Gossip

“මගේ තේරීම අනිවාර්යයෙන්ම හරි කියලා මම හිතනවා,මට ආදරණීය සැමියෙක්, හොඳ පවුලක් ලැබුණා”

තිසුරි යුවනිකා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය වගේම අහිංසක චරිතයක්. පසුගිය දවස්වල ඇයගේ විවාහ ජීවිතය පිළිබඳව පොඩි කුසුකුසුවක් ඇතිවුණා. ඒ වගේම විවාහය නිසා රංගන ජීවිතයෙන් ඈත්වෙන ආරංචියකුත් ආවා. මේ ආරංචිවල ඇත්ත නැත්ත තිසුරි සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල නිර්මාණ කිහිපයකට එකතුවෙලා ඉන්නවා.

පහුගිය දවසක තිසුරිගෙයි සුරාජ්ගෙයි ජීවිතේ විශේෂ සැමරුමකුත් සිද්ධ වුණා නේද?
ඔව්. අපි විවාහවෙලා අවුරුද්දක් ගියා. දැනුණෙවත් නැහැ. අවුරුද්දක් කියන්නෙ බොහොම කෙටි කාලයක්.

ගෙවුණු වසර කොහොමද?

ගොඩක් සතුටුයි ඒ ගෙවුණු කාලය ගැන. ඒක ඇත්තටම අලුත් ජීවිතයක්. ඒ වුණාට සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගත කළා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුමක් කළාද?
එහෙම නැහැ. පවුල් දෙකම එකතුවෙලා වෙනද වගේම කාලා බීලා සතුටින් හිටියා.

ඒ ජීවිතය ඇතුළෙ විවාහ වීමට කලින් බලාපොරොත්තු වුණ ගලායෑම සිද්ධ වුණාද?

ගොඩක් අය විවාහය ගැන එක එක දේවල් කිව්වා. ඒත් ඇත්තටම හැම දෙයක්ම වගේ මම හිතුවටත් වඩා හොඳින් සිද්ධ වුණා. මට ආදරණීය සැමියෙක්, හොඳ පවුලක් ලැබුණා. ඉතින් හැම දේම හොඳට ගලාගෙන යනවා.

එහෙනම් ඔබේ තේරාගැනීම ගැන සතුටු වෙන්න පුළුවන් නේද?
අනිවාර්යයෙන්ම, මම ඔහුට කැමැති වුණෙත් ඔහු මාව තේරුම් අරන් බව සහ මට ගැළපෙන බව දැනුණු නිසා. එයාගෙ සමහර දේවල්වලට මමත් මගේ සමහර දේවල්වලට එයත් හැඩගැහුණා. ඒකට තමයි දෙන්නෙක් ආදරෙන් බැඳෙනවා කියන්නෙ. මගේ තේරීම අනිවාර්යයෙන්ම හරි කියලා මම හිතනවා. දෙයියනේ කියලා අපි සතුටින් ඉන්නවා.

ඔහුගේ වෘත්තියත් එක්ක තිසුරි වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද?
ඔහුට ලැබෙන පොඩි වෙලාව වුණත් ඔහු මං වෙනුවෙන් කළමනාකරණය කරගන්නවා. එයාගේ රැකියාව එයාටවත් මටවත් නුහුරු නැහැ. මොකද එයාගෙ තාත්තයි, මගේ තාත්තයි දෙන්නම නාවිකයො. ඒ වගේම එයත් නාවිකයෙක්. ඉතින් ඒ දේවල් අපි දෙන්නටම හුඟක් හුරුයි.

ඔබ රංගන වැඩකටයුතුත් සමඟ බිරියගේ භූමිකාව සමබරව පවත්වාගෙන යන්නෙ කොහොමද?
මම වැඩ කළාට ගෙදර ඉන්න දවසුත් තියෙනවා. ඒ ඉන්න දවස්වලදි මට පුළුවන් උපරිමයෙන් එයා ගැන හොයලා බලනවා. එයා කැමැති දේවල් කන්න හදලා දෙනවා. මම රූගත කිරීම්වලට යද්දි යම් යම් දේවල් මඟහැරෙනවා. සමහර වෙලාවට එයා රැකියාව නිසා මාස ගාණක් විදෙස්ගතවෙලා ඉන්නවා. අපි අපිව හොඳින් තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

විවාහය නිසා වෙනස් වුණ හෝ ඔබට වෙනස් කරගන්න වූ දේවල් තියෙනවද?

