Gossip

බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනාගේ ඥාතිවරයෙකු ඇතුළු මියගිය විදේශිකයන් ගැන වාර්තා වූ තොරතුරු මෙන්න

පසුගිය 21 වනදා සිට මේ දක්වා දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති පිපිරීම් හේතුවෙන් 300කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

සංචාරක හෝටල් තුනක සහ දේවස්ථාන ආශ්‍රිතව සිදුවූ මේ පිපිරීම් හේතුවෙන් මියගොස් ඇති විදේශිකයන්ගේ සංඛ්‍යාව 37ක් පමණ වන බව විදෙස් පුවත් සේවා තහවුරු කොට තිබෙනවා. ආසන්න වශයෙන් රටවල් 08කට අධික ප්‍රමාණයකට අයත් පුරවැසියන් මෙලෙස ඝාතනයට ලක්වී ඇති බව සඳහන්. ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ ඩෙන්මාර්කය ආදී රටවල පුරවැසියන් මියගිය පිරිස් අතර වනවා.

කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් විදේශිකයන් වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වනවා. K.g. Hanumantharayappa නම් දකුණු ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකු මෙලෙස මියගිය අය අතර වනවා. බැංගලූර් නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඔහු දින කිහිපයක් සඳහා ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු සමග තවත් ඉන්දීය ජාතිකයන් පස් දෙනෙක් මෙම බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇති බව Newyork times වෙබ් අඩවිය වාර්තා කරනවා.

ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ උදේ ආහාර ගනිමින් සිටි ජපාන ජාතික කාන්තාවක් වූ Kaori Takahashi මියගිය පිරිස අතරට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙසෙන ජපානයෙන් නෙරපන ලද පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ පවුල් වෙත ස්වේච්ඡා සහන සේවා සලසන සංවිධානයක මහජන සම්බන්ධතා නිළධාරිනියක ලෙස කටයුතු කළ ඇය සිය සැමියා සහ සිව් හැවිරිදි දරුවකු සමග උදේ ආහාරය ලබා ගනිමින් සිටි බවත් දරුවා සහ ඇගේ සැමියා දිවිගලවා ගෙන ඇති බවත් ජපාන NHK world පුවත් සේවය තහවුරු කොට තිබෙනවා.

Daily Sabah පුවත්පත වාර්තා කරන පරිදි තුර්කි ජාතික ඉංජිනේරුවරුන් දෙදෙනෙකු මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි ඔවුන් මියගියේ කුමන ස්ථානයේ සිදුවූ පිපිරීමෙන්දැයි සනාථ කොට නැහැ. තුර්කි විදෙස් අමාත්‍යාංශ ප්‍රකාශයකට අනුව Serhan selcuk Naraici සහ Yigit Ali Cavus නැමැති ඉංජිනේරුවරුන් දෙදෙනා මෙලෙස මියගොස් තිබෙනවා.

බංග්ලාදේශයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකුගේ මුණුබුරා ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්. බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරන පරිදි නිවාඩුවක් සඳහා පැමිණ සිය පවුලේ අය සමග විනෝද වෙමින් සිටි 08 හැවිරිදි Zayan Chowdhury මෙලෙස මියගොස් තිබෙනවා. ඔහු බංග්ලාදේශ අවාමි ලීගයේ ප්‍රධාන දේශපාලන නායකයෙකු වන Sheikh Fazlul Karim Selim ගේ මුණුබුරෙකු වන අතර බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනාගේ ඥාතිවරයෙකුද වනවා. සිය පියා සමග උදෑසන ආහාරය ගනිමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බව Dhaka Tribune පුවත් සේවය වාර්තා කර තිබුණා.

මියගිය විදේශිකයන් පිළිබඳ තොරතුරු තවමත් තහවුරු කර ගනිමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍ර – The Newyork Times
NHK World
Dhaka Tribune
CNN

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!