Gossip

“පුතාට මගේ තාත්තාගේ හඬ ඒ විදිහටම පිහිටලා තිබෙනවා. ඒක හරි පුදුම සහගත දෙයක්”- රනිල් මල්ලවආරච්චි

මිල්ටන් මල්ලවාරච්චි යන නම ඇසූ සැණෙකින් ගීත ලෝලී රසික සිත් ආනන්දයෙන් පිරී යන්නේ එදා මෙදා තුර ඔහු අති විශිෂ්ට ගීත රාශියක්ම ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට තිළිණ කර ඇති නිසාය. 1944 වසරේ අප්‍රියෙල් 07 වැනිදා ඉපදී 1998 මාර්තු 10 වැනිදා මෙලොව හැර යන විට මිල්ටන් සිය නාමය අපේ රටේ ගී ලොවේ අමරණිය කොට හමාරය. 1969 ඔරුවක පාවෙන, සංසාර සෙවණැල්ල, මංගලේ නෙත් මංගලේ සහ පාවෙන රන් කූඩුවක් ඔබ සෑදූ යන ගීත තැටියකට ගායනා කරමින් ගී ලොවට පිවිසි මිල්ටන් රසික සිත් ඇද බැඳ තබා ගත්තේ කෙටි කලකිනි. විශේෂයෙන් ඔහු ගැයූ ආදර ගීත සහ විරහා ගීත නිසා මෙරට පෙම්වතුන්ගේ ගායකයා ලෙස අභිෂේක ලැබීය. 1971 දී පූජිතයෝ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඔහු 1984 දී ග්‍රේෂන් ආනන්ද සහ ප්‍රියා සූරියසේන සමඟ හොඳම පසුබිම් ගායකයා ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට වසර 21කට අප අතරින් වියෝ වුණද තවමත් මිල්ටන් මල්ලවාරච්චි නම් ඒ ආදරණීය හඬට ආදරය කරන රසිකයෝ ලොවපුරා සිටිති. පියාගේ අඩුව පුරවමින් මිල්ටන් පුත් රනිල් මල්ලවාරච්චි ගීත ගායනයට පිවිසි අතර දැන් රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චිද සීයාගේ ගීත ගායනා කරමින් රසික සිත් තුළ මිල්ටන් හඬ අමරණියත්වයට පත් කරමින් සිටිති. මිල්ටන් ගීත ක්ෂේත්‍රයට පැමිණ වසර 50ක් පිරීම, ජීවතුන් අතර සිටියානම් අප්‍රියෙල් මාසයට වසර 75ක් වීම, සහ පසුගිය 10 වැනිදාට මෙලොව හැර ගොසින් වසර 21ක් පිරිම නිමිති කරගෙන නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය පසුගියදා ‘සඳ ඔබයි පියාණනී‘ නමින් ප්‍රසංගයක් පැවැත්වූවා. මේ ඒ පිළිබඳව රනිල් මල්ලවාරච්චි සමඟ කළ පිළිසඳරයි.

සඳ ඔබයි පියාණනී ප්‍රසංගය ගැන කියමින් කතා බහ අරඹමු…
මේ ප්‍රසංගය මාර්තු 09 වැනිදා පැවැත්වූයේ. ‘සඳ ඔබයි පියාණනී‘ නමින් නම් කළ එය සංවිධානය කළේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින්. සංගීතය සැපයූවු යේ සරත් ද අල්විස් ප්‍රමුඛ වාද්‍ය කණ්ඩායම. කථනය කැලුම් ශ්‍රීමාල් විසින්. මේ සංගීත ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ මිල්ටන් මල්ලවාරච්චි කියන මගේ පියා 2019 වසරට ගීත ක්ෂේත්‍රයට ඇවිත් වසර 50ක් වනවා. ඒ වගේම අප්‍රේල් මාසයට ඔහු ජීවතුන් අතරසිටියානම් වසර 75ක් වනවා. ඒ වගේම මාර්තු 10 වැනිදාට තාත්තා අපි අතරින් නැතිවෙලා අවුරුදු 21ක් වෙනවා. ඒ සියල්ලම සිහිපත් කරලා තමයි අපි මෙම ප්‍රසංගය කළේ.මීට පෙර 2018 වසරේ නැතුව 2015 සිට අපි තාත්තා සිහි කරලා ප්‍රසංගයක් කරනවා. 2016, 2017 පැවැත්වූවත් 2018 වසරේ කරන්න බැරිවුණා. ඒ නිසා තමයි මෙවර අපි මෙම ප්‍රසංගය කළේ.