ඇත්තටම නැහැ. මම හිතන් හිටියා විවාහය නිසා යම් යම් දේවල් වෙනස් වෙයි කියලා. සුරාජ් සහ මම පොඩි කාලේ ඉඳන්ම දන්නවා. අපේ පවුල් දෙකත් හොඳින් දැන හඳුනනවා. අපි යාළුවො විධියට හිටිය කාලේ, අපි පෙම්වතුන් විධියට හිටිය කාලේ වගේම දැන් සැමියා, බිරිය විධියට ඉන්න කාලේ වගේ මාතෘකා වෙනස් වුණාට අපි වෙනස්වෙලා නැහැ. ගොඩක් ආදරෙන්, සතුටින් හොඳින් ඉන්නවා.

වෙනදට වඩා රංගන කටයුතුවල තෝරා බේරාගැනීම් දැන් වැඩිද?

මම කවදත් තෝරාගෙන වැඩ කළේ. විවාහ වුණා කියලා වෙනසක් නැහැ. කොහොමත් මම එක රාමුවක චරිත විතරයි තෝරගත්තෙ. ඒ කියන්නෙ එකම විධියෙ චරිත කියන එක නෙමෙයි. තෝරාගැනීම් එදත්, අදත් එකම විධියයි.

පුංචි තිරයේ ඉඩ විවෘත වුණ තිසුරිට සිනමාවේ වැඩි ඉඩක් විවෘත වෙන්න තව කල් යයිද?මට හොඳ පිටපතක් ලැබුණොත් චරිතය පොඩිද ලොකුද බලන්නෙ නැහැ, භාරගන්නවා. උදාහරණයක් විධියට ඩී.එස්. චිත්‍රපටයේ මොලි දුනුවිල මැතිනියගේ තරුණ කාලයේ චරිතය කළා. ඒ චරිතය පොඩි වුණත් මට යමක් කරන්න තිබුණ නිසා මම ඒක භාරගත්තා. “ධර්ම යුද්ධයෙත්” මට දැනෙන හොඳ චරිතයක් ලැබුණා. මට මුල්ම සම්මානය ලැබුණෙත් සුදත් දේවප්‍රියගෙ “උඩුගම් යාමය” චිත්‍රපටයට. හැබැයි මම මුල්තැන දෙන්නෙ පුංචි තිරයට.

සිනමාවට අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?
මම හිතපු විදිහෙ නිර්මාණයක් මට ලැබුණේ නැහැ.

ඒ කියන්නෙ ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවද?

ඔව්. යම් යම් හේතූන් මත ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

තවමත් ජීවිතයේ සෙවණැල්ල අම්මයි තාත්තයිද?
ඔව්. දැන් ඒ සෙවණැල්ල විශාලවෙලා. මගේ සැමියා සහ සැමියාගෙ පවුලේ අයගෙ සෙවණැල්ලත් මට වැටිලා. ඒ අතින් මම වාසනාවන්තයි.

රංගන ජීවිතයේ සාක්ෂාත් කරගන්න අරමුණු තියෙනවද?
මම රංගනයට ආවේ අවුරුදු හතරෙන් වගේ. පොඩි වයසකදිම මම හොඳම නිළිය සම්මානය ගත්තා. ඒත් මම කියන්නෑ මම හැම චරිතයක්ම කරලා තියෙනවා කියලා. ඒත් මම විවිධ චරිත කරලා තියෙනවා. ඉස්සරහටත් කරන්න ආසයි. ක්ෂේත්‍රයේ ඉන්න තාක්කල් විවිධ හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයො අතරට යන්න ආසයි.

සැබෑ ජීවිතයේ ඔබ මොනවගේ චරිතයක්ද?
හරිම සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න කැමැති චරිතයක්.

රංගන ශිල්පීන් ශිල්පිනියන් වැඩිපුර පේන්න ඉන්න විශේෂ අවස්ථාවල තිසුරි දකින්නේ අඩුවෙන්. ඇයි ඒ?
යන්නම ඕන අවස්ථාවකට නම් මම යනවා. මම ගෙදර අය එක්ක ගෙදර ඉන්න හරිම කැමැතියි. අපිට විවේකය අඩු නිසා ලැබෙන අවස්ථාවන් උත්සවවලට යොදවන්න මම ටිකක් හොරයි. අකමැතිකමක් නැහැ ඒවට යන්න.

සැබෑ ජීවිතයේ සහ රංගන ජීවිතයේ ඉදිරි සැලසුම් මොනවද?

රංගන ජීවිතයෙ නම් හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයො අතරට යන්න තමයි එකම අරමුණ. පෞද්ගලික ජීවිතයේ මගේ පවුලෙ හැම කෙනා එක්කම හොඳින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි අරමුණ.

උපුටා ගැනීම – මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!