Gossip

බොහෝ රටවලදී බොහෝ ලස්සන අය දැක තියෙනවා. ඒත් මම පුංචි කාලේ ඉඳලාම දැක්කේ මගේ අම්මාගේ, මගේ අක්කාගේ සහ මගේ නංගිගේ ලස්සන – ලෝචනා ඉමාෂි

වයස අවුරුදු 10 දී ළමා නිවේදිකාවක් විදියට ක්ෂේත්‍රයට ආව ඇය මේ වෙනකොට පූර්ණකාලීන රංගන ශිල්පිනියක්. ඒ වගේම ආදරණීය බිරිදක් ,ආදරණීය අම්මා කෙනෙක්. ඇය සමග කල සුහද කතාබහේ දී ඇයගේ ලස්සන බවේ රහස මේ විදියට කියලා තිබුණා.

හැමදාම ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?

හැමදාම ලස්සනට ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් පුංචි පුංචි දේවල් කරනවා. මම නිතර විදෙස් ගත වෙනවා. නමුත් මාගේ ශරීරයේ ගල්වන දේවල්වලට බොහෝ විට යොදා ගන්නේ දේශීය ස්වාභාවික දේවල්. මට උපතින්ම තිබෙන්නේ වියළි සමක්. ඒ නිසා නිතර වතුර බොනවා. තැඹිලිත් පුළුවන් හැමදාකම බොනවා. අලූත් පලතුරු, එළවළු, පළා වර්ග කෑමට නිතර එක් කර ගන්නවා. කැඳ වර්ග, පලතුරු ජූස් වර්ග පිළියෙල කරලා බොනවා.මේ වගේ දෛනිකව සිදු වෙන දේවල්වලින් පෙර තිබූ සමේ වියළි බව නැති වෙලා සමත් පැහැපත් වෙන්න හේතු වෙනවා.
තව ගෙදර දී විවේකයක් ලැබුණම කෝමාරිකා මදය මුහුණට ගානවා. එයින් හොඳ තෙතමනයක් සමට ලැබෙනවා. ඉඳහිට කඩල පිටිවලට යෝගට් එකක් දාලා මුළු ඇගේම ගාලා විනාඩි විස්සක් පැය බාගයක් ඉඳලා හෝඳලා හරිනවා. මෙමගින් මැරුණු සම ඉවත් වෙලා හමට හොඳ නිරෝගී පෙනුමක් ලැබෙනවා.
තව මම ස්ක්‍රබ් එකක් විදිහට කෝපි කුඩුවලට මී පැණි බිංදු කිහිපයකුයි ඔලිව් තෙල් ස්වල්පයකුයි මිශ්‍ර කරලා ඇඟේ ගාලා ටික වේලාවක් පිරිමැද සෝදා හරිනවා.සමේ පැහැය වැඩි කර ගැනීමට ඉඩක් ලැබුණු වෙලාවට වෙනිවැල් ගැට කුඩු, සුදු හඳුන් කුඩු, කහ මේ සියල්ල එකට එකතු කරලා ඇල් වතුරෙන් මිශ්‍ර කර මුහුණෙයි ඇගෙයි ගල්වා සෝදා හරිනවා. මෙමගින් දීප්තිමත් පෙනුමක් ලැබෙනවාහම සුදු වෙන ක්‍රීම් වර්ග නම් මම කවදාවත්ම පාවිච්චි කරලා නෑ. මම පුංචි කාලේ ඉඳලාම ගාන්න පුරුදු වෙලා හිටියේ බේබි ක්‍රීම්. දැනටමත් චූටි පුතාගේ ක්‍රීම් එකෙන් අරං ගානවා. රාජකාරි කටයුතුවලදී දාන මේකප් ඉවත් කරන්න මම යොදා ගන්නේ ඔලිව් තෙල් එමගින් සමට හානියක් නැතුව හම පිරිසිදු කරගන්න පුළුවනි.සුමානයට දින දෙක තුනක් ඔළුවට රත් කරපු ඔලිව් තෙල් දාලා හොඳට මසාජ් කරලා පැය දෙකක් ඉඳලා නානවා. රණවරා මල්, බෙලි මල්, පොල්පලා, වෙනිවැල්ගැට වගේ ඖෂධ සවසට තම්බලා බොනවා.මම ගොඩක් ආසයි වැල් ගොටුකොළවලට. වැල් ගොටුකොළ නිතර සම්බෝල හදලා කන්න පුරුදු වෙලා ඉන්නවා.පළතුරුවලින් ගස්ලබු, කොළ පාට දොඩම්, අඹ, කොමඩු වගේ පලතුරු නිතර කෑමට ගන්නවා. ඇපල්, මිදි, රට දොඩම් වගේ දේවල්වලට නම් මම කැමති නැහැ.

ඇඟේ හැඩය තියාගන්න මොනවාද කරන්නේ?

චූටි පුතා එක්ක දවසම එහාට මෙහාට දුවන කොට අමුතුවෙන් ව්‍යායාම කරන්න ඕනේ නෑ. ඇඟ අඩු කර ගන්න අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇගේ කැලරි අඩුවෙනවා ගෙදර ඉඳන් පුතා බලන්ඉද්දි.

බිරිඳක් ලස්සන වූ පමණින් පවුල් ජීවිතයක් සාර්ථක වෙනවා කියා ඔබ විශ්වාස කරනවාද?

පවුල් ජීවිතය සාර්ථක වෙන්න බලපාන්නේ බිරිඳකගේ කැපවීම, අරපිරිමැස්ම, ඉවසීම, පිරිසිදුකම, අවංකකම වගේ දේවල්. ඒ හැම දේ අතර ලස්සන තිබුණොත් ඒ පවුල තවත් ලස්සන වෙනවා.

