Gossip

මම ලස්සන වෙන්න උත්සහ කරනවාටත් වඩා තව කෙනෙක් ලස්සන කරලා මම අප්‍රාමාණ සතුටක් ලබනවා – හිරුෂි ජයසේනය.

ඉතිං හිරුෂි මොනවාද මේ දවස්වල අලුත් වැඩ කටයුතු?
නිවේදන කටයුතු කරනවාට අමතරව ඉතිං ගායන කටයුතු නිසාත් මේ දිනවල ටිකක් විතර කාර්යය බහුලයි.

ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?
ම්…. ලොකු ලොකු දේවල්නම් කරන්නෑ, නමුත් මම පිරිසිදුව, පිළිවෙලට, ප්‍රියමනාපව ඉන්න නම් නිතර උත්සහා කරනවා.

කාන්තාවක් ලස්සනට සිටිය යුතු ද?
ඔව් අනිවාර්යෙන්ම. මවක්. බිරිදක්, දියණියක්. සහෝදරියක්. මිත්තනියක් කියන මේ කුමන චරිතයකට පණ පෙව්වත් කාන්තාවගෙ සුන්දරත්වය දකින්න හැමෝම කැමතියි, සහ එය අනිවාර්ය දෙයක්.

ලස්සන කාන්තාවකට වැදගත්ද?
ඔව්. කාන්තාව කියන කෙනා ස්වභාවිකවම නිර්මාණය කර තිබෙන්නේ සුන්දර දෙයක් ලෙසට. කාන්තාවක් කියූ ගමන්ම ලස්සන කියන වචනය එයට ඇදී තිබෙන්නේ ඒ නිසානේ. අනිත් දේ තමයි මම දකින්නේ කාන්තාවක් මතුපිටින් ලස්සන වෙනවාට වඩා ලස්සන විය යුත්තේ හදවතින්, සිතුවිලි වලින්. මා පෞද්ගලිකව කෙනෙකුගේ සුන්දරත්වය කියා දකින්නේ මුහුණේ ලස්සනටත් වඩා සිතුවිලි වලින් ලස්සන, මනස ලස්සන අයව.

සුන්දර කාන්තාවක් වුණත් ඇතැම් විට ඇගේ සුන්දරත්වය නැති වෙන්න බලපාන කරුණු මොනවාද?
මට හිතෙන්නේ නම් ඇයට ඇය ගැන සොයා බලන්න කාලයක් නොමැති වීම. පවුල තුළ, රැකියාව තුළ, අධික ලෙස වගකිම් දරන්නියක් වීම. අනිත් දේ තමයි ඇයට පවුලෙන් සහයෝගයක් නැති වී යාම. ඔය වගේ කරුණු දිගින් දිගටම තිබුණාම දන්නේම නැතුව, රූපය, සම, වැහිරි යන්න පුළුවන්. ඒ නිසා අපිට උපතින් ලැබුණ රූපය පවත්වා ගන්න ආරක්ෂා කරන්න පුංචි හෝ උත්සහයක් ගැනීම ඉතාම වැදගත් වෙනවා.

ඔබට හැමදේම ලැබුණේ රූපය නිසා ද?
කොහෙත්ම නෑ. ගායිකාවක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙස මා නමක් ලබා තිබෙන්නේ දක්ෂතාවය. හැකියාව, කැපවීම සහ හැදෑරීම යන කරුණු කිහිපයක එකතුවක් ලෙස, රූපය ඒ සියල්ල සමග සමාජයේ ජිවත්වන්න හොඳ පාරක් විවර කර තිබෙනවා. පවුලෙන් ලැබුණ ආදර්ශයක්. පාසලෙන් ලැබුණ මඟ පෙන්වීම් යන වටිනා කරුණු නිසා ‘හිරුෂි ජයසේන” කියන මම වටිනා කෙනෙක් විදිහට සමාජය ඉදිරියේ ඉන්නවා කියා විශ්වාස කරනවා.

ඔයා කවුරු වගේ කියලා ද කියන්නේ?
ම් හමේ පාටනම් ලැබිලා තියෙන්නේ අම්මාගෙන්. ගොඩක් අය කියනවා අම්මාගෙයි, තාත්තාගෙයි අවුල් ටික හැලිලා මට හොඳම දේ ලැබිලා තියෙනවා කියලා

