Gossip

මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින්

මංගල සාදයකට ගොස් හොඳ හැටි පදම්වී ආපසු එන ගමනේදී තමුන්ට වෙට්ටු දැමූ යතුරුපැදිකරුවෙකු හඹාගෙන ගමනාන්තයටත් එහා කිලෝමීටර් විස්සක් පමණ ගමන් කර කුලී රථයකට වැඩිපුර කුලී මුදලක් ගෙවූ පිරිසක් පිළිබඳ පුවතකි මේ.

සිද්ධිය මෙසේය.
ඔවුහු එක්තරා ආයතනයක සේවක පිරිසකි.

මංගල සාදයකට ඇරයුම් ලැබූ ඔවුන් ඒ වෙනුවෙන් කුලී රථයක් ද වෙන්කර ගත්තේ පදම ඉක්මවා මත්පැන් පානය කළ පසු වාහන පැදවීම නුවණට හුරු නොවන බව අත්දැකීමෙන්ම දන්නා නිසාය.
මංගල සාදයේ අවසන් හෝරාව තෙක්ම රැඳී සිටි පිරිස ආපසු ගමනාන්තය බලා පිටත් වනවිට මැදියම් රැය ද ඉක්ම ගොස් තිබිණි.

ඔවුන් ගමන්ගත් වාහනය ඉදිරියෙන් කීපවිටක් එහා මෙහා ගමන්ගත් යතුරුපැදියක නැගුණු තරුණයින් දෙදෙනෙකු වෑන් රථයට වෙට්ටු දමමින් ගමන් කළේ ඔවුන්ගේ තරුණකම ප්‍රදර්ශනය කරමිනි.
සිද්ධියෙන් කෝපාවිෂ්ඨ වූ වෑන් රථයේ ගමන් ගත් පිරිස ද ඊට එකට එක කිරීමක් ලෙස තරුණයින් දෙදෙනා ගමන් ගන්නා යතුරුපැදිය පසුපසින් හඹා ගොස් ඔවුන්ට පාඩමක් උගන්වන ලෙස රියැදුරාට බලකර සිටියේ සෙසු පිරිසගේ ද සහයෝගය ලබා ගනිමිනි.

පසුපසින් එන වෑන් රථය දුටු තරුණයින් දෙදෙනා ද පවනට බඳු වේගයෙන් සිය යතුරුපැදිය ධාවනය කළේ පිරිසට අසු වුවහොත් හොඳ කෑමක් ලැබේ යැයි සිතූ නිසාය.
උත්සාහය අත් නොහළ වෑන් රථයේ පිරිස ද යතුරුපැදිකරු පසුපස පන්නන ලෙස එහි රියදුරාට උපදෙස් දුන්නේ ‘‘හයර් එක අපි බලා ගන්නනම්’’ යැයි පවසමිනි.

අතිශයින් වංගු සහිත වූ අබලන් මාර්ගයේ යතුරුපැදිය සමඟ ගමන් කිරීම වෑන් රථයේ රියැදුරාට ලෙහෙසි පහසු කාර්යයක් නොවිණි.
යතුරුපැදිය පසුපසින් හඹා ආ පිරිස ඒ වනවිටත් ගමනාන්තය පසුකොට කිලෝමීටර් 20 ක පමණ දුරක් පැමිණි තිබූ අතර අතුරු මාර්ගයකට හැරවූ යතුරුපැදිය ද අතුරුදන්ව තිබිණි.

අවසානයේ වෑන් රථයේ පැමිණි පිරිස මාර්ගය අසල වූ රාත්‍රී තේ කඩයකින් තේ පානය කොට අමතරව රුපියල් 4000 ක පමණ මුදලක් වියදම් කොට වෑන් රථය හරවාගෙන යළි නිවෙස් වෙත පැමිණියේ වෑන් රථයේ රියැදුරාට ද දෙස් දෙවොල් තබමිනි.

ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!