Gossip

”මම ආස නැහැ විවේකයක් ලැබුණ වෙලාවට තැන් තැන්වල යන්න. මට යාළුවෝ ගොඩාක් නැහැ.”

තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් අතරේ අතිශය පැහැබර, මතු බලාපොරොත්තුව වන ශලනි තාරකා සිනමා හා ටෙලි තරුවක්, නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක් සේම ගීත රචිකාවියක ලෙස ද ඉදිරි ගමනක යෙදී සිටින ශලනිගේ වර්තමානය පිළිබඳ හරවත් කතාබහක යෙදෙන්න අපි අවස්ථාව සලසා ගත්තා.

කොරෝනා වසංගතය ඔබගේ කාර්යබහුල දිවියට ඉසිඹුවක් ලබාදීලද?

ඇත්තම කියනව නම් කොරෝනා තත්ත්වය නිසා රටේ ඇඳිරිනීතිය දානකම්ම මම කාර්යබහුල වෙලා හිටියේ. ඇඳිරිනීතියත් එක්ක ලැබුණ විවේකය නිසා ජීවත් වෙනවා කියලා දැනෙනවා. මේ දවස්වල නිදහසේ ගෙදරට වෙලා කාලා බීලා ගහක් කොළක් හිටවගෙන ඉන්නවා.

ඔබ මේ වෙද්දි සරල හා කලාත්මක නිර්මාණ දෙවර්ගයේම දකින්න ලැබෙන ශිල්පිනියක්. රංගනයේදී ඔබට මේ දෙක දෙකක් ද එකක් ද?

මම මුලින්ම චරිතය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ නවකතාවක් ඇසුරින් ලියවුණ පිටපතක් නම් නවකතාවත් කියවල පිටපත් රචකයා හා නවකතාවේ ලේඛිකාව සමග සාකච්ඡා කරල ඒ අය චරිතය දකින්නෙ කොහොමද කියන එක අවබෝධ කරගෙනයි මම දර්ශන තලයට යන්නේ. මේ වගේ නාට්‍යවල එවන් අධ්‍යයනයක් කළාට මෙගා නාට්‍යවල අපිට මේ දේ කරන්න අපහසුයි. නාට්‍යයේ කොටස් සියයක් විතර වෙද්දී අපි නාට්‍යයේ මුල මැද අග දැනගෙන හිටියට යම් යම් වෙස්කම් සිද්ද වෙනවා. මේ නාට්‍ය වර්ග දෙකේ ක්‍රියාත්මක වෙන ක්‍රම දෙකක්. ඒ නිස තමයි සමහර විට අපෙන් ලැබෙන අවසාන ඵලයත් වෙනස් වෙන්නේ.

ශලනි මේ වෙද්දි සරල චරිතවලින් මිදෙමින් සිටිනවද?

දැන් අවුරුදු තුන හතරක ඉඳන් වෙනස් චරිත මට හම්බ වුණා. වි​ශේෂයෙන් මගේ ටෙලි නාට්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ ඒලෙවල් ඉවරයි ටෙලි නාට්‍ය. එහි දී මට කරට කර ගැටෙන්න සිදුවෙන්නේ මේ ක්ෂේත්‍රයේ දක්ෂතම රංගන ශිල්පීන් සමඟ. මගේ රංගන හැකියාව ඔප මට්ටම් වූවා නම් එය පටන් ගන්නේ එතැනින් කියලා මම හිතනවා. ඊට පස්සේ මට ආනන්ද අබේනායකගේ තාරා ටෙලි නාට්‍ය ලැබෙනවා. ඒකෙන් මම ප්‍රථමවරට හොඳම නිළියට නිර්දේශ වෙනවා. ඊට පස්සේ ටික්කා නාට්‍ය මාව තව දුරටත් වෙනස් කළා.

මේ පසුබිම තුළ තවදුරටත් ශලනි සරල සුන්දර පෙම්වතියක් නොවෙයිද?

සරල පෙම්වතියගේ චරිතය කරන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම අලුතින් ආපු අය. ඒ චරිත කරන්න කැමතියි.

නවක බව සරල පෙම්වතියගේ චරිතයට සුදුසුකමක්ද?

අලුතින් රඟපාන්න එන අය සරල සුන්දර පෙම්වතියගේ චරිත කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඇතැම් විට එසේ වෙන්නේ ඔවුන් නවක අය නිසා. මට මේ වගේ දෙයක් කරන්න බැරුව ඇති කියන සිතුවිල්ල ඔවුන් තුළ ඇති…

වෘත්තීය නිළියකට තෝරාගත් චරිත පමණක් කරලා යැපෙන්න පුළුවන්ද?

ඒක තීරණය වෙන්නේ තමන් මතමයි. දැන් ඕන තරම් වෘත්තිය නළු නිළියෝ ඉන්නවා හොඳ නිර්මාණ විතරක් තොරගන්න. මම හිතන්නෙ නැහැ මම ඒ තලයට ඇවිත් කියලා. හැබැයි මම දැන් ඉන්නේ මැද තැනක. මේ වෙද්දී මට අවස්ථා දෙකක් ඉතිරිවෙලා තියෙනවා. නැවත කකුළ පිටුපසට අරන් මට යන්න තියෙන්නෙ ජනප්‍රිය හැමදාම වැඩ තියෙන නිර්මාණවලට. එහෙම නැත්නම් කකුල ඉදිරියට අරන් තෝරා බේරාගත් වෘත්තීය නිළියක් වෙන්නත් මට පුළුවන්.