ඔබ ලස්සනයි කියා කෙනෙක් ඔබව අගය කළොත්?

අනේ ගොඩාක් ආසයි. ඒ වචනය අහන්න. එතකොට හිතෙනවා තවත් ලස්සනට ඉන්න ඕනේ කියලා නේද? ලස්සනයි කියලා ඇහුණාම හිතට තවත් ලොකු ප්‍රබෝධයක් ලැබෙනවා.

ඔබ කැමති ද තවත් කෙනෙක් ඔබ වගේම ලස්සනට ඉන්නවාට?

අම්මෝ ඔව්. මම කැමතියි මට වඩා තව කෙනෙක් ලස්සනට ඉන්නවාට. කෙනෙක් ඇහැව්වොත් මම ලස්සන වෙන්න මොනවාද කරන්නේ කියලා ඒ හැමදේම ලෝභකමක් නැතුව කියනවා.

බාහිර ආලේපන ගල්වනවාට වඩා ලෝචනා සතුටින් ලස්සනට ඉන්න රහස මොකක්ද?

හැම වේලාවේම හිනාවෙලා ඉන්න එක තමයි මගේ ලස්සන වීමේ රහස. ප්‍රශ්න එනවා යනවා ජීවිතවලට එය ස්වාභාවිකයි. අපේ හිතේ සතුට තියාගැනීමේ වගකීම තියෙන්නේ අපි ළඟමයි. ඊට අමතරව අපිට අපේ කුහකකම්, ඊර්ෂ්‍යාව, වෛරය, තණ්හාව ඉවත් කරන් ඉන්න පුළුවන් නම් එයත් හරිම පහසු දෙයක් ලස්සන වෙන්න.

ලෝකයේ ඔබ දැකපු ලස්සනම කාන්තාව කවුද?

බොහෝ රටවලදී බොහෝ ලස්සන අය දැක තියෙනවා. ඒත් මම පුංචි කාලේ ඉඳලාම දැක්කේ මගේ අම්මාගේ, මගේ අක්කාගේ සහ මගේ නංගිගේ ලස්සන.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ම්… කාන්තාව ලස්සනට ඉන්න එක වැදගත්. ඇයගේ බාහිරෙනුත්, සිතුවිලිවලිනුත් ලස්සන නම් ඇය සමග ජීවත් වෙන අයටත් ඒ ලස්සනේ කිරණ ලැබෙනවා. පවුල ඉදිරියේ සැමියා ඉදිරියේ දරුවන් ඉදිරියේ කරන රැකියාව ඉදිරියේ ඇය ලස්සනට ඉදීම තුළින් ඇයට වටිනාකමක් ලැබෙනවා නියත වශයෙන්ම.

ලස්සන නිසාම කෙනෙකුට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්ද?

මෙහෙමයි ලස්සන නිසා ජීවිතය සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගිය අයත් දැක තිබෙනවා. ඒ වගේම ලස්සන නිසා ජීවිත අපායක් කර ගත් අයත් ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ නිසා තමාගේ අතෙයි තිබෙන්නේ තමාගේ රූපයට වටිනාකමක් එක් කිරීම හෝ එය නැති කර ගැනීම.

කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ?

මම හිතන්නේ අපි පෙර ආත්මයේ කරපු හොඳ නරක බලපාන්න ඇති. ඒ වගේමයි අපගේ සිතුවිලිත් අපේ රූපය තීරණය කරනවා කියලා මම හිතනවා.

මුහුණෙන් ලස්සන හැමෝම හදවතින්ම ලස්සනද?

නැහැ. ගොඩක් ලස්සන අය ළඟින් ආශ්‍රය කරද්දී දකින දෙයක් තමයි. හදවත ඒ අයගේ කැතයි. මූණ ගොඩක් ලස්සනයි. ඒ නිසා කවදාවත් බාහිර පෙනුමෙන් කෙනෙකුව මනින්න බැහැ.

ඔබ ඉන්න ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් එනවා. යනවා. ඔබ බොහෝ කාලයක් පුරාවට ක්ෂේත්‍රයේ රැඳෙනවා. එයට බලපෑවේ ලස්සන ද?

මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු දහයෙදි සජිවී වැඩසටහන් ඉදිරිපත් කරන ළමා නිවේදිකාවක් ලෙසට. අද මා පූර්ණ කාලීන රංගන ශිල්පිණියක්. එදා සිට අද දක්වා මම ක්ෂේත්‍රයේ ඉන්නවා. එයට රූපය වගේම මා සතු දක්ෂතාවය, හැකියාව වාසනාව කියන මේ හැමදේම බලපාන්න ඇති.

විලාසිතා කිරීමේදී ඔබ සැලකිලිමත්ද?

වෙනස් වෙන ලෝකයේ විවිධ විලාසිතා ගැන මම නිරතුරුවම දැනුම්වත් වෙනවා. ලොකු ලොකු ගණන් වියදම් කරගෙන එන එන විලාසිතා කරන්න නම් මම පුරුදු වෙලා නැහැ.

ඔබේ ලස්සන, සැමියා සහ පුතා අගය කරන්නේ කොහොමද?

සැමියා නම් සෘජුවම කියන් නෑ ලස්සනයි කියලා. නමුත් එයාගේ යාළුවෝ ඉදිරියේ එයාට ලස්සන බිරිඳක් ඉන්නවා කියලා ඇගයීමට ලක් වෙනවා කියලා නම් කියනවා. චූටි පුතාට තාම අවුරුදු 3 යි. ඒත් මං ලස්සනට ඇන්දාම ‘‘බියුටිෆුල් අම්මා’’ කියලා මාව බදාගෙන අගය කරනවා. එයා ලස්සනට හරිම ආසයි.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!