පියාගේ අඩිපාරේ යමින් ගීත ක්ෂේත්‍රයට පැමිණි ඔබ, ඔබේ පුතා පවන් ගීත ගායනයට පිවිසීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම මගෙ පුතා පවන් ගීත ක්ෂේත්‍රයට පැමිණීම සතුටුයි. එදා මම ගීත ක්ෂේත්‍රයට එනකොට තාත්තාගේ ආශීර්වාදය මට ලැබුණා වගේම මමත් පුතාට ආශීර්වාද කළා. නමුත් එයාගේ වෘත්තිය ගීත ගායනය නොවේ. එයා වෘත්තියෙන් ගුවන් නියමුවරයෙක් වන්න තමයි ඉගෙන ගන්නේ. තව අවුරුදු කිහිපයකින් එයා ඒ අංශයෙන් ඉදිරියට යයි. නමුත් එයා ගීත ගායනය විනෝදාංශයක් ලෙස කරයි.

සීයාගේ හඬ පෞරුෂය පවන්ට ඒ ලෙසම පිහිටලා තිබෙනවා කියන්නේ ඇත්තද?
ඇත්තටම පුතාට මගේ තාත්තාගේ හඬ ඒ විදිහටම පිහිටලා තිබෙනවා. ඒක හරි පුදුම සහගත දෙයක්. මටත් පිහිටියා පුතාටත් පිහිටියා. ගොඩක් දෙනකුට හරිම පුදුමයි කොහොමද එහෙම ආවෙ කියලා. සාමාන්‍ය ‍ෙයන් දෙවැනි පරම්පරාවට ඒ මුල් හඬ පිහිටන්නේ නැහැ. කොහොම හරි අපිට ඒක ඒ විදිහටම තිබෙනවා. බොහොම සතුටුයි. ඒක කලාතුරකින් වෙන දෙයක්. මට හිතනවා තාත්තා මියයන්න පෙර ඒ හඬ ගෙනියන්න අපට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඇති.

ඔබ විදේශ ගත වෙලා ඉන්නේ. ඒ විස්තර කියන්න.
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මගේ දුව අනුපජා. ඇය තව වසර දෙකකින් ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරලා විශ්ව විද්‍යාලයට යන්න තමයි බලාපොරොත්තුව ඉන්නේ. බිරිඳ නිරාශා, පුතා පවන්, අපි බොහොම සතුටින් ඉන්නවා.

පියා පිළිබඳව අතීත මතකයට යමු.
මට පියා පිළිබඳව ඉතාමත් සොඳුරු මතකයක් තිබෙනවා. මට තාත්තා පිළිබඳව තේරුම් ගන්න කොට මගේ තාත්තා මේ රටේ අතිශයින් ජනප්‍රිය ගායකයෙක්. ඒක අමතක වෙන්නේ නැහැ. මමත් 92 ගීත ක්ෂේත්‍රයට ආවම තව තාත්තා ගැන මතකය අලුත් වුණා. පරණ අය හම්බවෙලා ඒ විස්තර කියනකොට ගම්වලට ගියාම තාත්තාගේ රසිකයෝ එයා ගැන කතා කරන කොට ඇත්තටම සතුටුයි. අද වගේ එදා ගොඩක් මාධ්‍ය තිබුණෙත් නැහැ. ගුවන් විදුලිය පමණයි තිබුණේ. පුවත්පත් පවා බොහොම සීමිත සංඛ්‍යාවක් තිබුණේ. ඉතින් බොහොම සතුටුයි ඒ වගේ අඩු මාධ්‍ය ප්‍රමාණයක් තිබුණු යුගයේ ජනප්‍රිය වෙනවා කියන දේ ලෙහෙසි නැහැ. ඉතින් මගේ පියා ඒ යුගයේ අතිශයින් ජනප්‍රියත්වයක් ලබා සිටියා. ඇත්තටම සතුටුයි. ඒගැන.

