Gossip

බේරුවල මැණික් ව්‍යාපාරිකයාගේ ගෙදර ගිනි අවි ගබඩාවක් – ගිනි අවි පාතාල කණ්ඩායම් වලට දුන්නාද යන්න සැකයක්?

බේරුවල _ පත්තේකඩේ ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට අයත් සුවිල් දෙමහල් නිවෙසක් තුළ සඟවා තිබූ පාකිස්තානයේ නිෂ්පාදිත ප්‍රභූ ආරක්ෂක ස්වයංක්‍රිය ගිනි අවියක් ඇතුළු ගිනි අවි දහතුනක් හා උණ්ඩ තොගයක් සමඟ එම මැණික් ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු ඊයේ දිනයේ (09දා) මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිලිමීටර් දශම දෙකයි දෙක වර්ගයේ ගිනි අවි දෙකක්, පාකිස්තානයේ නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවියක්, බෝර ‍දොළහ වර්ගයේ ගිනි අවි දහයක්, මිලිමීටර් දෙකයි දශම දෙක වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ එක් දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් හා මිලිමීටර් දශම දෙකයි දෙක වර්ගයේ ජීව උණ්ඩ, ගිනි අවි කොටස් රැසක්, කෙටේරියක්, මන්නා පිහි තුනක්, ඉලක්කයට වෙඩි තැබීමට භාවිත කරන උපකරණ කිහිපයක්, හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් විස්සක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිසියම් පුද්ගලයන් දෙදෙනකු ගෝනකු වෙඩි තබා මරා සුඛෝපභෝගී මෝටර් රියකින් රැගෙන එන බවට මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ පොලිස් කොස්තාපල් ගුණවර්ධන (44817) මහතාට ලැබුණු තොරතුරක් අනුව බදුරලිය _ ලත්පඳුර ප්‍රදේශයේදී එම මෝටර් රථය හා පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී මෝටර් රථයේ ඩිකිය තුළ සඟවා ගෙන පැමිණි මරා දමන ලද ගෝනාගේ සිරුර හා ගෝනා මැරීමට උපයෝගි කරගත් බෝර ‍දොළහ වර්ගයේ ගිනි අවිය ජීව උණ්ඩ හා හිස් පතරොම් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් අයකු බේරුවල පත්තේකඩේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු බැව් අනාවරණය වී ඇති අතර අනෙක් තැනැත්තා ඔහුගේ මිතුරකු බවට අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයාගෙන් දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ දෙමහල් නිවෙස් තවත් ගිනි අවි තිබෙන බැව් හෙළි වීමෙන් පසු එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටලීමේදී මැණික් ව්‍යාපාරිකයාගේ කාමරයේ මෙන්ම නිවෙසේ ස්ථාන කිහිපයකම සඟවා තිබූ ගිනි අවි හා අනෙකුත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

සැකකාර මැණික් ව්‍යාපාරිකයා ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුරුදු පුහුණු වී ඇති අයකු බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී කරුණු හෙළි වී ඇති අතර මොහොමඩ් ජවුෆර් අබ්දුල් නාසීර් නමැති 40 හැවිරිදි එම මැණික් ව්‍යාපාරිකයා මෙම ගිනි අවි පාතාල කණ්ඩායම් අතට පත් කළාද යන්න සොයා බැලෙනවා.

ඊයේ (09දා) සවස මතුගම පොලිස් අධිකාරි කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මැණික් ව්‍යාපාරිකයකු බව කියන ප්‍රධාන සැකකරු අවුරුදු 40ක පමණ අයකු වන අතර දෙවැනි සැකකරු රථයේ රියැදුරු බවත් සැකකරුවන් මෙම ආයුධ කෙසේ ලබා ගත්තා ද ඒවා කුමන කාරණා සඳහා භාවිත කළාද යන්න ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් සැකකරුවන් දෙදෙනා අද (10දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ප්‍රධාන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!