කකුල ඉස්සරහට තියෙනවද… පිටුපසට ගන්නවද…

මම හිතනවා මගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දේවල් එළියට එන්න මට තව දුරටත් චරිත ලැබිය යුතුයි කියලා. මුලදී ආශා වගේ චරිතයක් මම කරයි කියලා විශ්වාස නොකරපු අය මේ නිර්මාණයේ හඳුන්වාදීමේ වැඩසටහනේදීම මට පෞද්ගලික හා සමාජ මාධ්‍ය මගින් කියල තිබුණා මේ චරිතයට ඔයා හැර වෙන කෙනෙක් ගැළපෙන්නේ නැහැ කියලා. ඒකම මට ඇති මගේ හැකියාව ගැන සෑහීමකට පත් වෙන්න.

ශලනිගේ සම්මාන පිළිබඳ සිහිනය කුමක්ද?

ගොඩක් අය කියනවා මේ ගමන ඔයාට සම්මානයක් ලැබෙයි කියලා. කව්රු හරි මගේ දිවියේ ටෙලි සම්මාන ගැන සිහිනයක් තියෙනවාද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ කවදා හරි හොඳම නිළිය වෙනවා කියන එක තමයි මට ඉතිරිවෙලා තියෙන සම්මාන සිහිනය. මේ වෙද්දී මට ජනප්‍රියම නිළිය, නැගී එන නිළිය, හොඳම සහාය නිළිය වැනි සම්මාන ලැබිලා තියෙනවා. නමුත් හොඳම නිළියට මම හය හත් වතාවක් නිර්දේශ වෙලා තිබුණත් තවම මට ඒ සම්මානය ලැබිලා නැහැ. මම දැන් යන්නේ ඒ ඉලක්කයට.

ටෙලි නිළියන් අතරින් ඔබ ඉහළ මිලක සිටින නිළියක් වී සිටිනවා.
ලංකාවේ නිළියක් විදිහට මම කිසියම් වටිනාකමක් හදාගෙන තියෙනවා නම් ඒ වටිනාකමට සෑහෙන මුදලක් තමයි මම අය කරන්නේ. නිර්මාණය කොච්චර ගැඹුරුද කොච්චර සරලද කියන කාරණය මට අදාළ නැහැ. ඒ මුදල ලැබෙනවා නම් තමයි මම ඒ නිර්මාණයට දායක වෙන්නේ සහ නිර්මාණය මොන මට්ටමේ තිබුණත් මගේ චරිතය මට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. එයින් මම තෘප්තියක් ලබනවා. මට තෘප්තියක් නැති නිර්මාණයකට දායක වෙන්නේ නැහැ.

ශලනි තාරකා කියන්නේ ප්‍රසිද්ධ නිළියක් වගේම අප්‍රකට ගීත රචිකාවියක්.
ගී පද රචනය නම් මම මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. වෘත්තියක් විදිහට මුදල් ඉපයීමේ අරමුණෙන් කරන දෙයක් නෙවෙයි. මේ වෙද්දී මම ගීත තුනක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තුළින් මම ලබන්නේ වෙනමම තෘප්තියක්. ඒ තෘප්තිය මට වෙන දෙයක් සමග සසඳන්න බැහැ.

මම ගෙදර ඉන්න වෙලාවේ සැනසුමෙන් සතුටින් ඉන්නවා. මම ආස නැහැ විවේකයක් ලැබුණ වෙලාවට තැන් තැන්වල යන්න. මට යාළුවෝ ගොඩාක් නැහැ. පොඩිකාලෙ ඉඳන් මට හිටිය හොදම යාළුවො දෙන්න දැන් ලංකාවේ නැහැ. ඒ නිසා මම යාළුවො ආශ්‍රයක් නැහැ. මේ ක්ෂේත්‍රයෙත් යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයත් කාර්යබහුලයි. සාමාන්‍ය ජීවිතයේ මම සැහැල්ලුවට සරලව ඉන්න කැමැති කෙනෙක්.

ජනප්‍රිය කෙනෙකුට හිතන තරම් සරල වෙන්න අපහසුයි නේද?

ජනප්‍රියත්වය බරක් කරගත්තොත් ඒක බරක් තමයි. මා සම්බන්ධව ගත්තාම මම නිළියක් කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැහැ. මම කැමතියි මේකප් නැතිව සැහැල්ලුව ඉන්න. මේ මාසය තමයි මම වැඩිම කාලයක් මේකප් නොදා ඉන්න කාලය. මුහුණට දැනෙන සනීපය කියල නිමක් නැහැ. ඒ හැරණම මම ජනප්‍රියත්වය කියන එක ආයාසයෙන් පාලනය කරන්න යන්නේ නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!