යෞවනයට කතා කළ සුපිරි හඬ පොරුෂයක් පියාට තිබුණා. ඒ හඬින් ගායනා කළ පියාගේ ගීත ගැන කතා ක‍ළොත් …
ඇත්තටම කියන්න ඕන තාත්තාට ඉතාම හොඳ ගීත ටිකක් ගායනා කරන්න හම්බ වුණා. තාත්තාට ගීත ලිව්වේ කරුණාරත්න අබේසේකර, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, උපාලි ධනවල විතාන, වර්නන් පෙරේරා, බණ්ඩාර විජේතුංග, ෂෙල්ටන් වීරරත්න, කුලරත්න ආරියවංශ, චිත්‍රානන්ද අබේසේකර, ලූෂන් බුලත්සිංහල, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන, ආනන්ද පද්මසිරි යන විශිෂ්ට ගීත රචකයන්. ඒ වගේම ඒ ගීත සංගීතවත් කළේ මොහොමඩ් සාලි, පැට්‍රික් දෙණිපිටිය, ක්ලැරන්ස් විජේවර්ධන, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස් වැනි එදා යුගයේ සිටි අති දක්ෂ සංගීතඥයන්. ඒ වගේම සරත් දසනායකයන් සෝමපාල ලීලානන්දයන් නිර්මාණය කළ චිත්‍රපට ගීත විශාල ප්‍රමාණයක් තාත්තාට ලැබුණා. ඒ කියන්නේ තාත්තාට මේ තරම් ජනප්‍රියත්වයට පත්වෙන්න ඉතාමත් හොඳ ගීත නිර්මාණ ටිකක් ලැබුණා. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, සහ මගේ පියා යන තුන්දෙනා ඇත්තටම ඉතාමත්ම ලොකු පෙරළියක් කළ ගායකයින් තිදෙනෙක්. අද මේ තුන්දෙනාම ජීවතුන් අතර නැහැ. මගේ පියාගේ සමකාලීනයන් ලෙස ක්ෂේත්‍රයේ සිටි අය අතරින් තාමත් රසිකයින් අතර ජනප්‍රියත්වයේ රැඳෙමින් ජීවතුන් අතර සිටින්නේ වික්ටර් රත්නායකයන්, සනත් නන්දසිරි අංකල් සහ ටී.එම්. ජයරත්න අංකල් වැනි කිහිප දෙනෙක් පමණයි.

තාත්තාගේ අවසන් වසර කිහිපයේ ඔබට පියා පිළිබඳව ඇති මතකය…
තාත්තා 1998 මාර්තු තමයි නැතිවුණේ. ඊට පෙර ඔහුගේ අසනීප තත්ත්වය නිසා වරින් වර රෝහල්ගත වෙන්න සිදුවුණා. අන්තිම කාලයේදී එයාගේ බලාපොරොත්තුව තිබුණේ එයාගේ ජනප්‍රියම ගිත සියල්ල රෙකෝඩ් කරන්න. සින්දු 80ක් විතර රෙකෝඩ් කළා. ඒ ටික කරන්න තමයි බලාපොරොත්තු වුණේ. නමුත් එයාට ඒක අවසන් කරගන්න බැරිවුණා.

