Gossip

“මම නීත්‍යානුකූලව අයින් වුණා, ඒ කිසි සම්බන්ධයක් සාර්ථක වුණේ නැහැ” – ජනප්‍රිය ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ හඬ අවදි කරයි

දිමංක වෙල්ලාලගේ කියන්නේ තරුණ හදවත් සිය මියුරු හඬින් වසගයට ගත් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.
ඒ නිසාමයි දිමංකගේ සෑම ගීතයක්ම වගේ ජනප්‍රිය වන්නේ.
දිමංග ගායකයෙක් වෙන්න කළින් හමුදා සේවයේ යෙදී සිටි කෙනෙක්.
ඒ අතීතය ගැනත් අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතකට දිමංක මේ විදිහට කියලා තිබුණා.

දිමංකගෙ පාසල මොකක්ද?
ගාල්ල ශ්‍රී සුමංගල විද්‍යාලය.

පාසල් යන කාලෙ දිමංක මොන වගේ චරිතයක් ද?
මගේ වැඩ ටික කරගෙන මම පාඩුවේ හිටියා.

ඒ කාලේ කරපු අමතර වැඩ මොනවද?
ක්‍රිකට් සෙල්ලම් කළා. මියුසික් තමයි වැඩිපුරම කළේ. ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම සිංදුවක් කියනවා. ඒ වගේම තබ්ලාත් වාදනය කළා.

යාළුවොත් ගොඩක් හිටිය ද?
ඔව් යාළුවො නම් ගොඩක් හිටියා. ඒ කාලෙ ගොඩක් විනෝදෙන් තමයි හිටියේ.

ඒ හිතවත්කම් අදටත් තියෙනව ද?
මගේ ළඟින්ම හිටපු යාළුවො කීප දෙනෙක් අදටත් නිතරම කතා කරනවා. ඒ හිතවත්කම් තවමත් ඒ විදියටම තියෙනවා.

ගැහැනු ළමයින්වත් ගොඩක් ආශ්‍රය කළාද?
පිරිමි යාළුවො වගේ ගැහැනු යාළුවොත් ගොඩක් හිටියා මට. ගැහැනු ළමයින් මාත් එක්ක ගොඩක් හිතවත්. මගෙ අතපසු වෙන වැඩ එහෙම කරලා දෙන්නෙ ගැහැනු ළමයි තමයි. ඒ සමහර අය අදටත් මට ගමේ ගියාම හම්බ වෙනවා.

ඒ අතරින් විශේෂ ගැහැනු යාළුවෙක් හිටියා නේද?
විශේෂ කෙනෙක් කියලා නම් හිටියේ නැහැ. පාසල් යන කාලේ පොඩි පොඩි සම්බන්ධකම් නම් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධතා එතරම් දුරදිග ගිය ඒවා නෙමෙයි. ඒ කාලෙ ආකර්ෂණයක් ඇති වුණු අයත් ඉන්නවා. ඒක ඉතින් ආදරයම නෙමෙයිනේ. ඒ කිසිම සම්බන්ධතාවයක්වත් සාර්ථක වුණේ නැහැ.

ප්‍රසංගවලට ගියාම පාසල් කාලේ යාළුවන් මුණ ගැහිලා කතා කරනව ද?
ඔව් ඔව් අනිවාර්යයෙන්ම කතා කරනවා. ඔවුන්ව නිතරම මුණ ගැහෙන්න බැරි වුණත් හැමදාම අපේ මතකයේ ඉන්නවා.

පාසලේ දී වැඩිපුරම දක්ෂ වුණේ මොන විෂයන්වලට ද?
පාඩම් කරලා උත්තර ලියන විෂයන්වලට මම ගොඩක් දක්ෂයි. සිංහල, බුද්ධාගම, සමාජ අධ්‍යනය, ඉතිහාසය වැනි විෂයන් මට හොඳටම පුළුවන්. ඒ විෂයන්වලට මට විශිෂ්ට සාමාර්ථ පවා තියෙනවා.

අකමැති විෂයන් එහෙමත් තිබුණද?
ඔව් අකමැති විෂයන් නම් තිබුණා. පාසල් යන කාලේ මම හැම පීරියඩ් එකක්ම වගේ කට් කරලා තියෙනවා. වැඩිපුරම කළෙත් පීරියඩ් කට් කරපු එක තමයි. මම වැඩිපුරම හිටියේ සංගීත කාමරේ. පීරියඩ් එක කට් කරලා සංගීත කාමරේ ඉන්නකොට ඒ විෂයට අදාළ ගුරුවරයා මාව හොයාගෙන ඇවිල්ලා මට දඬුවම් කරපු අවස්ථා ගොඩක් තියෙනවා. ගණිතය, විද්‍යාව වගේ පීරියඩ්වල මම පන්තියේ ඉන්නෙම නැහැ.