ලස්සන වෙන්න මොනවාද කරන්නේ කියලා දැන ගන්න ආසයි.
දවස ආරම්භ කරන්නේ පිරිසිදු වතුර වීදුරුවක් පානය කරලා. ඊට අමතරව මම හිතලාම දවසට වතුර ගොඩක් බොනවා. ඇත්තටම වතුර කියන්නේ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට වගේම, සමේ මතු පිට නිරෝගී බාවයටත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. පැණි රස කෑමත්, අධික තෙල් සහිත කෑමත් නිරෝගීකමට හානියක් වෙන නිසා මම ඒවගේ ජාතිනම් කන්නේ හරිම අඩුවෙන්.නිරෝගී කමට වගේම හමේ පැහැයට ආරක්ෂා කරගන්න වගේම අතවශ්‍ය වන දෙයක් තමයි නින්ද. සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 ට වැඩි කාර්ය බහුල වෘත්තියක නිරතවන්නෙකු සාමාන්‍යයෙන් දවසකට පැය හයාමාරක් හෝ හතක් නිදාගත යුතුව වෙනවා.හොඳට බලන්න නිදි මරණ කෙනෙකුගේ මුහුණේ තියෙන විඩාබර ගතිය. ඇස් යට කළු වෙලා. හම දුර්වර්ණ වෙලා. ප්‍රබෝධමත් බව නැති වෙලා ගිහින්. ඒ නිසා අනිවාර්යෙන්ම නින්ද සහ ජලය නිරෝගිකම ආරක්ෂා කර ගන්න අතවශ්‍යයයි. එළවලු නම් කන්න ටිකක් හොරයි. ඒත් අම්ම බලෙන් ඒ දේවල් කවනවා. වෙලාවක් ලැබුණ වෙලාවට මම තැඹිලි ගෙඩියක් බොනවා. පැෂන්වලටත් මම ගොඩක් ආසයි. කොමඩුවගේ පළතුරුත් ජූස් හඳලා බොනවා.ම්.. තව ඇගේ හැඩය ගැන නම් ලොකුවට හිතන් නෑ. ඒත් මම නර්තනයෙන් ඇඟේ කැලරි දහනය කර ගන්න වගේම. මනසේ විවේකී භාවය නිදහස ලබා ගන්න උත්සහ කරනවා. විවේකයක් ලැබුණාම සිංදුවක් දාගෙන නටන එක මගේ විනෝදාංශයක්. මේ නිසා මම ජිම් එකට යන්නේ නම් ඉදහිට.

නිවසේදී ඔබේ සමේ පැහැය වැඩි කරන්න කරන ප්‍රථිකාර ගැනත් දැන ගන්න කැමතියි.
මැරුණු සම ඉවත් කරන්න හමට ඉතාම හිතකර ස්වභාවික ආලේපනයක් තමයි කෝපි කුඩුවලට ඕලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා ආලේප කිරීම. මෙය විනාඩි 20-30 තැබිම ප්‍රමාණවත්. මෙම ආලේපනය බටහිර රටවල පවා බහුලව භාවිත කෙරෙනවා. සැබෑවටම මේ ප්‍රතිකාරය ප්‍රතිඵලදායකයි.ඊට අමතරව සමේ පැහැයට වගේම. සම ආශ්‍රීතව යම් ආසාත්මිකතා වගේ ආවාම පිරිසිදු බව ලබා ගන්න කොහොඹ කොළ කොටලා ආලේප කිරීමත් කරනවා.තව මම කරන ප්‍රතිකර්මයක් තමයි කස්තුරි කහ කුඩු ටිකක් මද උණුසුම් වතුරෙන් දිය කරලා මුහුණට පොඞ්ඩක් ස්ප්‍රේ කරලා විනාඩි 20-30 ඉදලා හෝදලා දාන එක මෙම කහ ආලේපනයෙන් සම පැහැපත් වෙනවා.
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ගොඩක් අය දැකලා තිබුණත්, ඉන්දියානු නිලි මධුරි ඩික්සිත් තමයි මට වැඩිම ආකාර්ශනයකින් මතකයේ රැඳි තිබෙන්නේ.

ඔබට ඔබව ලස්සනටම පෙනුන දවස?
ම් එහෙම දවස්නම් ගොඩක් තියෙනවා. එකක් කියන්න බෑ.

විලාසිතා තෝරා ගැනීමේ දී සැළකිලිමත් ද?
ඔව්. ඇඟ නිරාවරණය වෙන ඇඳුම්වලටනම් මම පුංචි කාලේ ඉදලාම කැමති නැහැ. ඊට අමතරව ඕනෑම විලාසිතාවක් තෝරා ගැනීමේ දී මම හිතන දෙයක් තමයි එය මාගේ පෞර්ෂත්වයට කෙතරම් ද ගැලපෙනවාද කියන එක.

හමට ලස්සන පාට?
හමේ පාටටම ගැලපෙන ඇඳුම් ඇන්දාම ලස්සනට පේනවා. පීච් කලර් එකට මම ගොඩක් කැමතියි. රත්තරං පාට, කහපාට, බටර් පාට වගේ පාට ඇඳුම්වලටත් මම ගොඩක් කැමතියි. ඒ වගේම ඒ පාටවල් මට ගොඩක් ලස්සනයි.

ඔබ ලස්සනයි කියා ඔබව කෙනෙක් අගය කළොත්
අැත්තටම සතුටුයි. ඒත් කොයිම වෙලාවකවත් මම ලස්සනයි කියලා හිතලා ආඩම්බරේකින් ඉන් නෑ. අනිත් දේ තමයි මම හරිම ආසයි හැමෝම ලස්සනට. පිළිවෙලට ඉන්නවාට. කවුරු හරි කෙනෙක් නොගැලපෙන ඇඳුමක් ඇඳන් ඉන්නවා නම්. තමන්ට ගැලපෙන්නේ නැති කොණ්ඩ විලාසිතාවක් කරනවා නම් ඒ අඩුපාඩුව පෙන්වා දෙන්න උත්සහ කරනවා. සමහර විට කොච්චර ලස්සන උනත් ඇතැම් කාන්තාවන්ට තමන්ගේ නියම ස්වරූපය සොයා ගන්න බැරි අවස්ථා තියෙන්න පුළුවනි. මම ලස්සන වෙන්න උත්සහ කරනවාටත් වඩා තව කෙනෙක් ලස්සන කරලා මම අප්‍රාමාණ සතුටක් ලබනවා.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!