ඔබ ගීත ගායනයට පිවිසෙන්නේ පියාගේ ආශිර්වාදයෙන්…
මම ගීත ගායනයට පිවිසුණේ 1993 වසරේදි. ඇත්තටම මට ඒ සඳහා තාත්තාගේ පූර්ණ ආශිර්වාදය හිමිවුණා. ඒ අතින් මම ඉතාම වාසනාවන්තයි. මට කැසට් පටයකට ගීත ගායනා කරන්න ලැබුණා. ඒකට තාත්තා මට ගොඩක් සහයෝගය දුන්නා. එහි ගීත රචනා කළේ සංගීත අධ්‍යක්ෂණය කළේ තාත්තාට ගීත ලියාදුන් සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රවීණයන්මයි. තාත්තා කියන දැවැන්ත චරිතය නිසා මට ඒ හැම කෙනකුගෙන්ම ලොකු සහයෝගයක් හම්බවුණා. 1996 දී මම තව CD එකක් එළිදැක්වුවා. ඒක අලෙවි කරගන්න ටොරානා එකට මාව සම්බන්ධ කරලා දුන්නේ තාත්තා. ඒ මගේ මලයි, රනිල් මල් ගී 16. තාත්තා තව කල් ජීවතුන් අතර හිටියා නම් මගේ සංගීත ජීවිතයට ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙන බව සහතිකයි.

ඔබ අලුතෙන් කළ නිර්මාණ මොනවද?
2003දී මම හර්ෂ එක්ක අද කියලා ඇල්බම් එකක් කළා. එහි අද සහ අඹ යාළුවෝ කියන ගීත දෙක අතිශයින් ජනප්‍රිය වුණා. එම ගීත දෙකම රචනා කළේ ලූෂන් බුලත්සිංහලයන්. සංගීත නිර්මාණය කළේ කසුන් කල්හාර සහ හර්ෂ බුලත්සිංහල. මෙම ඇල්බමයේ ඉතිරි ගීත සියල්ල සංගීත නිර්මාණය කළේ හර්ෂ. 2010 මම විදේශ ගත වුණු නිසා අලුත් ගීත නිර්මාණය කළේ නැහැ.

ඔබ විදේශයක් රැකියාවක් කළත් සංගීත නිර්මාණවලට බාධාවක් නැහැ.
මම ලංකාවෙන් ගියාට පස්සේ එළිමහන් ප්‍රසංග වේදිකාවල ගීත කියන එක නැවතුණා. මම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සුපිරි වෙළෙඳසලක සේවය කරන්නේ. මම වසර අටක් පමණ එකම තැනක සේවය කරන නිසා ඔවුන් මාව හොඳින් හඳුනනවා. මම අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් කියලා ඔවුන් දන්නවා. ඔවුන්ගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා මගේ සංගීත වැඩ කටයුතු වලට. විශේෂයෙන් මට ප්‍රසංග වලට යන්න බාධාවකින් තොරව සහයෝගය ලබා දෙනවා. අපේ රටේ ලක්ෂ ගණනක පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න් නගරවල වාසය කරනවා. ස්ථීර පදිංචි වී සිටින්නේ ටික දෙනයි. මේ අතරින් වැඩි පිරිසක් අධ්‍යාපනය හදාරන්නට පැමිණි අය. ඒ අය අතරිනුත් වැඩි පිරිසක් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඒ රටේ පදිංචිවන්න තමයි.

ඔබේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින් කැමැත්තක් දැක්වූවා. මතකද පියා සමඟ තරග නරඹන්නට ගිය අතීතය.
මගේ පියා එදා සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සමීප සබඳකමක් පැවැත්වූවා. බන්ධුල වර්ණපුරගේ සිට අර්ජුන රණතුංග දක්වා නායකයන් ඔහුගේ හිතවතුන්. රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, අජිත් ඩි සිල්වා, අනුර රණසිංහ, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස් වැනි එදා යුගයේ ක්‍රිකට් ක්‍රීඩා කළ හැම දෙනාම වගේ තාත්තා ළඟින්ම ඇසුරු කළා. මටත් පියාට වගේම මහේල ජයවර්ධන, කුමාර් ධර්මසේන අපි එකම පාසලේ මාලිංග බණ්ඩාර, කෞෂල්‍ය වීරරත්න වැනි ක්‍රීඩකයන් ඇසුරු කළා. නම් ගොඩාක් කියන්න තිබෙනවා. මම එයින් කිහිපයයි කිව්වේ.