උසස් පෙළ හැදෑරුවේ කුමන විෂය ධාරාවෙන්ද?
මම උසස්පෙළට කළේ කලා විෂයන්. නමුත් මට පොඩි හේතුවක් නිසා උසස් පෙළට පෙනී ඉන්න ලැබුණේ නැහැ.

පාසල් කාලෙ සිදුවුණු අමතක නොවන සිදුවීමක් තියෙනව ද?
අමතක නොවන සිදුවීම් නම් තියෙනවා. මම පාසලේ බටහිර ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. සියලු පාසල්වල ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායමේ ළමුන්ට අවුරුද්දකට සැරයක් රන්ටැඹේ කඳවුරක් පැවැත් වෙනවා. ඒ කඳවුරට සහභාගී වෙන්න අපේ පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ ළමයි හික්කඩුවේ ඉඳන් රන්ටැඹේට යනවා. අපි යන්නේ බස් එකේ. ඒ ගමන හරිම සුන්දරයි. ඒක අදටත් විඳින්න පුළුවන් සුන්දර මතකයක්.

පොඩි කාලෙ ඉඳන්ම තිබුණේ ගායකයෙක්වීමේ හීනයක්ද?
පුංචි කාලේ එහෙම විශේෂ ආසාවක් තිබුණේ නැහැ. නමුත් මට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. පාසලේ විවිධ උත්සවවල දී මම ගීත ගායනා කරලා තියෙනවා. පාසලෙත් ගොඩක් අය මාව අඳුරනවා. අවුරුදු 18 දී මම නාවික හමුදාවට බැඳුණා. නාවික හමුදාවේ ඉන්න කාලෙ සමහර වෙලාවට යාළුවොත් එක්ක එකතු වෙලා සිංදු කියනවා. මට හොඳට සිංදු කියන්න පුළුවන් නිසා ගායකයෙක් වුණා නම් නේද හොඳ කියලා මගෙ යාළුවො ගොඩ දෙනෙක් මට කියලා තියෙනවා. ඊට පස්සෙ තමයි මටත් හිතුණේ ගායකයෙක් වෙන්න මට පුළුවන්කමක් තියෙනවා නේද කියලා. මම නාවික හමුදාවෙන් නීත්‍යානුකූලව අයින් වෙලා ක්ෂේත්‍රය ගැන ඉගෙන ගත්තා. ඒ කාලෙ මම සංගීතයත් ඉගෙන ගත්තා. මම තවම සංගීතය ඉගෙන ගන්නවා. ඒ කාලය තුළ නිර්මාණවල දී මට ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ සියලු දෙනාගේ උදව්ව නිසා තමයි අද මම මේ ක්ෂේත්‍රයේ ඉන්නෙ.

දිමංක වැඩිපුරම විරහ ගීත ගායනා කරන්නේ ඇයි?
විරහ ගීත කියලා විශේෂයක් නැහැ. මට ඕනෑම ගීතයක් ගායනා කරන්න පුළුවන්. මම හිතන විදියට මගේ හඬට වැඩිපුරම ගැලපෙනවා ඇත්තේ විරහ ගීත වෙන්න ඇති. මගෙ (කියඹු ලතාවේ) ගීතය විරහ ගීතයක් නෙමෙයි. නමුත් ඒ ගීතය බොහොම ජනප්‍රිය වුණා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ මට වැඩිපුරම ලැබුණේ විරහ ගීත. අද කාලේ යන රැල්ලත් එක්ක අපිට විරහ ගීතත් ගායනා කරන්න වෙනවා. එකම රාමුවකට කොටු නොවී විවිධ ගීත ගායනා කරන්න ගායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ.

පාසල් යන කාලේ ලැබුණු අමතක නොවන දඬුවම මොකක් ද?
අම්මෝ. සෑහෙන්න දඬුවම් ලබලා තියෙනවා. අපි ඕලෙවල් කරන කාලේ අපේ පාසලේ සම්මන්ත්‍රණයක් තිබුණා. ඒ සම්මන්ත්‍රණයට වෙන පාසලක ළමයිනුත් ආවා. ඒ පාසලේ ළමයි එක්ක අපේ පාසලේ ළමයි පොඩි ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුණා. ඒ නිසා ප්‍රින්සිපල් අපේ පන්තියේ ළමයි හැමෝවම අව්වේ දණ ගස්වලා තිබ්බා. නමුත් කවුරුත් කාවවත් පාවලා දුන්නේ නැහැ.

ගායකයෙක් වෙලා අද ඉන්න තැන ගැන දිමංකට මොකද හිතෙන්නේ?
අද ඉන්න තැන ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ. මම හිටපු තත්ත්වෙත් එක්ක අද වෙනකොට මට සමාජයෙන් යම් පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම ජීවත්වෙන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙනවා. කලාව තුළ තව ලොකු ගමනක් යන්න ඕනේ. ඒ තුළ නම් අද ඉන්න තැන ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!