Gossip

පියුමි හංසමාලිව ආන්දෝලනාත්මක චරිතයක් විදියට පත්කරලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සුමයි – පියුමි හංසමාලි

කොහොමද පියුමි අලුත් තොරතුරු?
ඇත්තටම මම එහෙම වැඩ ගොඩාක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි කියලා හැම කෙනෙක්ම දන්නා දෙයක්. ඉතින් මේ දවස්වල මම අලුත්ම මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා. ඒ නාට්‍ය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා ඉඳලා සතියේ දවස් පහේම ප්‍රේක්‍ෂකයන්ට දැකගන්න ලැබේවි. ඉතින් ඒ නාට්‍යයේ කටයුතු කරගෙන යන ගමන් මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය කටයුතුත් කරගෙන යනවා. මගේ අදහසක් තියෙනවා කලා කටයුතුවලින් ඈත්වෙලා බිස්නස් එකක් කරගෙන නිදහසේ ඉන්න.

රඟපෑමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්නද කල්පනාව?
මෙහෙමයි. පියුමි හංසමාලි කියන චරිතය වයසට යනකම්ම රඟපාන්න ඕන කියලා මම හිතන්නෙ නැහැ. ඇත්තටම ඊට වඩා මට ලේසියි බිස්නස් එකක් කරගෙන ජීවත්වන එක. ඒ අතරේ මට ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපෑමට සම්බන්ධ වෙනවා. එහෙම කරන එක මගේ රසික රසිකාවියන්ටත් සාධාරණයක් වෙනවනෙ.

කවුරු හරි කිව්වොත් පියුමි හංසමාලි ආන්දෝලනාත්මක චරිතයක් කියලා. ඔබ මොකද කියන්නේ?
පියුමි හංසමාලිව ආන්දෝලනාත්මක චරිතයක් විදියට පත්කරලා තියෙන්නෙ ලංකාවේ මිනිස්සුමයි. හැබැයි ඇත්තටම පියුමි හංසමාලි එහෙම නැහැ. දකින අය විවිධ විදියට හිතනවා ඇති. ඒත් මම එහෙම නැහැ.

ජීවිතේ වැඩිපුරම මුණගැහෙන්නෙ මිතුරොද හතුරොද?
අපට ජීවිතයේදී වැඩිපුරම මුණගැහෙන්නෙ මිතුරු වෙසින් ඉන්න හතුරෝ. බොහෝ දුරට කාලයත් එක්ක සමහරවිට මිතුරෝ හතුරෝ වගේ කටයුතු කරන අවස්ථාත් තියෙනවා. එහෙම බැලුවාම ගොඩාක් ඉන්නෙ හතුරෝ තමයි.

පියුමි හංසමාලි දවසින් දවස ලස්සන වීමේ රහස?
මම හරි කැමැතියි හැමදාම ලස්සනට ඉන්න. ඒ වගේම අලුත් පැෂන් කරන්නත් කැමැතියි. ඉතින් මම කොයි වෙලාවෙත් බලන්නෙ තියෙන ලස්සන රැකගන්න. ඕනෑම කෙනෙක් වයසට යද්දි හම රැලි වැටෙනවා. කැත වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා මේ තියෙන ලස්සන පවත්වා ගැනීමයි වැදගත් වෙන්නෙ. ගොඩාක් අය හම්බකරන සල්ලි බැංකු පොතේ දාගෙන කැතට ඉන්නවා. ගොඩාක් අය ටී.වී. එකට ලස්සනයි. හැබැහින් දැක්කොත් කැතයි. මට ඕන ස්වභාවික ලස්සන පවත්වා ගන්නයි.

ඉස්සර හිටපු පියුමියි, දැන් ඉන්න පියුමියි වෙනස් නේද?
ඔව්. ඔව්. ගොඩාක් වෙනස්. ඒ කියන්නේ රූපයෙන් වෙනස්. දැනට වසර දහයකට කලින් හිටපු පියුමි නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලේ අපිට සමහර දේවල් ගැන දැනුමක් නැහැ. දැන් දන්නවා. ඒ නිසා පෙනුමේ ලොකු වෙනසක් තියෙනවා.