තාත්තා ක්‍රිකට් මැච් බලන්න පුදුම ආසාවක් තිබුණේ. මට මතකයි එස්. එස්. සී.එකට පී සරා එකට අපේ කණ්ඩායම පිටරටක් එක්ක ගැහුවොත් තාත්තා අනිවාර්යයෙන්ම බලන්න යනවා. ඒ විතරක් නෙමෙයි ක්ලබ් මැචස් පවා බලන්න යන්න තාත්තා කැමැතියි. ඉස්සර ක්ලබ් මැචස් දැන් වගේ නෙමෙයි. එදා හිටිය දැවැන්ත ක්‍රීඩකයෝ සෙල්ලම් කළේ. මාර තරගයක් තිබුණේ. ඉස්සර ක්ලබ් මැච් බලන්න ලොකු පිරිසක් එනවා. අන්තිම කාලයේ ටීවී එකෙන් හරි මැච් එකක් තිබුණොත් නොවරදවාම බලනවා.

පුතා අලුත් නිර්මාණ කරන්න අදහසක් නැද්ද?
ඔහු අලුත් නිර්මාණයක් කළා. මගේ බිරිය නිරාශා තමයි ඒ ගීතය රචනා කළේ. ලෙලුම් රත්නායක එහි සංගීතය නිර්මාණය කළා. ‘සිහින ලෝකයේ පාවෙලා‘ කියලා. තව ආනන්ද පද්මසිරි රචනා කර ගීතයක් සුනෙත් කැලුම් සංගීතය නිර්මාණය කළ ගීතයක් ඇතුළු ගීත 7ක් පමණ එයා අලුතෙන් නිර්මාණය කර තිබෙනවා. ඉදිරියේදී එයා බලාපොරොත්තු වෙනවා අලුත් පරපුරේ නිර්මාණ ශිල්පීන් සමඟ ගීත කිහිපයක් නිර්මාණය කරන්න. සනුක වික්‍රමසිංහ පුතාට ගීතයක් නිර්මාණය කරලා දෙන්නම් කියලා තිබෙනවා. අපි බලමු ඉදිරියේදී ඔහු අලුත් නිර්මාණ එක්ක දැකගන්න ලැබේවි.මගේ තාත්තාගේ හඬට ආදරය කළ රසික පිරිස හැමදාමත් ඒ ගීත අසන්න බලාගෙන ඉන්න බව මම දන්නවා. ඒ නිසා තමයි අදටත් ප්‍රසංගයක් පවත්වනවා කිව්වාම රසික රසිකාවන්ගෙන් ශාලා පිරී ඉතිරී යන්නේ. ඉතින් තාත්තාට තිබුණු ඒ ආදරය මටත් පුතාටත් ලැබෙන බව අපි දන්නවා. ඒකට අපි රසික රසිකාවන්ට ස්තූති වන්ත වෙනවා දශක ගණනාවක් පුරා මේ ගීතවලට ආදරය කරලා ඒ මතකය සමඟ පියාගේ නම රැක ගත්තාට.

පියාගේ ගීත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන, වැඩියෙන්ම ගායනා කරන්න කැමැති ගීතය ඇසුවොත්
එහෙම එක ගීතයක් කියන්න අමාරුයි. මොකද මම තාත්තාගේ හැම ගීතයකටම වගේ ආසයි. ඒ අතරින් මධු මල ලෙස සහ ඉවුරු තලා යන, සිහිනෙන් ඔබ තව වසර කිහිපයක් මට දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රෙලියාවේ රැඳී ඉන්න සිදුවෙනවා. ඒ අයගේ රැකියාවන් තෝරාගත්තාට පසු මම ලංකාවට යළි ඒවි. තවමත් ඒ පිළිබඳ ස්ථීරව කියන්න කල් වැඩියි. අපි බලමු ඉදිරියේදී. ඉස්සර විවිධ පළාත්වල සංගීත ප්‍රසංගවලට ගියාම ගොඩක් රසික රසිකාවන් හම්බවෙනවා. ඒත් දැන් මම ප්‍රසංගවලට යන්නේ නැති නිසා ඒ අය මුණ ගැසෙන්න අවස්ථාවක් නැහැ. මම ආරාධනා කරනවා ලංකාවට ඇවිත් පවත්වන මෙවැනි ප්‍රසංග බලන්න ඇවිත් මට කතා කරන්න.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!