා පමණක් හඳුනා ගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 457 කි.

කොවිඩ් දෙවැනි රැල්ල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු විටින් විට අසන්නට ලැබිණ. යුක්‍රේනයේ සිට පැමිණි ගුවන්යානා කාර්ය මණ්ඩලයක් ඊට හේතුවී ඇති බවටද පුවත්පත් වාර්තා පළ විය. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර මූලික ප්‍රගති වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර නිර්මාණය වීමට මුල් වූ හේතු පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් කඩිනමින් ඒ පිළිබඳ සත්‍යය අනාවරණය වෙතැයි විශ්වාසය පළ කරන බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගිය පාණදුර නගර සභාවේ සභාපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 ආසාදනය වී ඇති බව 28 වැනිදා තහවුරු විය. ඊට අමතරව වාද්දූවේ පදිංචි යුද හමුදා සිවිල් සේවකයකුටද කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර

අදාළ ආසාදිතයා වෙනත් ස්ථානයකින් PCR පරීක්ෂණයක් සිදුකර ඒ බව නොදන්වා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කළුතර, නාගොඩ රෝහලට පැමිණ තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරුකර යවා ඔහු රඳවා සිටි වාට්ටුව මුළුමනින්ම විෂබීජහරණයට ලක්කර තිබේ. මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට ගිය ගිය ජා-ඇල සහ කඳාන ප්‍රදේශවල වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් 73කට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමඟ 27 වැනිදා රාත්‍රියේදී ඔවුන් රෝහල්ගත කෙරිණ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආරම්භ වූ කොවිඩ් පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිත පුද්ගලයකු වටගොඩ වත්තේ යොක්ස්පෝඩ් කොටසින් හමුව ඇති අතර එම ආසාදිත පුද්ගලයා වටගොඩ නගරයේ බොහෝ ස්ථානවලට ගොස් තිබීම හේතුවෙන් තලවකැලේ, වටගොඩ නගරය 28 වැනිදා දහවල් සිට වසා දැමීමට කොටගල ප්‍රාදේශීය සභාව පියවර ගත්තේය. පෑලියගොඩ ‍මාළු තොග වෙළෙඳ සංකීර්ණයට ගිය යාපනයේ ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරිකයන් දෙදෙනකුටද කොවිඩ් 19 වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් හා යුදහමුදාව එක්ව අදාළ ගම්මානයන්ට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පියවර ගනු ලැබීය.

රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම අධිකරණ සේවා කටයුතුවලින් ලබන 01 දින දක්වා ඉවත් වීමට කුරුණෑගල නීතීඥ සංගමය 28 වැනිදා තීරණය කළහ. මේ වන විට කොළඹ, ගම්පහද අධිකරණ කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.

කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් ආයතනය පිහිටි ගම්පහ ප්‍ර දේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 101න් 77ක්ම මේ වන විට කොඩිව් 19 වයිරසයට ගොදුරු වී තිබෙන බව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගියදා අනාවරණය කළේය. 28 වැනිදා දිනය තුළ පමණක් ගම්පහින් කොවිඩ් 19 නව ආසාදිතයන් 109ක් වාර්තා වූ අතර ඒ හේතුවෙන් පවුල් 574ක් නිරෝධායනයට ලක්කර තිබේ.

රට පුරා විවිධ දිස්ත්‍රික්කවලට අයත් පුද්ගලයන් 15,000ක් පමණ නි‍රෝධායනයට ලක්වෙමින් සිටින අතර මේ වන විට ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් වන්නේ නිවෙස් තුළදීමය. එසේ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් දිනකට තෙවරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, පොලිසියේ සහ හමුදාවේ අධීක්ෂණයට ලක්වීම අනිවාර්යයෙන් සිදු කරන බවද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 2 වැනි සඳුදා පෙරවරු 5 දක්වා බස්නාහිර පළාතේ සමස්ත පොලිස් බල ප්‍ර දේශ 117ටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබිණ. ඒ අනුව එම දිනවල අත්‍යවශ්‍ය සේවා සඳහා හැරුණු කොට බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළුවීම සම්බන්ධයෙන් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වේ. නියෝජ්‍ය පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ පැවසුවේ 2වැනි දායින් පසුවද මීට පෙර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 37, කොළඹ උතුර පොලිස් බලප්‍රදේශ, කළුතර සහ කුලියාපිිටියේ පොලිස් බලප්‍රදේශ 10 ඇතුළු පොලිස් බලප්‍රදේශ 68ක් සඳහා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.


මරණ වැඩි වෙන්නේ ඇයි? 

“මරණ වැඩි වීමේ අවදානමක් තිබෙන බව පැහැදිලියි. ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවන විට මරණ සංඛ්‍යාව වැඩි වීම සිදුවනවා. එම නිසා වහාම කළ යුත්තේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුකර ගැනීමයි. ඒ සඳහා රජය, මහජනතාව, සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය ඇතුළු පාර්ශ්ව කිහිපයකටම වගකීමක් පැවරී තිබෙනවා. ආසාදිතයන් සහ මරණ වැඩිවීමට හේතුව ලෙස මම දකින්නේ පහුගිය මාස දෙක තුන තුළ මාධ්‍ය පවා ඒ වගකීම ඉටු නොකිරීමයි. මෙවැනි වසංගත තිබෙන වෙනත් රටවල මාධ්‍ය විසින් පැය දෙකකට වරක් හෝ ජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම සඳහා කුමක් හෝ පණිවුඩයක් ලබා දෙනවා. නමුත් පසුගිය දිනවල මාධ්‍ය ඒ වගකීම ඉටුකළ බවක් පෙනෙන්නට නැහැ.

සෞඛ්‍ය අමාත්‍යංශ මුදල් ගෙවා ලබාදෙන කොවිඩ් සම්බන්ධ දැන්වීම් පමණයි මාධ්‍ය තුළ පළ වුණේ. නමුත් මෙම වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නම් මිනිසුන්ගේ අවධානය දිනාගත හැකි, ඔවුන්ගේ චර්යාවන් වෙනස් කළ හැකි ආකාරයේ දැන්වීම් මාධ්‍ය තුළ පළ විය යුතුයි.

කොවිඩ් මරණ වැළැක්වීම සඳහා ආසාදිතයන් සංඛ්‍යාව අඩුකර ගත යුතුයි. ඒ සඳහා ජනතාවගේ චර්යාවන් වෙනස් කළ හැකි සාර්ථක වැඩපිිළිවෙළක් අවශ්‍යයි. එසේ නොවුණහොත් ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි.

ඕනෑම බෝ වන රෝගයක රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටිනවා. ඩෙංගු රෝගයේදිත් අපි එම තත්ත්වය දකිනවා. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් එම පුද්ගලයාගේ සිරුරේ වයිරසය තිබෙනවා. එවැනි අයකුගෙන් යම්කිසි කාල සීමාවක් තුළ තවත් අයකුට වයිරසය ආසාදනය විය හැකියි. එම නිසා ඒ ගැනත් අවධානය යොමු කර හැකි තරම් සංචරණ සීමා කිරීමෙන් තවදුරටත් වයිරසය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කර ගත හැකියි.”

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!