ගෙවුණු අතීතයේ මතක් කරන්න කැමැතිම කාලය?
මගේ පාසල් කාලය මතක් කරන්න තමයි මම කැමැතිම. අදටත් මම ආදරය කරන මගේ සුන්දරම අතීතය ඒක. හැබැයි පියුමි හංසමාලි අතීතයත් එක්ක ජීවත්වන චරිතයක් නෙවෙයි. අනාගතයත් එක්ක ජීවත්වන චරිතයක්. හැබැයි ඉතින් ආයෙ යන්න ලැබෙනවා නම් මම දෙවරක් නොසිතාම යන්නෙ පාසල් කාලෙට තමයි. ඒ කාලෙ හරි ජොලි කාලයක්. සමහර විට මතක් වෙද්දි ඒ නිදහස මතක් වෙලා ඇස් දෙකට කඳුළුත් එනවා.

ජීවිතේ ආපහු හැරිලා බැලුවොත් වැඩිපුරම තියෙන්නෙ දුකද, සතුටද?
ආපස්ස හැරිල බැලුවොත් මම ජීවිතේ සෑහෙන්න දුක්වින්දා. හැබැයි මම දැන් ගෙවන ජීවිතෙත් එක්ක බැලුවාම මම හරියට සතුටු වෙනවා. ඉතින් ගෙවුණු කාලය ගැන බැලුවොත් දුක්බර කාලය වැඩි වෙන්නත් පුළුවන්.

ජීවිතේ ඉටුනොවුණු හීනයක් තියෙනවද?
මේ ළඟක් වෙනකම් ලොකු හීනයක් සහ ආසාවක් තිබුණා ආයෙත් විවාහයකට. ඒත් දැන් ඒ ආසාව නැහැ. මම දැන් හිතාගෙන ඉන්නෙ කවදාවත් ආයෙ කසාද බඳින්නේ නැහැ කියලයි. සමහර වෙලාවට විවාහය කියන එක හරිම බොරුවක් වෙනවා. ආදරේ කියලා කිව්වට මම හිතන විදියට මටම ආදරේ කරන පිරිමියෙක් හොයාගන්න අමාරුයිනෙ. කොච්චර එකට හිටියත් හොරෙන් හරි ගිහින් ෆේස්බුක් එකේ වෙන ගෑනු කෙනකුට මැසේජ් කරනවා. මම හොයන්නෙ එහෙම නෙවේ. එයා මගේ නම් මගේම වෙන්න ඕන. ඉතින් දැන් කාලේ එහෙම පිරිමි හොයන්න අමාරුයි. ඒ නිසා මට ආයෙ විවාහයක් ඕන නැහැ.

ආදරයයි – ජීවිතයයි කියන්නෙ දෙකක්ද, එකක්ද?
මම හිතන විදියට ආදරය අපිව ජීවත් කරවනවා. එතකොට ඒක අපේ ජීවිතය වෙනවා. ඉතින් ඒ ආදරේ බොරුවක් කියලා දැනුණු වෙලාවට අපි මානසිකව වැටෙනවා. කොච්චර ශක්තිමත් ගැහැනියක් වුණත් ඔතැනදී ඇය කඩාවැටෙනවා.

ජීවිතේ අසරණකමක් දැනුණු දවස මතකද?
සමහර දවස් තියෙනවා එහෙම වෙච්ච. පුතාගේ ඉස්කෝලේ නිවාඩු කාලෙදි, ගමන්-බිමන්වලදී, අනෙක් ළමයි සමඟ ඉද්දි, ඒ ළමයින්ගේ තාත්තලා ගැන කියද්දි, එහෙම අසරණකමකුත් දැනිලා තියෙනවා. ඒ වෙලාවට සෑහෙන්න වැටෙනවා. නමුත් මගේ හිත හයියයි. ඒ නිසා මම දරුවට කතා කරලා හිත හදනවා.

අවසන් වශයෙන් රසික, රසිකාවියන්ට මොනවද කියන්න තියෙන්නේ?
මට ආදරය කරන වගේම, අකැමැති රසික, රසිකාවියන්ට මම කියන්නේ මගේ ටෙලිනාට්‍යයක් ජනවාරි පළමු වැනිදා සිට සතියේ දවස් පහේම ඔබ හමුවට එනවා. ඒ වගේම හැමදාම මගේ වැරදි හොය හොයා හිටපු අයටත් මම කියනවා ඉදිරියටත් මගේ වැරදි හොයන්න. ඒගොල්ලො තමයි මගේ ශක්තිය. මට ආදරය කරන අයට මම කියන්නේ එයාලට මම ගොඩාක් ආදරෙයි. ඒ කියන්නෙ මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන අයටත් මම ආදරෙයි.

උපුටා ගැනීම .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!