Gossip

මං විවාහ වෙන එකක් නැහැ – මං හිතාගෙන හිටපු කෙනාව මට බඳින්න බැරි වුණා – ඒ කාලේ මං ගොඩක් බොලඳ දේ කළා – උදයන්ති කුලතුංග

උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතක් හමුවේ කියා තිබුණේ මේ විදියට.

මොන වගේ දර්ශන තලවලද ඔබේ ජීවිතය මේ දිනවල ගෙවෙන්නේ?
ටෙලිනාට්‍යකින් දකින්න ලැඛෙනවා. ඒ වාගේම සුමිත් කුමාර අයියගේ නවතම චිත්‍රපටයේත් මං රඟපානවා.

සමහරු කියනවා උදයන්තිව අල්ලගන්න හරිම අමාරුයි කියලා?
මොන බොරු කතාද. මගේ දුරකතන අංකය මං පාවිච්චි කරන්නේ 2014 අවුරුද්දේ ඉඳන්. අවශ්‍ය කෙනා කොහොමත් කතා කරනවා

මෑතකාලීනව ඔබ රංගනයේ යෙදුණා මදි කියලා හිතෙන්නේ නැතිද?
ඔය මදි කියලා හිතෙන්නේ ඉස්සර වගේ මං නිතර දකින්න නැති හින්ද වෙන්න ඇති. මං තෝරා බේරාගෙන තමයි දැන් රඟපාන්නේ. මට රඟපාන්න දෙයක් තියෙන චරිත මං බාර ගන්නවා. අනික දැන් රඟපාන්න යද්දි අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් බලනවා.

ඇයි ඒ?
සමහර නවක අධ්‍යක්ෂවරු අපිට එයාලගේ නිර්මාණවලට කතා කරනවා. දර්ශන තලයට ගියාම තමයි දන්නේ එයාලට හරියට වැඩ බෑ කියලා. අපි රඟපාලා එන්නේ අපේ ජවයෙන් පමණයි. අධ්‍යක්ෂවරයා අපෙන් දෙයක් අරගෙන නැහැ. එහෙම ගිහින් වාත වෙච්ච අවස්ථාත් තියෙනවා. මං ඒ ගැන එයාලට පැහැදිලි කරලා එනවා. ඉතින් මං තීරණය කළා නිර්මාණයකට දායක වෙනවා නම් අධ්‍යක්ෂවරයා නිර්මාණයක් කරපු කෙනෙක් ද යන්න හොයලා බලන්න.

උදයන්තිගේ කට ටිකක් සැරයි නේද?
මං ඇත්ත කතා කරන්නේ. මුහුණටම මං කියන්න තියෙන දේවල් කියනවා. ආයේ ඉතින් හංගාගෙන ඉන්නේ නැහැ. එහෙම වුණත් නැවතත් මාව ඔවුන් නිර්මාණයකට ගන්නවා.

උදයන්තිගේ විවාහය ප්‍රමාද ඇයි?
ඉරණම්කරු හම්බු වුණේ නැහැනෙ. ඒකයි තනිකඩ.

සදාකාලිකවම ඒ තනිකම අත්විඳියිද?
මට තේරෙනවා දැන් මගේ කල වයසත් ගෙවිලා යනවා. ඉදිරියටත් එලෙසම කාලය ගත වෙයි. ඇතැම් විට මං විවාහ වන එකක් නැහැ. මේ ගැන මං කාලයට බාර දෙන්නෙත් නැහැ. කොහොමත් අපි හිතපු දේවල් අපිට ලැඛෙන්නේ නැහැනෙ.

එහෙනම් ඔබේ ආදරය වගේ?
ඔව්. මං හිතාගෙන හිටපු කෙනාව මට බඳින්න බැරි වුණා. ඒ ආදරය හිතේ තියාගෙන මං ඉන්නවා.

උදයන්ති තවම ජනප්‍රිය නිළිය නොවුණේ ඇයි?
මං හිතන්නේ මං මැද මාවතක යන නිසයි එහෙම වුණේ. ජනප්‍රියමයි කියලා කියන නාට්‍යවල මම නැහැ. ඒකත් හේතුවක් වන්නට ඇති මට ජනප්‍රියම නිළි සම්මානය හිමි නොවන්න. සම්මාන නොලැබුණත් මැද මාවතට මං කැමැතියි.

අන්තර්ජාලය හරහා තරුණ නිළියන්ට ජනප්‍රිය වෙන්න ඕනෑ තරම් අවස්ථා දැන් තියෙනවා. උදයන්ති ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
මේ වන විට එය රැල්ලක් බවට පත් වෙලා. ෆොටෝවලට පවා පෙනී සිටින්නේ අමුතු ආකාරයට. මට නම් එහෙම ඉන්න අමාරුයි. තවත් අය අන්තර්ජාලය ඔස්සේ තම හැකියාවන් පෙන්වනවා. ඒක හොඳයි. නමුත් ඒ හැකියාව රූපවාහිනි කැමරාව ඉදිරියේදීත් පෙන්වනවා නම් නේද හොඳ.

උදයන්ති තවමත් කැමැති කොටට අඳින්නද?
කොටට අඳිනවා මට කැත නැතිනම්. හැබැයි දැන් කොටට අඳිනවා අඩුයි. විලාසිතා කරනවා, නැතුව නෙවෙයි. කොටට වුණත් දිගට වුණත් මට ගැළපෙනවා නම් තමයි ඇඳුමක් තෝර ගන්නේ.

ඔබ ටිකක් පරිණත වෙලා කියලා පේනවා?
ඔව්. ඒක ඇත්ත. ඒ කාලේ ගොඩක් මං බොලඳ දේ කළා. බොලඳ තීරණ ගත්තා. ටිකක් මෝඩ වැඩ කළා. මේ වන විට මං ආශ්‍රය කරන අය පවා වෙනස් කරලා තියෙන්නේ. වැඩිපුර පොත් කියවනවා. රංගනය හදාරනවා. ඔවැනි කාරණා මත කෙනෙකුට හිතෙන්න පුළුවන් මං වෙනස් වෙලා කියලා.

උදයන්තිගේ ෆේස්බුක් එකේ ඉන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක මිතුරන්?
ඔව්. හරියටම කිව්වොත් යාළුවෝ පණහයි මට ඉන්නේ. මං හිතන්නේ කලා ලොවේ කාටවත්ම නැතුව ඇති එච්චරම පුංචි ෆේස්බුක් ගිණුමක්.

තවමත් පෙම්වතියගේ චරිතය රඟපාන්න ඔබ සූදානම්ද?
අධ්‍යක්ෂවරු තමයි එය තීරණය කරන්න ඕනෑ. මට ඒ චරිතය ඕනෑමයි කියලා මං හිතන්නේ නැහැ. මොකද මං දැන් ඉන්නේ මැදි වයසක කියලා මං දන්නවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!